ෆේල් නොවී ඔලිම්පික් ඉහළින් පාස් වුණු පෙල්ප්ස් | Page 2 | සිළුමිණ

ෆේල් නොවී ඔලිම්පික් ඉහළින් පාස් වුණු පෙල්ප්ස්

 

කරන දේ හරියට දැනගෙන, හරියට ඉගෙනගෙන හරියටම කරන්න. වැරදීම් වෙන තැන් තේරුම් අරගෙන ඒවා නොවෙන්න වගබලා ගන්න. ජයග්‍රහණය තියෙන්නෙ එතැනයි.

'සමත් වීමට හැකි ක්‍රමවේද කීපයක් තිබේ. සාමාන්‍ය සමාර්ථ්‍යයක් නැත හොත් 'සිම්පල්' පාස් එකක් ලැබීම එකකි. දෙවැන්න සී නැත හොත් 'ක්‍රෙඩිට්' හෙවත් සම්මාන සමාර්ථ්‍යයක් ලැබීම ය. තෙවැන්න වනුයේ බී වර්ගයේ සාමාර්ථ්‍යයකි. එයට කියන්නේ වෙරි ගුඩ් පාස් නැත හොත් ඉහළ සමාර්ථ්‍යයක් කියාය. ඒ අතරින් හොඳම සාමාර්ථ්‍යය ඒ සාමාර්ථ්‍යය ය. ඒ යනු ඩිස්ටින්ක්ෂන් නොහොත් විශිෂ්ට සමාර්ථ්‍යයකි. ඔලිම්පික් සමත් වීමේ පදක්කමක් නම් ඒ අතරින් තරගාවලි කීපයක වැඩිම රන් පදක්කම් දිනා ගැනීම සම්බන්ධයෙන් සලකන කල ඉතිහාසයේ වඩා සාර්ථක මිනිසා ලෙස සැලකෙන්නේ ඔහුය. අසමත් නොවූ ඔහුට 'ෆේල් නොවුණු පෙල්ප්ස්' කියා වැහැරුවාට අරුමයක් නැත. මේ ඒ ෆේල් නොවී 'පාස්' වුණු පෙල්ප්ස් ගැන ය.'

ලොවම එක්තැන් කරවන මහා ක්‍රීඩා මංගල්‍යය හෙවත් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ඇත්තේ අතැඟිලිවලින් ගිණිය හැකි කාලයකි. ලොව පුරා විසිර පැතිර සිටින්නා වූ දක්ෂතා සපිරි, සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව ලොව පුරා ප්‍රේක්ෂක හදවත් ද ඒකාත්මික වන සමය උදා වෙමින් තිබේ.

ලෝක ක්‍රීඩාවේ වසන්ත සමය වන මේ සුවිශේෂී කාල සීමාව තුළ දී ඔලිම්පික් ක්‍රීඩා පිටිය තුළ පෙරළිකාර චරිත පිළිබඳ සුමිහිරි මතකයන් ක්‍රීඩාලෝලී සිත් තුළ සිහියට නැංවෙනුයේ නිරායාසයෙනි. එබඳු චරිතයකි, මයිකල් ෆ්‍රෙඩ් පෙල්ප්ස්. ඒ, මෙතෙක් ඉතිහාසය තුළ වැඩිම ඔලිම්පික් පදක්කම් ගණනාවකට හිමිකම් කියූ තැනැත්තා ලෙසිනි.

1985 ජූලි 30 වැනි දින අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් හි දී පෙල්ප්ස් උපත ලැබුවේ ය. ඒ, පාපන්දු ක්‍රීඩකයකු වූ මයිකල් ෆ්‍රෙඩ් පෙල්ප්ස්ගේ හා ප්‍රාථමික පාසල් විදුහල්පතිනියක වූ ඩෙබොරා සූ ගේ එකම පුතු ලෙසිනි. ඔවුන්ට, වැඩිමහල් දියණියන් දෙදෙනෙක් ද වූහ.

මයිකල්, පුතුට තැබුවේ තමාගේ නාමයම ය. එයට ප්‍රබලම හේතුව වූයේ තම පුතු තම නම පෙරටම රැගෙන යන පාපන්දු ක්‍රීඩකයකු වනු ඇතැයි සිහින මැවූ නිසාය.

මයිකල් හා ඩෙබොරා අතර කලක පටන් මෝදු වෙමින් පැවැති පවුල් ආරවුල් කෙළවර වූයේ දික්කසාදයෙනි. දියණියන් දෙදෙනාගේත් පුතුගේත් අනාගත මාවත තැනීම ඩෙබොරා භාර ගත්තා ය.

පියාගේ නික්ම යෑමෙන් ඉක්බිතිව පුතු පෙල්ප්ස් නම ලියුවේ ‘මයිකල් ෆ්‍රෙඩ් පෙල්ප්ස් II’ ලෙසිනි. ඒ, පියාගේ නමින් තම නම වෙන් කර හඳුනාගැනීමේ පහසුවට ය.

පෙල්ප්ස්ගේ පවුලේ තේමා පාඨය වූයේ ‘ක්‍රීඩාව’ ය. හේතුව පියා පාපන්දු ක්‍රීඩකයෙකි, සොයුරියන් දෙදෙනාම පිහිනීමේ උපන් හපනියන් ය. පියාගේ සිහිනය සැබෑ කිරීමට වෙර දරමින් සිටි පෙල්ප්ස් ට ‘පාපන්දු උණ’ තදින්ම වැලඳී තිබිණි. මව ද පිහිනුම් ක්‍රීඩාවට අසීමිත ඇල්මක් දක්වන්නියකි.

“පෙල්ප්ස්, ඔය ෆුට්බෝලෙ පැත්තකට දාලා අක්කලා වගේ පීනන්න යන්නකො.” මව ඇවිටිලි කළාය.

එසේ වුවද පෙල්ප්ස් ජලයට බසින්නට බියක් දැක්වී ය. එහෙත් ඒ බව ඇඟවීමට කැමැත්තක් නොදක්වන්නෙකි.

“බලන්න, ඒ දෙන්නා ගෑනු ළමයි වෙලත් පීනන ලස්සන. ඔයා කොල්ලෙක් හැටියට ඒ දෙන්නටත් වඩා පීනලා ඉස්සරහින් ඉන්න එපැයි.” මව යළි යළිත් ඇවිටිලි කළා ය.

“අම්මා කියන කතාව ඇත්ත තමයි. මම මොනවටද ඒ දෙන්නට දෙවැනි වෙන්නෙ? මමත් පීනනව පීනනවමයි.” පෙල්ප්ස් සිතට දිරිය, ජවය ගත්තේ ය.

ඔහුට මුලින්ම පිහිනුම් කලාවේ ‘අ’ යන්න කියා දුන්නේ අමෙරිකාවේ කීර්තිමත් පිහිනුම් ක්‍රීඩා පුහුණුකරුවකු වූ බොබ් බොවුමන් ය. පෙල්ප්ස් ගේ අසාමාන්‍ය හැකියාවන් කෙරෙහි ඉහළින් පැහැදුණු බොබ් වැඩිදුර විද්‍යාත්මක පුහුණුව සඳහා ඔහු, උතුරු බැල්ටිමෝර් පිහිනුම් සමාජයට යොමු කෙරිණි.

ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙසින් 10 වැනි වියෙහි පසුවද්දී , තමා අයත් වූ වයස් කාණ්ඩය නියෝජනය කරමින් මීටර 100 සමනල ආර පිහිනුම් ඉසව්වෙන් පිට පිටම ජාතික වාර්තාවන් පිහිටුවීය.

වසර 2000 දී සිඩ්නි ඔලිම්පික් තරගාවලියට සහභාගී වන්නට ඔහුට වාසනාව උදා වූයේ ඉහත ජයග්‍රහණයන් සමඟ ය. එවකට 15 හැවිරිදි වූ ඔහු ඒ කණ්ඩායම නියෝජනය කළ ළාබාලතමයා විය. ඇමරිකාව ඔලිම්පික් පිටියට මෙතරම් ළාබාලයකු යවා ඇත්තේ වසර 68 කට පසුවය. එහි දී ඔහු මීටර 200 සමනල ආර පිහිනුම් ඉසව්වෙන් 5 වැනි ස්ථානය අත් කර ගත්තේ ය. ජයග්‍රහණයක් නොලැබුව ද ඉන් තමා ඉහළ පන්නරයක් ලැබූ බව ඔහු පවසන්නේ ය.

මේ පන්නරයේ ප්‍රතිඵල ලැබුණේ 2004 ඇතෑන්ස් ඔලිම්පික් තරගාවලියේ දී ය. එහි දී පිහිනුම් ඉසව්වලින් පෙල්ප්ස් රන් පදක්කම් 6 ක් දිනා ගත්තේ ඔලිම්පික් ක්‍රීඩා වාර්තා 3 ක් පිහිටුවමිනි.

අනතුරුව පැවැති 2008 බීජිං ඔලිම්පික් තරගාවලියේ දී පිහිනා රන් පදක්කම් 8 ක හිමිකරුවා වූයේ ලෝක වාර්තා 7 ක් ද සමඟ ය.

තව ද ඔහු මහා පිහිනුම් ශූරයකු ලෙසින් 2012 දී ලන්ඩන් ඔලිම්පික් හි දී රන් පදක්කම් 4 ක් ද 2016 දී රියෝ ඔලිම්පික් හි දී රන් පදක්කම් 5 ක ද හිමිකරුවා බවට පත්විය.

මේ වන විට ඔලිම්පික් කෙළිබිමේ දී පිහිනුම් දස්කම් තුළින් සිය නිජබිම වන අමෙරිකාවට පෙල්ප්ස් උරුම කර දී ඇති රන් පදක්කම් ගණන 23 කි. රිදී පදක්කම් ගණන 3 ක් හා ලෝකඩ පදක්කම් 2 ක් ද වේ. තබා ඇති ලෝක වාර්තා ගණන 21 කි. මේ අද්විතීය මෙහෙවර වෙනුවෙන් අමෙරිකාවෙන් උරුම වී ඇති ගෞරව සම්මාන ප්‍රමාණය විස්සකට ආසන්න ය.

“මම හැමදාම කියන්නෙ හැම ඔලිම්පික් ක්‍රීඩකයෙක්ම මාව ආදර්ශයට ගන්න කියලයි. කරන දේ හරියට දැනගෙන, හරියට ඉගෙනගෙන හරියටම කරන්න. වැරදීම් වෙන තැන් තේරුම් අරගෙන ඒවා නොවෙන්න වගබලා ගන්න. ජයග්‍රහණය තියෙන්නෙ එතැනයි.” ඒ, පෙල්ප්ස් ක්‍රීඩා ලෝකයටම දෙන පණිවිඩය එය ය.

මේ වන විට ක්‍රීඩා දිවියෙන් මුළුමනින්ම සමුගෙන සිටින ඔහු උතුම් සමාජ මෙහෙවරක නිරතව සිටියි. ඒ, ක්‍රීඩාවෙන් උපයාගත් ධනයෙන් ඇරඹූ ළමා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන ආයතනයක ප්‍රධානියා ලෙසිනි.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Comments