හොකී පිත්ත වූයේය ආසියානුවන්ගේ කෙළිබිම මල්කිනිත්ත | සිළුමිණ

හොකී පිත්ත වූයේය ආසියානුවන්ගේ කෙළිබිම මල්කිනිත්ත

 

'ලොව අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය ලෙස සැලකෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආශ්‍රිතව ආසියාතිකයන් විවිධ ක්‍රීඩා ඉසව්වන්ගෙන් දක්ෂතා දක්වා තිබේ. එහෙත් ඒ අතරින් ප්‍රධානම ක්‍රීඩාවක් ලෙස සැලකිය හැක්කේ කුමක් ද? එය දකුණු ආසියාවම දිග් විජය කළ ක්‍රීඩාවකැයි පැවැසිය හැකි නම් ඔබට හැඟෙනුයේ කවරාකාරයේ සිතිවිල්ලක් ද? නිසැකවම එය දකුණු ආසියානු කලාපය තුළ සුවිශේෂී ව්‍යාප්තියක් සහිත ක්‍රීඩාවකි. මේ එම ක්‍රීඩාව හා මෙවර ඔලිම්පික් තරගාවලිය තුළ එකී ක්‍රීඩාවේ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ලියැවෙන විශේෂාංගයකි.'

රටක් යම් ක්‍රීඩාවක් වෙනුවෙන් දිගු කලක් රන් පදක්කමකට හිමිකම් කීවා නම් ඒ හොකී ක්‍රීඩාවෙනි.

ඉතාමත් සිත් ගන්නාසුලු ක්‍රීඩාවක් ලෙස ජනප්‍රියත්වයක් උසුලන හොකී ක්‍රීඩාව ආරම්භයේ සිටම කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත්තේ ඉන්දියානුවන් ය. ඒ 1984 න් එපිට කාලවකවානුව තුළදී වීම ද විශේෂත්වයකි.

තණකොළ සහිත ස්වාභාවික තණ නිල්ලක් වෙනුවට කෘත්‍රිම තණ පලස උපයෝගි කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන නවීනතම හොකී ක්‍රීඩාව තුළ යුරෝපීය ආක්‍රමණය වත්මනේ දී ඉහළින්ම කැපී පෙනෙන නමුත් අතීතයේ හොකී ශ්‍රී විභූතිය ප්‍රදර්ශනය කළේ ආසියාතික රටවල් ය.

ශත වර්ෂයකට වඩා වැඩි ඈත අතීතයකට දිව යන නූතන ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය තුළ පිරිමි හොකී රන් පදක්කම වැඩිම වසර ගණනක් තමන් සන්තකයේ තබා ගැනීමට සමත්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාව ය.

1928 පවත්වන ලද ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වූ ප්‍රතිවාදී සියලු කණ්ඩායම් අභිබවමින් පිරිමි හොකී රන් පදක්කම මුල් වරට ගෙල පැලඳගත් ඉන්දියානුවන් ය. එම අභිමානය පුරා වසර 36 ක් නොකඩවාම රැක ගැනීමට ඔවුහු සමත් වූහ.

1928 ඇරඹි ඔලිම්පික් රන් පදක්කම් වැස්ස නොකඩවා ඉන්දියානු දේශයට පතනය විය. එය එම ක්‍රීඩාවේ ආශ්චර්යය දකුණු ආසියානු කලාපයේම පැතිර යෑමට ඉවහල් විණි.

දෙවන ලෝක යුද්ධය නොවන්නට 1940 සහ 1944 දෙවතාවේ ඔලිම්පික් හොකී රන් පදක්කම ද ඉන්දියානුවන් සතු වීම වැළැක්විය නොහැකි වීමට ඉඩ තිබුණේ ය.

1928. 1932. 1936. 1948. 1952. 1956 යන වර්ෂවල නොකඩවා ලත් රන් පදක්කම් වැස්සෙන් තෙමී නොනැවතුණු මෙම ධෛර්යවන්ත ඉන්දියානුවන්ට 1964 සහ 1980 දෙවතාවේද ඔලිම්පික් ශූරයින් වීමට හැකි විණි.

ඉන්දියාවට පමණක් දෙවැනි වෙමින් පකිස්තානය ප්‍රදර්ශනය කළ දක්ෂතාවය ද ඉහළින් ඔලිම්පික් ඉතිහාසයෙහි කැපී පෙනෙයි. ඉන්දියානුවන් නොකඩවා ලත් රන් පදක්කම් ජය හමාර කරන්නට සමත් වූ පළමු රට බවට පත්වන්නට පාකිස්තානයට හැකි වන්නේ වර්ෂ 1960 දී ය. එහෙත්, එම ඉස්මතු වීම ද ආසියාවට මහත් ආඩම්බරයක් ලෙස හුවා දැක්විය හැකි ය.

1960 ලත් පරාජයේ වාඩුව 1964 දී ඉන්දියානුවන් නැවත ලබා ගත්ත ද එම ආනිශංසයම ඉන්දියානුවන්ට අත්විඳීමට 1968 දී සිදුවන්නේ පකිස්-තානය අතින් නැවත වතාවක් පරාජයට පත්වෙමිනි.

ඔලිම්පික් හොකී රන් පදක්කම ආසියාකරයට ලැබුණු අවසන් අවස්ථාව සටහන් වන්නේ වර්ෂ 1980 දී ය. ඒ පාකිස්තානය ලත් රන් ජයග්‍රහණයත් සමඟිනි. ඉන් අනතුරුව ආසියාතික රටකට අවසන් තරගයකට හෝ පැමිණීමට නොහැකි වී තිබේ.

ඔලිම්පික් හොකී ඉතිහාසය තුළ ඉන්දියානුවන් රන් පදක්කම් 08 ක් එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වන අතර වාරයේ පාකිස්තානුවන් රන් පදක්කම් 03 ක් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් බැගින් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ආසියාවට මහත් ආඩම්බරයක් එක් කරමිනි.

2000 වසරේ දකුණු කොරියාවට අමතරව මෙවර සත්කාරකත්වය ලබා දෙන ජපානය පමණක් ආසියාවට කීර්තියක් වෙමින් 1932 දී අවසන් තරගයකට වරම් ලබා තිබීම කැපී පෙනේ. එය ඔවුන්ගේ පළමු හා එකම පදක්කම ද වෙයි.

1908 ලන්ඩන් නුවර පැවැති සිව්වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ක්‍රීඩාව මුල්වරට හඳුන්වා දී ඇති අතර ඒ සඳහා සහභාගී වූ රටවල් සියල්ලම බ්‍රිතාන්‍ය නියෝජනය කළේ ය. එහි රන් පදක්කම එංගලන්තය දිනා ගන්නා අතර වාරයේ අයර්ලන්තයට රිදී පදක්කම ද ස්කොට්ලන්තයට ලෝකඩ පදක්කම ද හිමි විය.

1912 ඔලිම්පික් උලෙළට හොකී ක්‍රීඩාව ඇතුළත් නොවුණු අතර 1920 වසරේ එම අවස්ථාව යළි හොකී ක්‍රීඩාවට ලැබුණි. ඒ අනුව ශූරතාව බ්‍රිතාන්‍ය හිමි කර ගන්නා අතරවාරයේ ඩෙන්මාර්කයට අනුශූරතාව හිමිවිය. අද ලොව අංක එකට ශ්‍රේණිගතව සිටින බෙල්ජියම එහි තෙවැනි ස්ථානයට පත්විය. 1924 දී නැවත වතාවක් හොකී ක්‍රීඩාවට ඉඩ ඇහුරුණු අතර එය සංවිධානාත්මක රටාවකට ක්‍රියාත්මක වූයේ 1928 වසරේ සිට ය.

මෙතෙක් පැවැති ඔලිම්පික් හොකී තරග මාලාවන් 23 ආශ්‍රිතව රන් පදක්කමකට හිමිකම් කියන්නට ආර්ජන්ටිනාව (2016), ජර්මනිය (2012. 2008.1992 සහ1972), ඕස්ට්‍රේලියාව (2004), නෙදර්ලන්තය (2000 සහ 1996), බ්‍රිතාන්‍යය (1988. සහ 1920) නවසීලන්තය (1976) පාකිස්තානය (1984 .1968 සහ1960) ඉන්දියාව (1980.1964.1956.1952.1948.1936.1932 සහ1928) එංගලන්තය (1908) යන රටවල් සමත් වී තිබේ.

ඔලිම්පික් ක්‍රීඩාව සඳහා කාන්තා නියෝජනය වර්ෂ 1980 දී සටහන් වී ඇති අතර, එහි පළමු රන් පදක්කම හිමි කර ගැනීමට සිම්බාබ්බේ පිල සමත් විය. මෙතෙක් පැවති තරගමාලාවන් 10 ආශ්‍රිතව නෙදර්ලන්තය(1984.2008 සහ 2012) සහ ඕස්ට්‍රේලියාව(1988.1996 සහ 2000) 03 වතාව බැගින් රන් පදක්කම් දිනා ගනිමින් පෙරමුණේ පසුවෙන අතර සිම්බාබ්බේ(1980), ස්පාඤ්ඤය(1992), ජර්මනිය(2004) සහ බ්‍රිතාන්‍ය (2016) එක් වතාව බැගින් ශූරතාවය තහවුරු කර ගනිමින් කැපී පෙනුණි.

මේ අතරවාරයේ ලබන සිකුරාදා (23) දින සිට අගෝස්තු මස 08 වැනි දින දක්වා ජපානයේ ටෝකියෝ අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ඇති හොකී කණ්ඩායම් 24 අතරේ තම පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉදිරිපත් කරන්නට රටවල් 10ක් සමත්ව ඇත.

ඒ අනූව මෙවර ඔලිම්පික් හොකී තරගාවලිය සදහා සත්කාර ජපානයට අමතරව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, ආජන්ටිනාව, ස්පාඤ්ඤය, නවසීලන්තය, බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව සහ ජර්මනිය යන රටවල පිරිමි සහ කාන්තා කණ්ඩායම් වරම් ලබා සිටී.

මෙහි පිරිමි තරඟාවලිය සඳහා බෙල්ජියම සහ කැනඩාව ද සුදුසුකම් ලබා ගෙන ඇති අතර අයර්ලන්තය සහ චීනය කාන්තා තරඟාවලිය සඳහා සහභාගි වෙති.

සුපුරුදු පරිදි මෙවර පිරිමි සහ කාන්තා තරගාවලියන් සඳහා රටවල් 12 ක් බැගින් සහභාගී කරවා ගන්නා අතර එහි ආරම්භය ජූලි මස 24 වන දින සිදු කෙරේ.

මෙහි මූලික වටයේ තරග ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්වේ.

අවසන් මහා තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 05 වැනි දින (පිරිමි), අගෝස්තු මස 06 වැනි දින (කාන්තා) වශයෙනි.

පිරිමි

"ඒ" කාණ්ඩය

ජපානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, ආජන්ටිනාව සහ ස්පාඤ්ඤය.

"බී" කාණ්ඩය

නෙදර්ලන්තය, බෙල්ජියම, බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව, කැනඩාව සහ ජර්මනිය.

කාන්තා

"ඒ" කාණ්ඩය

නෙදර්ලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය

"බී" කාණ්ඩය.

ජපානය, චීනය, ඕස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය, නවසීලන්තය සහ ආජන්ටිනාව.

 

සපුමල් වීදිය බණ්ඩාර

Comments