අරුත් වෙනස දක්වන ල-ළ-2 | සිළුමිණ

අරුත් වෙනස දක්වන ල-ළ-2

 

මේ දිනවල හරි වහරින් විමැසෙන්නේ ල - ළ දෙකෙහි මාරුවෙන් අරුත වෙනස් වන වදන් වේ. අද ද එ බඳු වදන් කිහිපයක් විමැසිල්ලට ලක් කරමු.

පළමු වැ විමැසෙන්නේ ගල - ගළ යන වදන් යුවළ යි. ගල යනු ගල් යන නාම ප්‍රකෘතියට 'අ' ප්‍රත්‍යයය එක් වීමෙන් ඇති වන ඒක වචන පදය යි.එහි අරුත නොදන්නෙක් නැත. මුල් අරුතින් බැහැරව වෙනත් අරුත්හි ද එ වදන යෙදෙන බව පෙනේ. සංස්කෘතයෙහි, පාලියෙහි ඍජු ව මේ හා අනුරූප වදනක් ඇතැ යි කිය නොහැකි ය.'ගිරි' යනු යන්තම් සමාන වේ. දෙමළ බසෙහි 'කල්' යනු ගල් යන අරුත දෙයි.

සිංහලයෙහි 'ගල' ගා ධාතුවක් ද වෙයි. ඟැලිම් අරුතෙයි යෙදෙන එය 'ගලා (ගලයි) - ගලති - ගැලී - ගැලූ' යැයි පරස්මෛ පදයෙහි ද, 'ගැලේ - ගැලෙති - ගැලිණි - ගැලුණු' යැයි ආත්මනේ පදයෙහි ද වර නැඟේ. ගිලීම් අරුතෙහි ද 'ගල'ධාතුව යෙදේ. එ කල අතීත පද ගිලී - ගිලිති යැයි සිටී.

ගල යන (දන්තජ) 'ල' සහිත වදන පාලියෙහි ද සංස්කෘතයෙහි ද බෙල්ල අරුතින් යෙදේ. ගෙල යනු සිංහලයෙහි ඒ හා අනුරූප වැ යෙදේ. ගලනාලය, ගලරාව (පරෙවි) ආදිය ඒ අරුතින් යෙදේ. ගලග්‍රහය නම් බෙල්ලෙන් අල්ලා ගැන්ම යි.

දැන් 'ගළ' යන (මූර්ධජ) 'ළ' යෙදෙන වදන විමසා බලමු. එහි අරුත නම් සමූහය, පෙළ යනු යි. 'වන ගළ' යන තන්හි මේ අරුතෙහි 'ගළ' යනු යෙදී ඇත්තේ ය.

දොළ දොළ හූරු මුළු පළ කළ පබල දළ

බල ලෙළ පුවළ පෙර මඟ වන ගළ නැබළ

යැයි හංස සන්දේශයේ ඒ යෙදේ. සංස්කෘතයෙහි, පාලියෙහි ඝට / ඝටා යනු ගළ හා අනුරූප වේ.

තල - තළ යන වදන් යුවළ විමසා බලමු. එහි (දන්තජ) 'ල' යෙදෙන තල යනු බහ්වර්ථවත් (බොහෝ අරුත් ඇති) වූවෙකි. ප්‍රමුඛ අර්ථ නම් (සංස්කෘත, පාලි 'තිල' යනු හා අනුරූප වූ) තල නම් ධාන්‍ය වර්ගය, (සංස්කෘත ස්ථල, පාලි ඵල යනු හා අනුරූප වූ) ගොඩබිම් තැන, සමතල පෙදෙස, (සංස්කෘත, පාලි තාල යනු හා අනුරූප වූ) තල නම් ගස් වෙසෙස ආදිය යි.

කළ යැයි (මූර්ධජ) 'ළ' යොදා ලියන තල ප්‍රමුඛාර්ථය වනුයේ විල යනු යි. ඒ සංස්කෘතයෙහි තටාක, පාලියෙහි තඩාග යනු හා අනුරූප ව යෙදේ.

පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් පටින්

තරව තඹර පෙති ගිලි දිය තළා පිටින්

යන සැලළිහිණි සඳෙස් යෙදු‍මෙහි තළා යනු මේ තළ යන්න ම ය. අමාවතුරෙහි 'අනුතත් විල්, දහ, තළා' යන්නෙහි විල්, දහ, තළා යන තුන ම ඒ තළ (විල්) අරුතින් යෙදී ඇති සේ පෙනේ. මේ 'තළ' යන්නෙහි තට්ට හෙවත් මුඬු යන අරුත ද වෙයි.

සිංහලයෙහි 'තළ' යි ධාතුවක් ද ‍වේ. එය පරස්මෛ පදයෙහි 'තළා (තළයි) - තළති - තැළී - තැළූ' යි ද ආත්මනේ පදයෙහි 'තැළේ - තැළෙති - තැළිණි - තැළුණු' යි ද වර නැඟේ‍. සංස්කෘතයෙහි, පාලියෙහි 'තාඩ'යනු ඒ හා අනුරූප වෙයි. තැළීම එහි අරුත යි. තාඩන යනු නම් සිංහලයෙහි ද නිතර යෙදෙන වදනෙකි. මේ 'තළ' ධාතුවෙන් නිපදින 'තළා' යන පූර්ව ක්‍රියාව විල් අරුතෙහි යෙදෙන වදනට රූපයෙන් සමාන වෙයි.

මෙ බඳු තව ද වදන් යුවළක් නම් තුල - තුළ යනු යි. තුල / තුල් යන (දන්තජ) 'ල' ඇති වදන සංස්කෘතයෙහි තුල්‍ය, පාලියෙහි තුල්ල යනු හා අනුරූප වෙයි. එ දෙකෙහි ම යෙදෙන 'තුලා' යනු හා අනුරූප ව ද සිංහලයෙහි 'තුල' යනු යෙදේ. සමාන භාවය හෙවත් සාම්‍යය, තරාදිය යන අරුත් මෙයින් ලැබේ.තුල් යන්නෙන් තව ද අරුතක් ලැබේ. එ නම් මහත් යනු යි. සංස්කෘතයෙහි ස්ථූල, පාලියෙහි ථුල්ල යනු ඒ හා අනුරූප වේ.

'තුල' යැ යි ධාතුවක් ද පුරාතන සිංහලයෙහි යෙදුණු බව පෙනේ. එය 'තුලා (තුලයි) - තුලත් - තිලී - තිලූ' යි වර නැඟිය හැකි ය.

'තුළ' යන (මූර්ධජ) 'ළ' යෙදෙන වදනෙහි අරුත නම් අභ්‍යන්තරය, ඇතුළත යනු යි. සංස්කෘතයෙහි පාලියෙහි අන්තර යනු හා අනුරූප වෙයි. ඇතුළ (ඇතුළු) යන්නෙහි 'ඇ' ලොප් වීමෙන්, ඉවත් වීමෙන් තුළ යනු නිපන් බව පෙනේ.

බො‍හෝ විට මේ 'තුළ' යන්නෙහි නිෂ්පත්තිය (ඇති වූ සැටි) නො දැනුමෙන් දෝ 'ඇතුල්' යනු අභ්‍යන්තර යන අර්ථයෙහි යොදති. 'ඇතුල් වීම' යන යෙදුම බොහෝ තන්හි පිවිසුමෙහි දැකිය හැකි ය. ඇතුළු වීම යනු ම ය නිවැරැදි යෙදුම.

ඇතුළ ගැන කියන කල අතුල අතුළ වදන් යුවළ ද නොමතක කළ හැකි නො වේ. මෙ ද ඇතැමුන් වරදවා යොදන අයුරු දැකිය හැකි ය. අතුල යනු තුල නොවන හෙවත් අසමාන යන අරුත දෙයි. වත්මනෙහි පුද්ගල නාමයක් ලෙස ද ඒ බෙහෙවින් යෙදේ. අතුළ යන (මූර්ධජ) ළ යෙදෙන වදන අතුර යන ධාතුවෙන් නිපදින අතීත කෘදන්ත රූපය යි. අතුරන ලද යන අරුත යි. එ සේ 'ළ' යෙදෙන අතීත කෘදන්ත ගැන පසු ව විමසමු.

Comments