සැණකෙළි අසිරි නංවන ඔලිම්පික් සුරතල්ලු | Page 2 | සිළුමිණ

සැණකෙළි අසිරි නංවන ඔලිම්පික් සුරතල්ලු

 

යම් විශේෂාංගයක් ජනාදරයට පත් වන්නේ එහි ආකර්ෂණීය අංග වැඩි වූ තරමට ය. ඒ ආකර්ෂණීය අංග විවිධත්වයෙන් යුක්ත වන විට ය. ඔලිම්පික් සැණකෙළියේ ක්‍රීඩාලෝලීන් කෝටි ගණනකගේ අවධානය දිනා ගැනීමට සමත් වූවන් අතර ඔලිම්පික් නිල සුරතලාට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි.

සාමාන්‍යයෙන්, චිත්‍රණය කරන ලද සිතුවමක් ඔලිම්පික් නිල සුරතල් සංකේතය ලෙස භාවිත කිරීම සිදු වෙයි. බොහෝ විට ඔලිම්පික් උළෙල පැවත්වෙන රටට ආවේණික සත්ත්ව රුවක්, එම රටෙහි ඓතිහාසිකත්වය පිළිබිඹු කරන යමක් වැනි නිර්ණායක පදනම් කර ගෙන මෙම සුරතලා නිර්මාණය කෙරේ.

1932 ‍ලොස් ඇන්ජලීස් ගිම්හාන ඔලිම්පික් උළෙල වෙනුවෙන් 'ස්මෝකි' නමින් සුරතල් සත්ත්වයෙක් යොදාගෙන ඇති නමුත් එය සංකේත රුවක් නොවී ය. ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ සැබෑ සත්ත්වයෙකි. මේ අනුව පළමු වරට ඔලිම්පික් සුරතල් සංකේතයක් නිර්මාණය කිරීම සිදුවූයේ 1968 වසරේ ප්‍රංශයේ පැවැති ශීත ඔලිම්පික් උළෙල වෙනුවෙනි.

එම වසරේ දී ම මෙක්සිකෝහි පැවැති ගිම්හාන ඔලිම්පික් උළෙල වෙනුවෙන් ද සුරතල් රුවක් නිර් මාණය විය. ගිම්හාන ඔලිම්පික් උළෙලක් අරබයා නිල සුරතල් රුවක් නිර්මාණය වූ පළමු අවස්ථාව එය බවට පත්විණි. එතැන් සිට මේ දක්වා ගිම්හාන ඔලිම්පික් තරගාවලි වෙනුවෙන් නිර්මාණය කර ඇති නිල සුරතල් සංකේත ගණන 14 කි.

මෙක්සිකෝ ගිම්හාන ඔලිම්පික් උළෙලේ නිල සුරතලා වූයේ 'රෙඩ් ජගුවර්' ය. රෙඩ් ජගුවර් යනු මෙක්සිකොවේ ජාතික සත්ත්වයා ද වේ. 1972 ජර්මනියේ මියුනිච් ඔලිම්පික් හි නිල සුරතල් සංකේතය 'වෙල්ඩි' නමින් හඳුන්වා තිබුණි. එය නිර්මාණය කර තිබුණේ 'ඩච්ෂුන්ඩ්' බල්ලාගේ රුව අනුකරණය කරමිනි. 1976 ගිම්හාන ඔලිම්පික් සැණකෙළිය ප්‍රංශයේ මොන්ට්‍රියෙල් නුවර දී පැවත්වුණු අතර එහි දී 'බීවර්' නම් සත්ත්වයා අනුකරණය කරමින් නිල සුරතල් සංකේතය නිර් මාණය කෙරුණි.

1980 මොස්කව් ඔලිම්පික්හි නිල සුරතලා ලෙස භාවිත කළේ රුසියාවේ ජාතික සත්ත්වයා වන දුඹුරු වලසාගේ රුව යි. 'වික්ටර් චිෂිකොව්' නම් ශිල්පියාගේ නිර්මාණශීලිත්වයෙන් හැඩ වුණු මෙම සුරතල් රුව 'මිෂා' නම් විය. 1984 අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් හි නිල සුරතලා සැකසීමේ දී අනුකරණය කෙරුණේ අමෙරිකාවේ ජාතික පක්ෂියා වන 'රාජාලියාගේ' රුවයි. 1988 දකුණු කොරියාවේ සෝල් ඔලිම්පික් උළෙල වෙනුවෙන් නිල සුරතලා සැකසුණේ කොරියානු ජනකතාවල සඳහන් වන 'හොඩෝරි' නම් කොටියා අනුකරණය කරමිනි.

1992 ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වුණේ ස්පාඤ්ඤයේ බාසිලෝනා හි දී වන අතර, කැටලන් ෂීප්ඩොග් සුනඛ විශේෂය සංකේතවත් කළ සිතුවමක් මෙහි නිල සුරතලා විය. ජෝර්ජියාවේ ඇට්ලන්ටා නුවර පැවැති 1996 ඔලිම්පික් උළෙලේ නිල සුරතල් සංකේතය පෙර ඔලිම්පික් උලෙළවලට වඩා වෙනස් හැඩයක් ගත්තේ ය. ඒ එය නිර්මාණය කෙරුණේ පිටසක්වල ජීවීයෙක්ගේ රුවක් සංකේතවත් කරමිනි. ජෝන් රයන් නම් නිර්මාණ ශිල්පියා නිම වූ මෙහි නිල නාමය 'ඉසි' නම් විය. පරිගණකය ආධාරයෙන් නිමැවූ පළමු ඔලිම්පික් සුරතල් සිතුවම ද මෙයයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති 2000 ගිම්හාන ඔලිම්පික් උළෙල නිල සුරතලුන්ගේ විජයග්‍රාහී ඔලිම්පික් උළෙල ය. එරට සංවිධායකයෝ එවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් නිල සුරතලුන් තිදෙනෙක් එළි දැක්වූහ.

උළෙල පැවැති සිඩ්නි නගරය සහ උදා වූ සහස්‍ර වර්ෂය සිහිපත් කිරීම සඳහා පිළිවෙළින් 'කුකබුරා, ප්ලැටිපස් සහ එඩිවිනා' යන සතුන් නිරූපණය කරමින් සංකේත 3 ක් නිර්මාණය විණි . 2004 ඇතෑන්ස් ඔලිම්පික් උලෙළේ සුරතල් සංකේතය නිමැවුණේ පුරාතන ග්‍රීක ඉතිහාසයේ එන චරිත 2 ක් ඇසුරිනි. එහි නිර්මාණකරු වූයේ 'ස්පිරෝස් ගොගෝස්' ය. 2008 බීජිං ඔලිම්පික් වෙනුවෙන් බීබෙයි, ජිංජිං, හුවාන්හුවාන්, යින්ගිං, නිනි නමින් සුරතල් සංකේත 5 ක් සකසා තිබුණි.

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සුරතල් සංකේතය ඇසක් සහිත කැමරාවක් සංකේත කරමින් නිර්මාණය විය. එය 'වෙන්ලොක්' යන නිල නාමයෙන් හැඳින්විණි. 2016 රියෝ ද ජැනෙයිරෝ ඔලිම්පික්හි සුරතල් සංකේතයෙන් ක්ෂීරපායි සතුන් නියෝජනය කෙරුණි. 'විනිසියස්' නිල නාමයෙන් හැඳින්වුණු එය ලුසියානා 'එගුටි' සහ 'පාවුලෝ මුපෙට්' විසින් නිර් මාණය කරන ලදී.

මෙවර ටෝකියෝ ඔලිම්පික් හි සුරතල් සත්ත්වයා පරිගණක නිර්මාණයකි. එසේ නැත හොත් කල්පිතයකි. එය රියෝ ටානිගුචි ගේ නිර්මාණයකි. 'මිරයිටෝවා' යනු මෙහි නිල නාමයයි. මිරායි යන්නෙන් අනාගතයත් ටෝවා යන්නෙන් සදාකාලිකත්වයත් අර්ථවත් කරන බව ජපානයේ ඔලිම්පික් සංවිධායයෝ පවසති.

එය තෝරා ගැනුණේ ටෝකියෝ ඔලිම්පික් නිල සුරතලා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වූ තරගයක් යොදා ගනිමිනි. එහි දී නිර්මාණ 42ක් අතරින් එය තෝරා ගැනීම සිදු කෙරුණේ ය. අවසන් වටය සඳහා මෝස්තර ත්‍රිත්වයක් තෝරා ගත් අතර රියෝ ටානිගුව්ගේ නිර්මාණයට ඡන්ද 109041 ලැබී තිබුණේ ය.

සංවිධාකයන් පවසන අන්දමට මිරයිටෝවෝ අකෘතියෙන් සැකසුණු රොබෝවරු ඔලිම්පික් උළෙලට සහභාගී කෙරෙයි. ගිම්හාන ඔලිම්පික්වලට අමතරව ජපානයේ පැවත්වීමට නියමිත පැරාලම්පික් උළෙල වෙනුවෙන්ද සමිටී නම් සුරතල් සංකේතයක් එළි දැක්වුණේ ය. එයද මිරයිටෝවා සමඟම එළිදැක්වුණු අතර එහි නිර්මාණකරු වූයේ ද රියෝ ටානිගුව් ය.

 

පසිඳු මිහිරාන් රැටියල

Comments