විනෝදාස්වාදය වරදවා වටහාගත යුතු ද? | සිළුමිණ

විනෝදාස්වාදය වරදවා වටහාගත යුතු ද?

විනෝදාස්වාදය (entertainment) නම් වූ යෙදුම පිටුපස හෙවත් පසුබිමේ පවතින්නේ බහුඅර්ථ සපයන සන්නිවේදන සංකල්පයකි. විනෝදාස්වාදය හෙවත් විශ්‍රාන්තියෙන් තොරව මාධ්‍යයක් නොපවතින බව ද සන්නිවේදන මතය කි. මේ මතය ප්‍රචලිත කිරීමට බෙහෙවින් අර්ථ සපයා ඇත්තේ ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ වෝල්ට් ඩිස්නි (Walt Disney) විසිනි.

ඔහු තම ජීවිත කාලය මුළුල්ලේ කෙතරම් හාස්‍ය රසය මුසු චිත්‍ර හා කතන්දර ලියා ඇද්දැයි හඳුනාගැනීම පවා අපහසු වූවකි. ඩිස්නි නම් වූ ඇමෙරිකානු චිත්‍ර ශිල්පියා හා කතාකරුවා ජීවත් වූයේ 1901 සිට 1966 දක්වා කාලයේ දී ය. ඔහු විසින් නිමවන ලද කුඩා චිත්‍ර කතාසමුදායෙන් ලෝකයේ ප්‍රචලිතව පවතින්නේ ඩොනල්ඩ් ඩක්, මිකී මවුස්, ප්ලූටෝ සහ ගූෆි වැනි නිමැවුම් හා තවත් කීපයකි. මේ චිත්‍රකතා මුලින්ම ඔහු අතින් ලියැවි ඇත්තේ සිඟිති කතා (mini stories or tales) වශයෙනි. ඩිස්නි විසින් ගොඩනඟන ලද්දේ විනෝදාස්වාදි කර්මාන්තයකි යන්න ප්‍රචලිත වූයේ පසුකාලීනව ය. එය හඳුන්වන නාමය වූයේ entertainment industry යනුවෙනි.

"ළාබාල දරුවාගේ පටන් මහල්ලා දක්වාම තම ජීවිත කාලය සැහැල්ලුවෙන් හා බුද්ධිමත්ව ගත කළ යුතු ය. ඒ සඳහා චිත්‍ර හා චිත්‍රකතා වලට අතිරේක පණක් දිය යුතු ය," යන්න ඔහු ප්‍රචලිත කළේ ය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හැම මාධ්‍යයකම ප්‍රබල වූත් ප්‍රධානතම වූත් අරමුණක් බවට පත් වූයේ විනෝද ජනනය යි. මුද්‍රිත මාධ්‍යයේ හිනා කතා හෙවත් හාස්‍ය කතා කෙමෙන් ප්‍රචලිත වීමට පටන්ගත්තේ ආරම්භයේ පටන්ම ය. විටෙක එය පුළුල් අරුතකින් හඟවන ලද්දේ උපහාසාත්මක (humour) හෙවත් සැටයර් (satire) යන යෙදුම් වලිනි.

මේ යෙදුම් කෙමෙන් බැරෑරුම් සංකල්ප බවට පත් වීමේ දී ආදිතම යෙදුම් දෙකක් වහල් කර ගැනීමට සිදු විය. ඒ යෙදුම් දෙක නම් ග්‍රීක නාටක ප්‍රභේද දෙකක් ලෙස සැලකෙන සුඛාන්ත (comedy) සහ දුක්ඛාන්ත (tragedy) වශයෙන් හැඳින්වේ. මෙයිනිදු සුඛාන්ත සංකල්පය වඩාත් ජනප්‍රිය වීමට පටන් ගත්තේ එමගින් පොදු අරුත් හා බහු අරුත් (common meanings and multiple meanings) ජනනය කළ හැකි වීම හේතුවෙනි. ඒ සඳහා මාධ්‍ය සන්දේශ වලට ජනප්‍රිය ජනශ්‍රැතිකාංග (folklore) බලපෑ බව අපට පෙන්නුම් කර දී ඇත්තේ ලෝක ප්‍රකට මානව විද්‍යාඥයින් ය. ඔවුන් අතරිනිදු මැලිනොව්ස්කි (Malinowski) හා ජේම්ස් ෆ්‍රෙසර් (James Frazer) විෂයානුබද්ධව මේ කාරණය පැහැදිලි කර දී ඇත.

ඔවුන් දෙදෙනාගේම ප්‍රබල සංස්කෘතික මතය වශයෙන් සැලකිය හැක්කේ 'හාස්‍යය උත්පාදනය මඟින් ජනයා විනෝදාස්වාදයක් ලද' බව යි. මේ හේතුවෙන් විනෝදාස්වාදී සංකල්පයට ප්‍රාචීනවාදි (oriental) සහ ප්‍රතිචීනවාදි (occidental) භේදයක් නොමැති බව ද ප්‍රචලිත වී පවතී. මෙකල ජනශ්‍රැතිය හැදෑරීමේ දී මේ කාරණය බෙහෙවින් සලකනු ලබන්නේ මානව විද්‍යාවෙන් සන්නිවේදන අධ්‍යයනය ලද ආභාසයකට වඩා ප්‍රබල ඥාන ධාරාවක් (knowledge stream) වශයෙනි. නූතන සන්නිවේදන ලෝකයේ විනෝදාස්වාදය හා ජනශ්‍රැති ආභාසය එකිනෙකින් වෙන් කළ නොහැකි ලෙස බද්ධ වී පවතී. විනෝදය සැපයීම රාජකාරි කටයුත්තක් වශයෙන් සිදු වීම දැක ගත හැකි වන්නේ රජවාසල කවටයින් බිහිවීම හේතුවෙනි. එතෙර රටවල ඒ අය හඳුන්වනු ලැබුවේ රජවාසල කවටයින් යන අර්ථය දෙන කෝට් ජෙස්ටර් (court jester) යනුවෙනි. ලංකාවේ රජවාසල අන්දරේ මෙන්ම භාරතීය රජවාසල බීර්බල් එබඳු දෙදෙනෙකි. මේ හැරුණු විට මහදැනමුත්තා කතාවලින්ද කැකිල්ලේ රජකතා වලින්ද නොමඳ විනෝදයක් ලැබිණි. පසුකල කෙමෙන් මේ කවට කතා වලට අතිරේක අර්ථ රැසක් ද එක්වීම සිදු වූයේ කෙමෙන් ඒවා මාධ්‍යගත වීම හේතුවෙනි. මෙසේ විනෝදය යන්න කෙමෙන් පුළුල් අර්ථ රැසක් එක්වීමෙන් විවිධාකාර හැඩතල ගැනීමක් දැක ගත හැකි විය. පුවත්පත බිහි වීම හේතුවෙන් මේ විවිධත්වය පාඨක රුචිය ඇද බැඳගන්නා උපක්‍රමයක් බවට පත් විය. එසේම ගුවන්විදුලියේ නැඟීම අනුව කනින් ඇසෙන විනෝදය සැපයෙන විවිධාංග ප්‍රචලිත විය. ගැමි නාට්‍ය කලාවෙන් පෝෂණය ලැබ වර්ධනය වූ දෘශ්‍ය මාධ්‍ය මගින් විවිධාකාර සිද්ධීන් (events) හා ජවනිකා (episodes) මගින් විනෝදය සැපයීම සිදු විය. කෙමෙන් විනෝදය සැපයීම කර්මාන්තයක් බවට පත් වූයේ එය මානව ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වීම හේතුවෙනි.

විනෝදය යන සංකල්පය කොතෙකුත් වරදවා වටහා ගත් අවස්ථා දැක ගත හැකි ය. විනෝදාස්වාදය මඟින් උපහාසය වෙනුවට අපහාසය ජනිත වූ අවස්ථා ද මාධ්‍ය ලෝකයට ආගන්තුක නොවේ.

Comments