අතරමඟ නතර වුණු කතරගම ජීවිත | සිළුමිණ

අතරමඟ නතර වුණු කතරගම ජීවිත

 

කතරගම දෙවියන්ගේ වැඩසිටිනා බව පැවසෙන කතරගම යනු නිරතුරුවම බැතිමතුන්ගෙන් පිරී යන නගරයකි. කතරගම ජනතාව යැපෙන්නේද කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙනි.

කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට තමන් විසින් නෙළාගෙන එනු ලබන මල්, සහ අනෙකුත් පූජා භාණ්ඩ මෙන්ම පලතුරු වට්ටි සාදාදීමෙන් පිරිසක් දිවි ගෙවති. තවත් පිරිසක් දිවි ගෙවන්නේ විවිධ ආයිත්තම් අලෙවියෙනි. දේශීය ධාන්‍ය වර්ග ඇතුළු විවිධ ඖෂධ වර්ග අලෙවියෙන් තවත් පිරිසක් දිවි ගෙවති. දොදොල් මස්කට් වැනි නිෂ්පාදන තවත් පිරිසකගේ දිවි රැක දෙන්නේය.

ආප්ප කඩ ජීවනෝපාය කරගත් පිරිස්ද මේ අතර සිටින අතර තම නිවාසයන්හි කාමර කුලියට දෙමින් ආදායම උපයා ගත් අයද කතරගම වෙති.

එසේ තම ජීවිකාව රැකගත් කතරගම ජනතාවට අද සිදුව ඇත්තේ කුමක්ද? සිළුමිණ පසුගියදා කතරගම ගොස් විමසා බැලුවේ ඒ සම්බන්ධයෙනි.

කතරගම ජනතාව කබළෙන් ළිපට වැටී ඇත්තා සේය. ඔවුන් අද යන එන මං නොමැති පිරිසක් බවට පත්ව තිබේ.

වෙනදා කතරගමට දිනකට පැමිණෙන දහස් ගණනකට අධික වාහන වෙනුවට අද දක්නට ඇත්තේ ඉදහිට පැමිණෙන රාජ්‍ය ආයතනයක හෝ වෙනත් අත්‍යවශ්‍ය සේවා වාහනයක් පමණි. විශ්‍රාම ශාලා බොහොමයක් වසා දමා ඇත. විවෘතව ඇත්තේද අතළොස්සක් පමණි. කතරගම වෙනදා තිබුණු කලබලකාරී බැතිමතුන්ගේ ස්වභාවය නැත්තටම නැතිවී ගොසිනි. කාක්කකුගේ කෑගැසීමක් පවා නොඇසෙන තරම්ය. කතරගම නගරය එතරම්ම පාළුය.

කතරගම පුදබිමට ගොස් පැමිණෙන ජනතාවට උදෑසන හා සවස් කාලයේ ආප්ප ලබා දෙන ආප්ප කඩපේළිය දෙසට අපි පියමැන්නෙමු. ඒ සියලු කඩ වසා දමා තිබේ. කිසිවකුත් පෙනෙන්නට නැත. ඒ සම්බන්ධව සොයා බැලූ අපට දැනගන්නට ලැබුණේ එයින් බහුතරයක් කුලී වැඩ සොයමින් තැන් තැන්වලට ගමන් ගන්නා බවයි.

අපි නගරයේ පූජා වට්ටි අලෙවි සැල් වෙත පිය නැඟුවෙමු. එයින් බහුතරය වසා දමා තිබේ. විවෘතව තිබුණේ කඩ 6ක් පමණකි.

එක් කඩයක හිමිකාරියක් වන එස්. පුංචිහේවා පැවසුවේ කඩකාමරයේ මාසික කුලිය ගෙවන්නට හෝ හැකියාවක් නොමැති බවයි.

‘‘2018 අවුරුද්දෙන් පස්සෙ හරියාකාර වෙළඳාමක් වුණේ නැහැ. 2018 ඇසළ පෙරහරට සෙනඟ ආවත් 2019 පාස්කු ප්‍රහාරය නිසා අඩු පිරිසක් ආවෙ. 2020 කිසි කෙනෙක් ආවෙ නැතිතරම්. මේ අවුරුද්දත් ඉතින් එහෙමම තමයි. අපිට කන්න බොන්න තරම්වත් ආදායමක් හොයා ගන්න අමාරුයි. ආණ්ඩුවෙන් දුන්න රුපියල් 5,000 නිසා යන්තම් වේලක් දෙකක් පිරිමහ ගත්තා. ඒ වුණත් ඒකෙන් අපිට ජීවත් වෙන්න හැටියක් නැහැ.‘‘

කතරගම පූජා භූමි මාවතේ පලතුරු වට්ටි අලෙවියේ නියැළෙන ඉන්ද්‍රානිද පවසන්නේ එවැනිම කතාවකි.

‘‘ අපිට පහුගිය කොරෝනා වෙලාවෙ නම් ප්‍රාදේශීය සභාවෙන් සහනයක් ලැබුණා. මේ වතාවෙත් ලැබෙයි කියලා හිතනවා. කතරගම කියන්නෙ වන්දනාකරුවන් ආවොත් අපට රැකියා තියෙන නැත්නම් අපට රැකියා නැති නගරයක්. කතරගම සේරම වෙළෙඳාම තියෙන්නෙ වන්දනාකරුවන් අතේ. අපි දැන් අනාථයන් ගාණට වැටිලා. කවදා මේ අගාධයෙන් ගොඩ එන්න ලැබෙයිද දන්නෙ නැහැ‘‘

පූජා වට්ටි අලෙවියේ යෙදෙන අංජුද තමන්ගේ පිය උරුමයෙන් පලතුරු වට්ටි ඇතුළු පූජා භාණ්ඩ අලෙවියේ යෙදෙන්නෙකි. අද ඔහුගේ පූජා වට්ටි අලෙවි සල වසා දමා ඇත. එය ඉදිරිපිටට වී හූල්ලමින් සිටියදී අපට අංජු හමුවිය.

‘‘කාට කියන්නද? මේක ආණ්ඩුවටවත් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයිනෙ. කතරගම නගරය විතරක් නෙමෙයි අවට සේරම ජනතාව අනාථ වෙලා ඉන්නෙ. හැමෝගෙම ජීවිත අතරමඟ නතරවෙලා වගේ දැන්. අපිට වෙන රස්සාවක් කරන්නත් බැහැ. කරන්න තැනකුත් නැහැ. ඉක්මනින් මේ වසංගතය දුරු වුණේ නැත්නම් අනෙක් පළාත්වලට වඩා කතරගම තත්ත්වය දරුණු වෙන්න පුළුවන්. මොකද කතරගම පලතුරු වෙළෙන්දො, වගේම අනෙක් වෙළෙන්දො ජීවත් වෙන්නෙ සම්පූර්ණයෙන්ම බාහිර අය නිසා‘‘

දොදොල් ඇතුළු රසකැවිලි ව්‍යාපාරයේ යෙදෙන මාලනීට අද අත්ව ඇත්තේද එවන් ඉරණමකි. ‘‘අපි දොදොල් හදලා අපේම කඩවල විකුණපු අය. දැන් අපේ නිෂ්පාදන විතරක් නෙමෙයි, ඒකට සහාය දුන්න අයත් සම්පූර්ණයෙන්ම අමාරුවෙ වැටිලා ඉන්නෙ. වෙනදා දවසට දොදොල් තැටි කීයක් නම් දානවද? ඒත් අද එක තැටියක් දාලවත් වැඩක් නැහැ. නමට තැටියක් දාගෙන බලාගෙන ඉන්නව කවුරු හරි එයි කියලා. හදිස්සියෙන් එන්නෙ අත්‍යවශ්‍ය රාජකාරිවලට එන අය විතරයි. ඒ වගේම පොල් තෙල්, පොල් ගණං නිසා දොදොල් මිලත් අඩු කරන්න බැහැ. ඒකත් අපිටම වෙච්ච අවාසියක්. ‘‘

අපි කිරි වෙහෙර පාරේ මල් කඩ කිහිපයක් වෙතද ගියෙමු. ඔවුන්ද මල් අතැතිව සිටියද මල් කඩ සියල්ලම මෙන් පාළුවට ගොසිනි. ඉඳහිට විවෘතව ඇති කඩයක් දෙකක් හැරෙන්නට වෙනත් අලෙවියක් ඔවුන්ට නැත්තා සේය.

‘‘වෙනදා මාසෙකට රුපියල් ලක්ෂ දෙකක විතර ආදායමක් මල් කඩවලින් එනවා. එයින් සෑහෙන මුදලක් බදු හැටියට ගෙවන්න වෙනවා. ඒත් අද නම් අපිට වැලේ වැල් නැහැ. කිසිම ආදායමක් නැහැ. මල් කඩ කියන්නෙ අපේ පවුලේම ආදායමයි. ඒත් දැන් ඒ ආදායම් නැති නිසා මල්කඩවල මල් විකුණපු සේරම පාරට වැටිලා. අනේ මංද කවදා අපිට ගොඩඒමක් ලැබෙයිද කියලා.‘‘ ඒ කිරිවෙහෙරට යන වන්දනාකරුවන්ට මල් විකුණා ජීවත්වන මල්කාන්තිය.

ඒ ආසන්නයේම මල් විකුණන චන්දිමාටද කියන්නට ඇත්තේ එවන් කතාවකි

‘‘දැන් අවුරුදු ගාණකින් අපට හරියට වෙළෙඳාමක් නැහැ. මේ වගේ කතරගම අනාථ වෙච්ච කාලයක් 88/89 තිබුණා කියලා අපේ ගමේ වැඩිහිටි අය කියනවා. ඒ කාලෙත් කතරගමට කිසිම කෙනෙක් ආවෙ නැතිලු. ජේවීපී කලබල නිසා. අපිට ආදායමක් ලැබෙන්නෙ කිරිවෙහෙර වඳින්න කට්ටිය ආවොත් විතරයි. සමහර දවසට දහයකට පහළොවකට වැඩිය වඳින්න එන්නෙ නැහැ. කඩේ ලයිට් බිල්වත් ගෙවන්න ආදායමක් නැහැ. කොහොමත් මේ දවස්වල කට්ටිය රෑට මල් විකුණන්නෙ නැහැ. පෙරහැරත් ජනතාවට බලන්න බැරි නිසා අපට මල් කඩ හවස 3.00 වෙනකොට වහන්න වෙනවා. වෙනදා පෙරහර කාලෙට තමයි අපිට වැඩිම ආදායමක් තියෙන්නෙ. ඒත් අද කන්න බොන්නවත් නැහැ‘‘

කතරගම පූජාභූමි නිසා අසරණ තත්ත්වයට පත්ව සිටින ජනතාවට හැකි උපරිම ලෙසින් පිහිට වීමට කටයුතු කළ බව රුහුණු මහ කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පැවසීය. ‘‘ පුළුවන් උපරිම විදිහට මම ඒ අයට වියළි ආහාර පාන සපයා දෙන්න කටයුතු කළා. ඒ වැඩේ පටන් ගන්නකොටම බොහෝ දෙනෙක් කිව්වෙ අනික් ඒවා නැතුව හරි කමක් නැහැ හාල් ටිකක් වැඩිපුර දෙන්න කියලා කැඳ හදාගන්න හරි පුළුවන් කියලා. ඒක නිසා කිලෝ 10 හාල් පැකට් පවුල් 4,000කට විතර දුන්නා. ලක්ෂ 40කට වැඩිය ගියා ඒ වැඩේ කරන්න. ඒත් කතරගම දේවාල භූමිය කේන්ද්‍ර කරගෙන ජීවත් වෙච්ච අය ගැන අපි හොයලා බලන්න ඕනනෙ.

ඉස්සරහටත් පුළුවන් විදිහට හොයල බලනවා. සමහර අය අවුරුද්දටම ආදායම හොයා ගන්නෙ පෙරහර පැවැත්වෙන සති දෙකේදි තමයි ඒත් මේ පාර ඒ අයට පෙරහර දවස්වල ආදායම සම්පූර්ණයෙන්ම ඇණහිටලා. පෙරහර මංගල්‍යය පවත්වද්දි කතරගම ජනතාව දුක් විඳිනව අපට බලා ඉන්න බැහැ. තියෙන්නෙ. අපි කතරගම ජනතාව ගැන ඉදිරියටත් පුළුවන් විදිහට සොයලා බලනවා.‘‘

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක රංගනයන්ද පැවසුවේ කතරගම ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බවයි.

‘‘අද ඒ අය පත්වෙලා ඉන්න තත්ත්වය ගැන විස්තර කරන්නත් අමාරුයි. ප්‍රාදේශීය සභාවටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපි ඒ සීමාවටත් වඩා උපරිමයෙන් කරනවා. මේ වෙනකොට ප්‍රාදේශීය සභාවටත් ආදායමක් නැහැ. රථගාල් ආදායම් නැහැ. කඩ කුලී ගන්න විදිහක් නැහැ. වරිපනම් ලැබෙන්නෙ නැහැ. හෝටල්වලින් ලැබුණු 1% බද්ද නැහැ. ටෙන්ඩර් ලබා දීල තිබුණු වැසිකිළිවල ආදායම් පවා ලැබෙන්නෙ නැහැ.

ඒ වුණත් අපි සභාවෙ කටයුතු කරනවා. සභාවෙ වැඩිපුරම ඉන්නෙ ආදේශක සේවකයො. ඒ අයට පඩි ගෙවන්න විතරක් ලක්ෂ 15ක් විතර ඕන වෙනවා. කොහොම හරි ඒ අයගෙ රැකියාව සුරක්ෂිත කරල දීල ගෙනියනවා.

හුඟක් දෙනෙක් දන්නෙ නැතුව ඇති කිරිවෙහෙරට යන පාරෙ පොඩි මල්කඩයක් බදුදීල තියෙන්නෙ මාසෙකට රුපියල් ලක්ෂ එකහමාරක කුලියකට බව. සමහර අයට ඒ ගාණ ගැන පුදුම හිතෙන්නත් පුළුවන් ඒ මල් කඩේකින් ඒ වගේ බද්දක් ගෙවන්න පුළුවන්ද කියලා. ඒකෙන් පේනව නේද කතරගම ජනතාවගේ ආදායම් මාර්ග අද මොනතරම් අගාධයට ගිහින් නේද කියලා. මම පළමු රැල්ලෙදි මාස 4ක් විතර බද්දෙන් නිදහස් කරල දුන්නා ඒ අයට. මේ පාරත් මැයි, ජූනි, ජූලි, අගෝස්තු දක්වා මාස 4ක් බදු නිදහස දෙන්න නිර්දේශ කළා. මට තනියම ඒ සම්බන්ධව තීරණයක් ගන්න බැහැ. කොමසාරිස්වරයාටයි, ආණ්ඩුකාරවරයාටයි දන්වලා තියෙන්නෙ. අනුමැතිය ලැබෙයි. ඒ අය කොහෙන් ගෙවන්නද?

කතරගම නගරයේ විතරක් පූජා වට්ටි විකුණන කඩ 100ක් තියෙනවා, මාල වළලු වගේ ෆැන්සි බඩු විකුණන කඩ 200ක් තියෙනවා. කිරි වෙහෙර පාරෙ මල්කඩ 30ක් තියෙනවා. නගරයේ ආප්ප කඩ 40ක් තියෙනවා.

සෙල්ල කතරගම පූජා වට්ටි කඩ 20ක් තියෙනවා. දොදොල් වගේ කෑම බීමත් බෙහෙත් ධාන්‍ය වර්ග විකුණන කඩත් 200ක් විතර තියෙනවා. ඒ වගේම අනවසර වෙළෙන්දොත් 500ක් විතර ඉන්නවා. ඇවිදිමින් මල්මාල වගේ ඒව විකුණන. පවුල් 2,000ක් විතර අද අතරමං වෙලා කිව්වොත් ඒක නිවැරැදියි. මේ වෙනකොට කතරගම කිසිම ආදායමක් නැති නගරයක් බවට පත්වෙලා තියෙන්නෙ.

වෙන එකක් තියා හදිසියට ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනි යන්න වාහනයක් පවා සොයා ගන්න විදිහක් නැහැ. මම ප්‍රාදේශීය සභාවෙ වාහනවලින් තමයි ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට ගෙනියන්නෙ.

සභාවෙත් අට දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැලඳුණා. ඒත් අපි කොහොම හරි සභාවෙ කටයුතු කරනවා. කොවිඩ් එන්නත තවම කතරගමට ලැබුණෙ නැහැ. රජයේ සේවකයන්ට හා මාධ්‍යවේදීන්ට නම් එන්නත් ලබා දුන්නා. ඒ කාර්යයත් ඉක්මන් කරන්න අපි ඉල්ලීමක් කර තියෙනවා. වසංගත තත්ත්වය දුරු වෙනකල් කතරගම මේ විදිහටම තියෙයි කියලයි මට නම් හිතෙන්නෙ‘‘

ජනතාව පොදි පිටින් එහා මෙහා ගිය කතරගම අද තත්ත්වය සියැසින්ම දැක බලා ගත යුතුය. එය එතරම්ම ‍ ශෝක ජනකය. ජනතාවගේ දුක කියන්නේ කාටද යන්න ඔවුන්ට ඇතිව තිබෙන ප්‍රශ්නයයි. කුලියක් මලියක් කර ගන්නට කතරගමින් බැහැරට පවා යන්නට ඔවුන්ට හැකියාවක් නැත. ගියත් වසංගත තත්ත්වය හමුවේ නිවාසයන්ට බාහිර පුද්ගලයන් සහභාගි කර නොගැනීම නිසාද ඔවුන් අසරණව ඇත.

මැණික් ගඟද අද පාළුය, සිඟමන් යැදි යාචකයන්ද පෙනෙන්නට නැත.

කතරගම අද තත්ත්වය එසේය. කතරගම දෙවියන්ගේ බැල්ම සියලු දෙනා කෙරෙහි යොමු විය යුතුය. දෙවියන්ගේ පිහිට ඔවුන්ට අවශ්‍යම කරන වේලාව දැන් උදා වී තිබේ.

 

සේයාරූ - විමල් කරුණාතිලක

 

Comments