ඉතිහාසයේ කළු පැල්ලමට වසර 38යි | සිළුමිණ

ඉතිහාසයේ කළු පැල්ලමට වසර 38යි

ලාංකීය ඉතිහාසයේ දරුණුතම මිනිස් සංහාරයක් සිදුවූයේ 1983 ජුලි 24 වැනිදා සිට ජුලි 30වැනිදා දක්වාය. එවකට ආණ්ඩුවට සම්බන්ධ සංවිධානාත්මක පිරිස්වල අනුග්‍රහය ඇතිව සිදුවූ 1983 කළු ජූලිය සැලසුම්සහගත ව්‍යාපාරයක් බව දෙමළ ජනතාවගේ ආකල්පය විය. ආණ්ඩුවේ නිල සංඛ්‍යාලේඛන අනුව මරණයට පත්වූ සංඛ්‍යාව 471කි. තුවාලවලට ලක්වූ අයගේ සංඛ්‍යාව 3,769කි. සිදුවූ මං‍කොල්ලකෑම් සංඛ්‍යාව 3,835කි. එහෙත් නිල නොවන සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව 2,000ක් වූ අතර නිවාස 8,000ක්ද කඩ සාප්පු 5,000ක්ද විනාශ වූ අතර දෙමළ ජාතිකයින් 150,000ක් පමණ අවතැන් විය.

උතුරේ බෙදුම්වාදී ප්‍රශ්නය, උතුරු නැගෙනහිර අර්බුදය, ජනවාර්ගික ප්‍රශ්නය, ඊළම, ෆෙඩරල් වාදය, ආදි විවිධ නම්වලින් හැඳින්වෙන දෙමළ දේශපාලන පක්ෂවල ඉල්ලීම් සම්බන්ධයෙන් ඉකුත් අඩසිය වසක කාලය තුළ විවිධ එකඟතාවයන් සහ ගිවිසුම්ද ඇති කරගෙන තිබේ. වෙනම රාජ්‍යයක් ලබා ගැනීම සඳහා දෙමළ සංවිධාන සන්නද්ධ ක්‍රියාවලියක්ද 70 දශක‍ය මුල් භාගයේ ආරම්භ කළ අතර ඉකුත් දශක හතරකට ආසන්න කාලයෙහි තුළ එම දෙමළ බෙදුම්වාදී සංවිධානවල ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා ඝාතනයට ලක්වූ උතුරේ සහ දකුණේ පිරිස 60,000කට ආසන්න විය.

එජාප ආණ්ඩු කාලයේදී යුද්ධය නිමා කිරීමේ අරමුණින් ඉන්දියාව සමඟ ගිවිසුමක් 1987 ජුලි 29 වැනිදා ගිවිසුමක් අත්සන් කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දිය හමුදා භටයින් ලක්ෂයට ආසන්න සංඛ්‍යාවක් 1987 ජුලි මස සිට 1990 මාර්තු දක්වා ශ්‍රී ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර දෙමළ ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධ මෙහෙයුම් සිදු කළද එය අසාර්ථක විය. එම ඉන්දිය හමුදාව ශ්‍රි ලංකාවට බලහත්කාරයෙන් පැමිණීමට විරෝධය දැක්වීමද ජවිපෙ 2වැනි කැරල්ලේ එක් ප්‍රධාන අරමුණක් වූ අතර එහිදී ඝාතනයට ලක්වූ දකුණේ ජනයාගේ සංඛ්‍යාව 41,813කි. අනතුරව වසර 2009 මැයි 19වැනිදා තිස් වසරක යුද්ධය මුළුමනින් පරාජයට පත් කර රටට සාමය උදාකිරීමට පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් විය.

ෆෙඩරල් පක්ෂය 1949දී එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් අතර රාජ්‍ය භාෂා පනතට එරෙහිව 1957 අගොස්තු මාසයේදී සත්‍යග්‍රහයක් සහ හර්තාලයක් පවත්වන බවට එමඟින් නිවේදනය කරන ලදී. දෙමළ බෙදුම්වාදයට විසඳුම් වශයෙන් මුලින් ඇතිකරගනු ලැබූ එකඟතාවය සැලකෙන්නේ 1957 ජුලි 26වැනිදා ඇතිකර ගනු ලැබූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමය. මේ පිළිබඳව අගමැති බණ්ඩාරනායක සහ ෆෙඩරල් පක්ෂ නායකයින් අතර 1957 ජුනි 26 වැනිදා හොරගොල්ලේදී රහසිගත සාකච්ඡාවක්ද පැවැත්විණි. එම රහසිගත සාකච්ඡා පසුව 1957 ජුලි 9වැනිදා අගමැති කාර්යාලයේදීද 1957 ජුලි 14වැනිදා රොස්මිඩ් පෙදෙසේද, සෙනට් මන්ත්‍රී මණ්ඩල ‍ගොඩනැගිල්ලේද පැවැත්විණි. තීරණාත්මක සාකච්ඡා පැවතියේ 1957 ජුලි 25වැනිදාය. බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම 1957 ජුලි 26 අත්සන් කෙ‍ෙරනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අවසානයේ විරෝධතා නිසා එම ගිවිසුම ක්‍රියාත්මක ‍‍නොවීය.

සමඟි පෙරමුණ ආණ්ඩුවට පක්ෂපාතී වූ යාපන නගරාධිපති දොරේ අප්පා 1975දී දෙමළ බෙදුම්වාදීන් විසින් ඝාතනය කිරීමෙන් පසු 1982 වන විට උතුරු පළාත ගිනියම් වෙමින් පැවතිණි. 1982 ජුලි මසදී පොලිස් භටයින් 4 දෙනක් යාපනය නෙල්අඩි හන්දියේද මරා දැමූ අතර 1982 ‍ඔක්තෝබර් මස වාවකච්චේරි පොලිස් ස්ථානයට කඩාවැඳි භටයින් තිදෙනෙකු ඝාතනයකර දෙමළ බෙදුම්වාදීන් ආයුධ පැහැර ගෙන යන ලදී. එජාප ආණ්ඩුව මගින් 1982දී සිය පාර්ලිමේන්තු නිල කාලය දික්කර ගැනීම සඳහා ජනමත විචාරය පැවැත්වූ අතර එහිදී ආණ්ඩුවට පක්ෂව ඡන්ද සියයට 54.7ක් ලැබිණි.

ජනාධිපතිවරණයද 1982 ඔක්තෝබර් 21වැනිදා පැවති අතර ඉන් එජාප අපේක්ෂක ජනාධිපති ජයවර්ධන ඡන්ද සියයට 52.91ක් ලබා ගනිමින් ජයග්‍රහකයා බවට පත්විය. එම ජනමත විචාරණ සහ ජනාධිපති මැතිවරණය අතිශයින් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අතර ඡන්ද දැමීම්වලදී අයථා ක්‍රියා රැසක් සිදුවිය.

එයට පෙර 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේදී ප්ලොට් සංවිධානය මඟින් එජාප අපේක්ෂකයෙකු වූ ඒ. තංගරාජා මැයි 24වැනිදා වෙඩිතබා ඝාතනය කල අතර මැයි 30වැනිදා මැතිරණ ප්‍රචාරක රැස්වීමක රාජකාරියේ යෙදී සිටි පොලිස් භටයින් දෙදෙනෙකුද ඝාතනය කරන ලදී. ඉන් ප්‍රකෝපයට පත් ආණ්ඩු හිතවාදි පිරිස් ‍1981දී ග්‍රන්ථ සහ අත්පිටපත් 97,000ක් පමණ තිබූ 1935දි ආරම්භ කරන ලද යාපනය සිවු මහල් පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදී. සංවර්ධන සභා මැතිවරණයට පෙර සහ මැතිවරණ දිනයේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප‍දෙනෙකු යාපනයට යවන ලදී. ඇමතිවරු වූ ගාමිණී දිසානායක සහ සිරිල් මැතිව්ද ඇතුළු කිහිප දෙනෙක්ද ඒ අතර විය.

වසර 1983 ජුලි 15වැනිදා හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් චාවකච්චේරි මිසාලයේදී කොටි ත්‍රස්තවාදීන් වූ ලූකස් චාල්ස් ඇන්තනි නොහොත් සීලන්ද රාමනාදන් අරුල්නාදන් යන දෙදෙනා මිය ගොස් තිබිණි. මින් සීලන් යනු කොටි නායක ප්‍රභාකරන්ගේ එවකට සිටි සමීපතමයෙකි. එම මරණ වෙනුවෙන් පලිගැනීමට තීරණය කළ කොටි කණ්ඩායම සිදුකළේ නිරුනෙල්වේලි පාරේ බිම් බෝම්බ වැළලීමය.

ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සී කණ්ඩායමේ දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන ගේ නායකත්වයෙන් 15කගෙන් යුත් භට කණ්ඩායමක් 1983 ජුලි 23වැනිදා රාත්‍රී කාලයේදී මාර්ග පරික්ෂාවක නිරත විය. ඔවුන් ගියේ යු.හ. 4889 දරන ජිප් රථයෙන් සහ 26 ශ්‍රී 3193 දරණ ට්‍රක් රථයෙනි. ප්‍රභාකරන්ගේ සමීපතමයෙකු වන සෙල්ලක්කිලි අත්අඩංගුවට ගැනීමට සිදුකරන මෙහෙයුමේදී මාර්ග පරික්ෂා කර ගුරු නගර් කඳවුරට වාර්තා කරන ලෙසට ඔවුන්ට නියෝග දී තිබිණි.

එදින රාත්‍රී 11.28ට ඌරුම්පිරායි හන්දිය පසුකොට විනාඩි 5ක් පමණ ගත වෙද්දී හෙන හඬක් නඟමින් ඇතිවූ පිපිරුමකට ජිප්රිය හසුවිය. වෙඩි ප්‍රහාර හා බෝම්බ වර්ෂාවක් මෙන් පතිත විණි. ජිප් රථය පැදවූයේ කෝප්‍රල් ජී.ආර්. පෙරේරාය. 22කුගෙන් සමන්විත වූ කොටි ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාර හමුවේ දිවි රැක ගැනීමට සමත් වූයේ කෝප්‍රල් උපාලි පෙරේරා සහ ලාන්ස් කෝප්‍රල් සුමතිපාල පමණි. භටයින් 13දෙනෙකු මියගොස් තිබිණි. එවකට යුධ හමුදාපති ජනරාල් තිස්ස වීරතුංගය. එම සිරුරුවල අවසාන කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට මිනී වලවල් 14ක් හාරා තිබිණි. කෝප්‍රල් උපාලි පෙරේරාද මියගිය බවට සලකා තිබිණි. එහෙත් ඔහු බරපතළ තුවාල ලබා ජීවත් විය.

එසේ මියගිය හමුදාවේ 13 දෙනාගේ කණ්ඩායමට දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන, සැරයන් එස්.අයි. තිලකරත්න, කෝප්‍රල් ජී.ආර්. පෙරේරා(රියදුරු), ලාන්ස් කෝප්‍රල් ජී.ඩී. පෙරේරා, සාමාන්‍ය සෙබළුන් වන ඒ.ඩී. මාතපිටිය, එම්.බී සුනිල්, ඒ.ජේ. විජේසිංහ, කේ.පී කරුණාරත්න, පී.ජී. රාජතිලක, එස්.එස් අරසිංහ, ජී. රොබට්, ඒ.එස් මනතුංග(රියදුරු) සහ ජේ.ආර්. ප්‍රනාන්දු යන අය අයත් වූහ.

උතුරේදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට පත්වූ සෙබළුන් 13 දෙනා මළසිරුරු 1983 ජුලි 24වැනිදා පස්වරු 5ට බොරැල්ලේ කනත්තට ගෙන එන බවට කීවද රාත්‍රී 7වන තෙක් එම මළ සිරුරු ගෙන ආවේ නැත. පිරිස නොසන්සුන් වූ අතර පොලිස් අධිකාරි ගෆූර් විසින් කලබලකාරී කිහිප දෙනෙකුට පහරදීමත් සමඟ කොළඹ කනත්ත ගාලගෝට්ටියක් බවට පත්වූ අයුරු එම ස්ථානයේදී සිද්ධිය සියසින් දුටු ලේඛකයාට මතකය. කුපිත වූ පිරිස බොරැල්ල සහ ඒ අවට තිබූ දෙමළ කඩසාප්පු සහ නිවෙස් වලට ප්‍රහාර එල්ල කළහ. එය එදිනම රාත්‍රී මුළු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සිදුවෙනු දක්නට ලැබිණි. ඒ අතරතුර බොරැල්ලේ කනත්තේ වළ දැමීමට ගිය සෙබළුන්ගේ මළ සිරුරැ යළිත් හමුදා මූලස්ථානයට ගෙනවිත් ගම්වලට පිටත්කර යැවීමට බලධාරින් තීරණය කරන විටද සියල්ල සිදුවෙමින් පැවතිණි.

ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනීමෙන් පසු ජනාධිපති ජයවර්ධන කොළඹට ඇඳිරිනීතිය පැනවූයේ පැය 24ක් ගතවීමෙන් පසුවය. එනම් 1983 ජුලි 26වැනිදාය. ඒ වන විටත් දෙමළ ජනයාට එරෙහි කෝලාහලය සංවිධානාත්මක මට්ටමින් කොළඹ සහ ඒ අවට දිස්ත්‍රික්කයන්හි දියත් වෙමින් පැවතිණි. ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වු සිරිල් මැතිව් එම ක්‍රියාවලියට සෘජුවම දායක වූ බවට බරපතළ චෝදනා විය. ඔහුගේ සහ ආණ්ඩු හිතවාදී ඇතැම් ආධාරකරුවෝ දෙමළ නිවෙස් සොයා ගියේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඡන්ද හිමි නාම ලේඛන ද අතැතිවය. වැල්ලවත්තේ මැර කණ්ඩායම් මෙහෙයවන ලද්දේ ජාතික සේවක සංගමයේ ප්‍රධානියෙකි. ගල්කිස්සේ කෝලාහල ‍වලට නායකත්වය දුන්නේ නගර සභාවේ එජාප මන්ත්‍රීවරයෙකි. පිටකොටුවේ කඩසාප්පු 442ක් විනාශ කරමින් සහ ජීවිත හානි සිදුකිරීමේ අණදෙන්නා වූයේ දේශපාලනයට සම්බන්ධ පතාලයේ දාමරිකයෙකි. ජනාධිපති ජයවර්ධන ජාතිය ඇමතුවේ කලබල වලින් පසුව දින පහක් ගොස් 1983 ජුලි 28වැනිදා රාත්‍රීයේය.

වැලිකඩ සිරගෙදර සිටි දෙමළ සිරකරුවන් ප්‍රථමයෙන් 35 දෙනෙකුද 18 දෙනෙකුද අනුක්‍රමික ප්‍රහාර දෙකක් 1983 ජුලි 25වැනිදා සහ 27වැනිදා එල්ල කරමින් 53 දෙනෙකු මරා දමන ලදී. ඒ අතර ටෙලෝ සංවිධානයේ නිර්මාතෘවරයා වූ කුට්ටිමනීද සන්නද්ධ ව්‍යාපාරයේ තවත් ආරම්භකයෙකු වූ ජෙගන්ද විය. කොස්තාපල්වරයකුට 1979දී වෙඩිතබා ඝාතනය කිරීමට වරදකරු වූ කුට්ටිමනීට 1982 අගෝස්තු 13වැනිදා කොළඹ මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කොට තිබිණි.

ජනාධිපති ජයවර්ධන සිවුදිනක් යන තෙක් කිසිදු ප්‍රකාශයක් ලබා දුන්නේ නැත. එයට දින 5කට පෙරාතුව 1983 ජුලි 18වැනිදා ජනාධිපති ජයවර්ධන ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ මාධ්‍යවේදී ග්‍රැහැම් ඩෝඩ් සමඟ කළ සාකච්ඡාවකදී කියා සිටියේ "යාපන‍ය ජනතාවගේ මතය කුමක් වූවද තමාට කමක් නැති බවය. දැන් අපට ඔවුන් ගැන සිතිය නොහැකිය. ඔවුන්ගේ ජීවිත ගැන හෝ අප පිළිබඳව ඇති ඔවුන්ගේ මතය ගැන සිතිය නොහැකි බවය." දින කිහිපයක් ගතවීමෙන් පසු කොළඹ ගම්පහ කළුතර ඇදිරිනීතිය සීමා කළ අතර හමුදා මුර සේවා ක්‍රියාත්මක විය. අවිගත් දෙමළ ත්‍රස්තවාදීන් තිදෙනෙකු කොටුව බෝගහ අසල ගොඩනැගිල්ලක ඉහළ මහලකට නැඟී 1983 ජුලි 27වැනිදා වෙඩි තැබීමක් සිදු කළ අතර ඉන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ යළිත් උණුසුම් විය.

කළු ජූලි කෝලහල ලැව් ගින්නක් සේ 1983 ජුලි 24වැනිදා සිට ජුලි 30වැනිදා දක්වා රටපුරා පැතිර ගිය අතර උතුරු නැගෙනහිර පදිංචි සිංහල පවුල්ද සංවිධානාත්මක දෙමළ පිරිස් විසින් එම ප්‍රදේශවලින් දකුණට පලවා හරින ලදී. එම සිය ගණනක් සිංහල පිරිස්ද උතුරු නැගෙනහිරදී තිරස්චින ලෙස ඝාතනය කළ අතර ඔවුන්ගේ නිවාස, කඩසාප්පු විනාශ කළ අතර සියලු දේපළද අවසානයේදී බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ලදී.

දෙමළ සංහාරයට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ විවේචනවලට පිළිතුරක් වශයෙන් එජාප ආණ්ඩු සිදු කළේ වාමාංශික පක්ෂ 3ක් 1983 ජුලි 31වැනිදා ගැසට් මගින් තහනමට ලක්කිරීමය. එජාප නායක ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කළු ජූලිය අන්තවාදී වාමාංශිකයන් විසින් දියත් කළ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට වාර්තා වී ඇති බැවින් එම තීරණය ගත් බවය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජ පක්ෂය තහනම් කරන ලදී. කොමියුනිස්ට් පක්ෂයේ සහ නව සම සමාජයේ නායකයෝ කෙටි කලක් සැඟවී සිට ආණ්ඩුවට බාරවීමෙන් පසු කොප සහ නව සමසමාජ පක්ෂවල තහනම ඉවත් කරන ලදී. ජනතා විමුක්ති පෙරමුණ එසේ බාර නොවු අතර තහනම ඉවත් කරන ලෙස නිරතුරුව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීම් කරන ලදී.

එජාප ආණ්ඩුව අවසානයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට යැයි කියමින් හයවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක දිගට පාර්ලිමේන්තුවේ විවාද කර 1983 අ‍ගෝස්තු 8වැනිදා සම්මත කර ගත්තේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙක්ම වෙනම රාජ්‍යක් පිහිටුවීමට සහාය නොදිය යුතු බවට ප්‍රතිඥා දිය යුතුය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිය නිසා ඔවුනට එසේ දිවුරුම් දිය නොහැකි විය. ඒ අනුව උතුරු පළාතේ සියලුම මන්ත්‍රීවරුන් සහ නැගෙනහිර පළාතේ ආර්. සම්බන්ධන්ද ඇතුළු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද අයත්ව දෙමළ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 1983 ඔක්තෝබර් 23වැනිදා අහෝසි විය. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් වෙනුවට ශ්‍රිලනිපයේ අනුර බණ්ඩාරනායක විපක්ෂ නායක බවට 1983 නොවැම්බර් 8වැනිදා පත්කර ගනු ලැබුවේ ශ්‍රිලනිප මන්ත්‍රීන් 9කගේද මඑපෙ මන්ත්‍රී දි‍නේෂ් ගුණවර්ධන සහ කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රී සරත් මුත්තෙට්ටුගමගේ සහායෙනි.

කළු ජූලියේ ප්‍රතිඵලයක් ලෙස උතුරේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධාන තමිල්නාඩු ප්‍රාන්තය සිය මූලස්ථානය කරගත්තේය. ඉන්පසුව ඉන්දියාවේදී දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට අවි පුහුණුව ප්‍රසිද්ධියේ ලබා දෙමින් ත්‍රස්ත පුහුණු කඳවුරු 110ක් ඇරඹීමට ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ නායකත්වයෙන් ඉන්දිය රජය දශකයක් තුළ කටයුතු කළේය. ඉන්දීය රජය ඒවාට මුදලින් සහ ද්‍රව්‍යමය ආධාරද එළිපිටම ලබාදෙන ලදී.

ලක්ෂයකට ආසන්න දෙමළ පිරිස් 1983 කළු ජූලියෙන් පසු ශ්‍රී ලංකාව අතහැර දේශපාලන රැකවරණ පතා යුරෝපීය රටවලට සංක්‍රමණය විය. තවත් දහස් ගණන් දෙමළ වැසියන් බෝට්ටු මඟින් ඉන්දියාවට පලාගොස් දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුරුවල රැකවරණය ලබා ගත්හ. පසුව ඔවුහු සංවිධානාත්මකව දෙමළ ඩයස්පෝරාව ලෙස ඒකරාශි වී දෙමළ බෙදුම්වාදීන්ට සෘජුව සහ වක්‍රව ආධාර කරමින් සිටිති.

Comments