අසූවේ වර්ජනයෙන් උපන් මානව හිතවාදී ලේඛකයා | සිළුමිණ

අසූවේ වර්ජනයෙන් උපන් මානව හිතවාදී ලේඛකයා

 

දිවිසැරිය

 

උපත - 1951 නොවැම්බර් 05

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කිරීම - 1979

නිදහස් මාධ්‍යවේදියකු වීම - 1980

දිවයින පුවත්පතට සම්බන්ධ වීම - 1981

අභාවය - 2018 මාර්තු 28

මියයන විට වයස - අවුරුදු 66

 

ඉපැරණි ගසක් සැතකින් වෙන් කළ සැනිනී
ඒ ගස වැටෙන විට හැඬුවේ මුල පමණී
සෝදුක් දරා ගෙන ගිලිහෙන නෙත් අගිනි
කඳුළක වෙහෙස දන්නේ කම්මුල පමණී

 

කඳුළක වෙහෙස ගැන සංවේදනාවක් ඇති වන්නේ කඳුළේ බර දන්නකුට පමණී. කඳුළක් වැටෙන්නට හේතු කාරක වෙන කිසිවෙක් කඳුළේ බර හඳුනන්නේ නැත. සැම දනන් මුවඟ සිනහව හා සතුට බලාපොරොත්තු වෙන සහෘදයන් ඇත්තේ අතළොස්සකි. මූණට එකක් කියා නැති තැන තව එකක් කියන ඇතැම්හු ඇත්තේ සාමාන්‍ය ජනතාව අතර පමණක් නොවෙති; මාධ්‍ය කලාවට ද එය පොදු කරුණකි. සැමට එකසේ සහෘදය සිතැති ව මඳ සිනාවෙන් නිරන්තර ඔපවත් මුහුණකින් යුත් චන්ද්‍රසිරි දොඩන්ගොඩ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා; එසේත් නැත්නම් සහෘදය නිර්මාණකරුවා එවැන්නෙකි. හේ සිය නමේ අර්ථය සේම සඳ සේ සිරියාවෙන් ම යුතු වී ය.

මාතර පල්ලෙ අපරැක්කේදී එක්දහස් නවසිය පනස් එකේ නොවැම්බර් 05 වැනිදා මෙලොව එළිය දුටු චන්ද්‍රසිරි දොඩන්ගොඩගේ උප්පැන්නේ සඳහන් නාමය ‘දොඩන්ගොඩගේ දොන් චන්ද්‍රසිරි‘ ය. වෘත්තියෙන් වැවිලි ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවූ දොඩන්ගොඩගේ පියාගේ නම අර්නෝලිස් දොඩන්ගොඩ ය; මව නමින් නන්දාවතී අමරතිලක ය. ඔහුට වැඩිමල් සොහොයුරියන් දෙදෙනෙකි. ඔවුහු නමින් ශීලා දොඩන්ගොඩ හා සිරිමතී දොඩන්ගොඩ ඔවුහු වෙති. ඔහුගේ සොහොයුරන් දෙදෙනෙක් වන පියසිරි දොඩන්ගොඩ හා විජේදාස දොඩන්ගොඩ මේ වන විට ජීවතුන් අතර නැත. බාල සොහොයුරු නමින් හේමන්ත දොඩන්ගොඩ ය. දොඩන්ගොඩගේ ආදරණීය බිරිය සුනිලා විජේසිංහ ඔහුට සෙවණැල්ලක් ව ජීවිතය බෙදා හදා ගත්තේ ඔහුගේ ලේඛන දිවියට දැවැන්ත පිටුබලයක් වෙමිනි. ඔවුන්ගේ එකම පුතු ඔස්ට්‍රේලියාවේ SBS මාධ්‍ය ආයතනයේ සිංහල ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකයකු වන නිපුන දොඩන්ගොඩ ය.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ අකුරු කරන්නේ අගුළුගහ මහා විද්‍යාලයේ ය. පාසලේ සාහිත්‍ය සමිතියේ ප්‍රධාන කථිකයා වූ ඔහු විවේකයක් ලද සෑම විටෙක ම පොත් කියැවූ බව සමකාලීන මිතුරකු වූ දයාරත්න පල්ලියගුරුගේ ඔහුගේ නික්ම යෑමෙන් තුන්මසකට පසු නිකුත් වූ ‘දොඩං‘ පොතට ලිපියක් ලියමින් කියයි. ඔහුගේ පළමු කතාව පළ වෙන්නේ උසස්පෙළ පන්තියේ ඉගෙනුම ලබන සමයේ ‘ශ්‍රී‘ සඟරාවේ ය. උසස්පෙළ ඉහළින්ම සමත් වෙන ඔහු ට කම්කරු දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබෙයි. ඒ අතර ඔහුට කැලණිය විශ්වවිද්‍යාලයට පිවිස උපාධිධාරියකු වීමේ වරම් ලැබෙයි.

යකඩය ගිණියම්කර තලන්නේ නැතිව භාණ්ඩ උපද්දන්නට නොහැකි ය. දියමන්ති බිහි වෙන්නේ ගිනි කඳු පිපිරීම් මඟින් ඇති වන අධික පීඩනය සහ උෂ්ණත්වය හේතුවෙනි. හදවතේ නම තැබූ බොහෝ ලේඛකයන් ද එසේ ය. ඔවුහු ජීවන අඹරේ දැඩි පීඩාවලට ලක් වෙති; අහිමිවීම්වලට ලක් වෙති; වෙනස්වීම්වලට ලක් වෙති. අවසන ඒවායේ පන්නරය ජීවන පන්නරයක් කොට තව බොහෝ ජීවිතවලට පන්නරය පිණිස ඒවා ලියා තබයි. වානේ පන්නරය ලැබූ හැටි ලියූ නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ද රුසියානු සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දරුණු ලෙස ආබාධිත තත්ත්වයට පත්වූ ලේඛකයෙකි. ලොවක් විස්මයෙන් අළලූ ඒ අග්‍රගන්‍ය නවකතාව ඔස්ත්‍රොව්ස්කි ලියන්නේ ඇස් පෙනීම බොහෝ දුරට දුර්වලව තිබියදී හා කන් ඇසීම සම්පුර්ණයෙන් ම නැවතී තිබිය දී ය.

80 වැඩ වර්ජනයේදී සිය පන්තිය පාවා නොදීම නිසා දොඩන්ගොඩට කම්කරු දෙපාර්තමේන්තුවේ රැකියාව අහිමි වෙයි. නිරන්තර අනෙකාගේ යහපත ම සිතූ චන්ද්‍රසිරි දොඩන්ගොඩට අසාධාරණය අභිමුව මුව පියා ගෙන සිටීමට හැකි වූයේ නැත. 80 වර්ජනයෙන් පසු රැකියා වියුක්තිකයන්ගේ ගොඩට වැටෙන දොඩන්ගොඩ පුවත්පත්වලට ලිපි ලියන්නට පටන් ගන්නේ එකී පන්නරයෙනි. එබැවින් චන්ද්‍රසිරි දොඩන්ගොඩ ද පීඩනය විසින් ඔපමට්ටම් වූ ලේඛකයෙකි. හේ 80 වර්ජනයෙන් බැට කා ඒ මතින් ඇතිවූ වේදනාවෙන් ස්වකීය ජීවන විලාසිතාව ලේඛනය බවට පත් කර ගත්තෙකි. 80 වර්ජනය ලේඛනයේ තිඹිරි ගෙය කරගන්නා දොඩන්ගොඩට ලේක්හවුසියෙන් බිහි වූ යොවුන් ජනතා පුවත්පතේ ඉඩ වෙන් වන්නේ ද මේ අවදියේදී ම ය. ධර්මසිරි ගමගේ සුළවත­ාණන්ගේ ඇසුරේ යොවුන් ජනතාවේ සිය නිර්මාණශීලී ලේඛනයට ඉඩ හදා ගන්නා දොඩන්ගොඩ යොවුන් පහන් වැට නිර්මාණ කේන්ද්‍රයේ ප්‍රමුඛ කවියකු වී ය.

කවියා යනු ආත්මය සුසර කරන්නා ය. සිහින් මඳ පවනින් පවා ප්‍රකම්පනය වෙන සියුම් වෙණ තතක් සදිසි සුමුදු හදවතකින් යුතු සංවේදී මිනිසකු ගොඩනැගීමේ පාදම සැකසෙන්නේ කවියෙනි. වරෙක පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් හේ සිය කවි සිත අවදි කළ ශෝකාන්තය ගැන මෙසේ සිය සිත අවදි කර තිබුණේ ය.

‘කුඩා කාලයේ මගේ නංගී මිය ගියා. ඇගේ සොහොනට තැබූ එකම මල් වඩමේ ඉතිරි වුණු ලීය පසුකලෙක කැලෑවේ තිබී මට හමු වුණා. නංගී ගැන ශෝකය ඇවිළුණේ ඒ ලී කැබැල්ල දැකීමෙන්. එදා තමයි මම මුලින් ම කවියක් ලිව්වෙ‘

නංගී ගැන හදවතේ ඇතිවූ සියුම් ශෝකය කවියකින් නිවා ගත් ඔහු එදා අතට ගත් පෑන ජීවිතයෙන් සමු ගන්නා තෙක් බිම තැබුවේ නැත. ඔහුගේ කාව්‍ය බස මනරම් ය; විචිත්‍රවත් ය; නම්‍යශීලී ය; අව්‍යාජ හා සුගම ය. ඒ අව්‍යාජ බව ඔහුගේ සියලු ලේඛනයන්හි ප්‍රකට වන්නකි. පුවත්පත් ලිපියක් ගත්ත ද, නවකතාවක් ගත්ත ද ඒ සියල්ලෙහි තිබුණු අව්‍යාජ මනරම් බව විසින් ඔහු වටා සුවහසක් පාඨකයෝ පොදි ගැසුණහ. දක්ෂ ලේඛක ලේඛිකාවන් සිටිය හැකිය; එහෙත් පාඨක හදවතේ ආදරණීය ව ලැඟුම් ගන්නට බොහෝ දෙනකුට නොහැකි ය.

සැබෑ අරුතින් ම පත්තරකාරයකු වූ දොඩන්ගොඩ නිකම් ම නිකන් පත්තරකාරයකු වී නැවතුණේ නැත. හේ සාහිත්‍යකරුවකු ද වන්නේ ය. පුවත්පත් කලාවේදීන්ට සාහිත්‍යකරුවන් විය නොහැකි බවට වන මතය හේ ජීවන විලාසයෙන් ම පුස්සක් කළේ ය. 90 දශකය වන විට දිවයින ඉරිදා සංග්‍රහයේ විශේෂාංග කර්තෘ වන දොඩන්ගොඩ සතිපතා කොටස් වශයෙන් ලියන නවකතා නිසා ඔහු දකින්නට දිවයින කාර්යාලයට ආ යුවතියන් අපමණ ය. ලංකාවේ පුවත්පතකට වැඩිම නවකතා ලියූ ලේඛකයා ඔහු ය. ඔහු අතින් ලියැවුණු නවකතා ප්‍රමාණය 20 කට වැඩි ය. ඒ සියල්ල ම අතිශය පාඨක ජනාදරයට පත් ඒවා ය. ඒ අතර ආත්මා, ලෝචනා, පූජාසනය, විසිරුණු මල් පෙති, සසල රාත්‍රිය, සඳ කළුවරයි, නේත්‍රා, භෂ්මාවශේෂ, කඳුළු දොරකඩ, යාත්‍රා ආදී නවකතා වේ. ඒ අතර මගේ සඳ ඔබ සහ භෂ්මාවශේෂ ස්වර්ණ පුස්තක අවසන් වටය ද නියෝජනය කළේ ය.

දිවයින දොඩන්ගොඩ සිටි සමයේ රස ගුලාවකි. කරුණාදාස සූරියආරච්චි, තිස්ස වීරසේකර, ගාමිණී සුමනසේකර, කිත්සිරි නිමල් ශාන්ත, සුනිල් මාධව ප්‍රේමතිලක වැනි රසවතුන් එක් වූ කල එය රස ගුලාවක් වනු වැළැක්විය හැක්කේ කාටද? පත්තර කන්තෝරුවල මේ සුන්දර පයුරුපාසානය තරම් සරසවියක් පත්තර කලාවට පැමිණෙන්නකුට ලැබෙන්නේ නැත. එය එතරම් ම සුන්දර ය; විචිත්‍ර ය; පොතේ නැති බොහෝ දෑ එහි කතා වෙයි. ජීවන සරසවිය තරම් පුවත්පත් කලාවේදියකුට අන් යමක් වටින්නේ නැත. මේ වැනි කතා බහ පුස්තකාලයක තරම් දැනුමක් සම්පාදනය කරයි.

පසුකලෙක සිළුමිණ ප්‍රධාන කර්තෘ ධූරයට පත් කරුණාදාස සූරියආරච්චීන් පැරණි මතක දිග හරිද්දී දොඩන්ගොඩ නම කිහිප වාරයක් කියැවෙනු අපි අසා ඇත්තෙමු. එකල කසුරිගේ කොලම ලියා කරුණාදාස සූරියආරච්චි මුලින් ම එය දෙන්නේ දොඩන්ගොඩ අතට ය. ඔහු ද බොහෝ කැමැත්තෙන් හා ආශාවෙන් ඒ ලිපිය කියවන බවත්; එහි ඇති උපහාසවලට හේ තනියම සිනහ වෙමින් කොලම රස විඳින්නේ අව්‍යාජ ව බවත් කසුරි මහතා අපට පවසා තිබේ. හේ කිසි විටෙකත් අන්‍යයන් කෙරෙහි ද්වේශ සහගත වූයේ නැත. ඔහු මුවඟ නිරන්තරයෙන් අව්‍යාජ මඳ සිනාවකින් සැරසී තිබිණි. දොඩන්ගොඩ තමන් ලියන ලිපිය එකවර ලියා අවසන් කරන බවත් නැවත කපාකොටා සකස් කරන අයුරක් තමා දැක නැති බවත් පවසන්නී ප්‍රිය බිරිය සුනිලා ය. දොඩන්ගොඩ කවදාවත් නැවත ලියන්නට, හදන්නට ලිව්වේ නැත. භාෂාව ඔහුට ඕනෑ විදියට හදා ගත්තා මිස ඔහු භාෂාවේ වහලකු වූයේ නැත.

තම අතට පත්වෙන ඕනෑ ම ලිපියක් හේ කිසිදු මැසිවිල්ලකින් තොර ව සංස්කරණය කරයි; අවශ්‍ය නම් නැවත ලියයි. ඔහුගේ බස නිරවුල් ය; සංකල්ප රූප ජනනය කරන්නේ ය. දඹදිව උපන් කතා, බුදුන්ගේ දේශය දුටුවෙමි වැනි විශේෂාංග එකල බෙහෙවින් ජනප්‍රිය ය. ඒවා හේ එහි යන්නකුට මඟ සලකුණු මතක සිටිනා තරමට ලස්සනට ලියයි. ඔහු අතිශය ජනාදරයට පත් කළ ‘ඇසිදිසි මානය‘ තීරු ලිපි දේශපාලන, සමාජ, ආර්ථික කරුණු කෙරෙහි ඔහු දැක්වූ බුහුටි දැනුම්වත්භාවය මැනවින් ප්‍රකට කළේ ය. හොඳ නිර්මාණයක් යනු සිතිවිලි කල්පනා සමඟ මෝරා විත් නිසි කල්හි කිරිල්ලියකගේ කුසින් නික්මෙන බිජුවටක් වැනි යැයි ඔහු ම කියන්නේ එනිසා ය. හාස්‍ය, උපහාසය මැනවින් කලතා කියන දේ නිසිව කියන්නට සමත් ඔහු වැනි පුවත්පත් කලාවේදීන් සිටියේ නම් ඒ අල්පයකි.

අතිශය මානව හිතවාදී ඔහුගෙන් වරක් පුවත්පත් කලාවේදියෙක් ඔබ වඩාත් ම දුකට පත් කළ පොත කුමක්දැයි අසා ඇත. ඔහු කියා ඇත්තේ කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත‘ කියා ය. දම්මිලා සුගත්ලා අතර ඔහු කම්පනය වන්නේ ඔහුගේ අතිශය සංවේදී මනුසත් බව නිසා ය. ඔහු චමත්කාරයට පත් කළ ලේඛකයා ගැන ඇසූ විට ලැබී ඇති පිළිතුර වූයේ සයිමන් නවගත්තේගම හා ඉසබෙල් අයියන්දේ කියා ය. මේ දෙදෙනාම පරිකල්පන ලෝකයේ ඉමක් තෙරක් නැතිව කරක් ගසන ලේඛකයන් ය. ඉදින් දොඩන්ගොඩ ඔවුනට ප්‍රිය වීම අපට අරුමයක් නොවේ ය.

ලේඛකයා යන වචනයේ අර්ථ තුනක් ඇත. ඒ වචනය සෑදෙන්නේ ‘ලිබ්‘ ධාතුවෙනි. ලිවීම මෙන්ම ඇඳීම යන අර්ථය ද මේ ධාතුවේ අන්තර්ගත ය. එසේම පහුරු ගෑම, ඉරි ගැසීම සහ සීරීම යන අරුත් ද ‘ලිබ්‘ ධාතුවේ ඇත. ඇතැම් ලේඛකයන්ගේ ලේඛන වාච්‍යාර්ථ දනවයි. සමහර ලේඛන අපට පහුරු ගෑම්, සීරීම් සිහිපත් කරයි. ඇතැම් ලේඛකයන්ගේ ලේඛන මනාකොට අඳින ලද චිත්‍ර මෙනි. සැබැවින් ම නිපුන ලේඛකයා යනු වචන වලින් චිත්‍ර අඳින්නා ය. දොඩන්ගොඩ එවැන්නෙකි. ඔහු වචනවලින් අඳින චිත්‍ර පාඨක සහෘදයා මනරම් සිතිවිලි ලොවකට කැන්දා ගෙන යන්නේ ය. එනිසා ම පුවත්පත් කලාව ඇතුළත හේ ලකුණකි. නිර්මාණකරණයේද වෙසෙස් අනන්‍යතාවක් ප්‍රකට කෙරූවෙකි.

හේ විරහවෙන් පෙළුණු සිත්වලට ජීවකයෙකි; ආදරයෙන් පිරුණු සිත්වලට සුපහන් දැක්මකි; තැළුණු සිත්වලට අමා බිඳකි; පීඩිත සිත්වලට අරමුණක් සම්පාදනය කරන්නෙකි. කුමන අර්ථයෙන් ගත්ත ද ඔහු ලේඛකයකු වශයෙන් සිය වගකීම හා ආදරය දේශයට පුද කෙරූවෙකි.

දොඩන්ගොඩ ලේඛකයා නික්ම ගිය 2008 වසරේ මාර්තු 28 දා බොහෝ දෙනාට සුසුමක් හෙළුණේ ඔහු පිළිබඳ ස්නේහයෙනි. හදවතක සෙනහසේ නවාතැනක් වන්නට හැකි වන නිර්මාණකරුවන් කිසිදා මිය යන්නේ නැත. වෙන්වීමේ ගැඹුර ගැන ඛලීල් ජිබ්රාන් කියූ වදන් කෙතරම් සත්‍ය දැයි දැනෙන්නේ මෙවන් සොඳුරු මිනිසුන් සමුගනිද්දී ය.

‘විප්‍රයෝගය සඳහා හෝරාව පැමිණෙන තෙක්ම ප්‍රේමය ස්වකීය බන්ධනයේ ගැඹුර නොහඳුනන්නේ ය‘

Comments