වැටි වැටි මෙක්සිකෝවේ දිවූ කැලණි පුතා | සිළුමිණ

වැටි වැටි මෙක්සිකෝවේ දිවූ කැලණි පුතා

 

විමලසේන පෙරේරා කැලණිය පුරවරයෙන් සිරිලකට දායාද වූ අනගිතම මැරතන් ශූරයා ය. නිසි පුහුණුව තම පුහුණුවම බව අවබෝධ කර ගනිමින් කැලණිය ධර්මාලෝක විද්‍යාලයෙන් රටට දායාද වූ විමලේ පසුගිය සතියේ 'ක්‍රීඩා' හා කීවේ ඔහු පාසල් ගමනට සමු දී ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙවණ යටට පැමිණි ආකාරය ගැන ය. ඔහුගේ එම ගමනේ කතාව මඳකට නතර කොට අප මේ කියන්නේ ඔහු මෙරට ජාතික මැරතන් ශූරයාව, මෙක්සිකෝ මැරතන් තරගයට සහභාගි වෙමින් රට වෙනුවෙන් ප්‍රකට කළ අප්‍රතිහත ධෛර්යය සම්බන්ධව ය. එයත් එක්තරා ආකාරයකට 1964 ටෝකියො උළෙලේ කරුණානන්ද පෑ සුපිරි ක්‍රීඩාශීලිත්වයට සමාන යැයි කිව හැකිය.'

ශ්‍රී ලංකාව ඔලිම්පික් තරගාවලියකට මුල් වරට සහභාගි වුණේ 1948 වසරේ දී ය. මහා බ්‍රිතාන්‍යයේ පැවැති එම තරගයට 'සිලෝන්' නමින් එවකට හැදින් වුණු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩන්කන් වයිට් මීටර් හාරසීයේ කඩුළු පැන දිවීමේ තරගයට එක්ව සිටියේ ය. එහි දී ඔහු රිදී පදක්කමක් දිනා ගනිමින් ප්‍රථම ඔලිමිපික් පදක්කම මෙරටට දිනා දෙන්නට සමත් විණි. එතෙක් මෙතෙක් ඔලිම්පික් තරග ඉතිහාසයේ අප ලබා ගෙන ඇති පදක්කම් ප්‍රමාණය අල්ප වුව ද සහභාගී වී ඇති ක්‍රීඩකයන් ලබා ගෙන ඇති අත්දැකීම් මෙන්ම අභියෝගයන් ද අපමණය.

1968 වර්ෂයේ මෙක්සිකෝ ඔලිම්පික් තරගය සුවිශේෂී තරගයක් විය. මන්ද මුහුදු මට්ටමේ සිට උසින් අඩි 7000 පමණ වූ අධික ශීත දේශගුණයකින් හෙබි ප්‍රදේශයක එම තරගාවලිය සංවිධානය වීම ය. අප වැනි ඝර්ම කලාපීය රටවල ක්‍රීඩකයන්ට එය ඔරොත්තු නොදෙන තත්ත්වයක් ලෙස සැලකිණි. එහෙත් එම ඔලිම්පික් උළෙල සඳහා අප රට නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙක් සහභාගි වූහ. 60 දශකයේ මෙරට මැරතන් ශූරයකු ලෙස නම් දරා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉන්ජිනේරු බළකායේ විමලසේන පෙරේරා ද ඒ අතර විය. ඔහු මෙම මුහුදු මට්ටමේ සිට ඉහළ උසක ධාවනය කිරීමේ දී වැඩිම අභියෝගයකට මුහුණපෑමට සිදුවූ ක්‍රීඩකයා බවට ද පත්ව සිටියේ ය.

'1967 මැයි ජූනි මාසවල ලංකා ජවන හා මලල ක්‍රීඩා සංගමය තේරීම් තරග දෙකක් පැවැත් වූවා. කොළඹ ඉඳලා හෝමාගම කැන්දලන්ද යුද හමුදා නිවාස අසලින් නැවත කොළඹ විශ්වවිද්‍යාල පිටිය දක්වා හැතැක්ම 26 යාර 300 ක දුරක් තමයි ඒ තරග දෙකම පැවැත්වුණේ. ඒ තරග දෙකෙන්ම පැය දෙකයි විනාඩි විසි අටයි තත්පර දහසයක කාලයකින් මම පළමු ස්ථානය හිමි කර ගනිමින් තරගය අවසන් කළා. ඒ නිසා එවර ඔලිම්පික් තරගය සඳහා මැරතන් ක්‍රීඩකයකු වශයෙන් සුදුසුකම් ලැබුවේ මමයි.' අපේ කතානායක තමන්ගේ ඔලිම්පික් මතක සැමරුම් අවුස්සමින් කීවේ ය.

ඊට පසුව මාව වැඩිදුර පුහුණුවට දියතලාවේ ගැමුණු සේවා බලඇණිය යටතට අනුයුක්ත කළා. එහෙදි හේරත් කියලා හමුදා සෙබලෙක් තමයි මගේ සහයට හිටියේ. මා ඔහු සමඟ සති දෙකක්ම දියතලාවේ සිට බණ්ඩාරවෙලට එතැනින් නැවත හපුතලේට, හපුතලේ සිට දුම්රිය මාර්ගයට සමාන්තරව දියතලාවට පුහුණුවීම් කළා. මට තිබුණ සති තුනක පුහුණුවීම් කාලයේ දී එම කඳවුරේ විධායක අධිකාරී මේජර් වීරසේකර, දෙවැනි අණ දෙන නිලධාරී දොරනෑගම, ලූතිනන් කර්නල් තිස්ස වීරතුංග, දියතලාව යුද හමුදා පුහුණුවීම් මධ්‍යස්ථානයේ ආඥාපති ජේ.ඒ. ඩී. පෙරේරා යන මහත්වරුන් ගෙන් මට ලොකු සහයක් ලැබුණා. තවත් සති තුනක් රොටරි සමාජයේ අනුග්‍රහයෙන් නුවරඑළියේ පුහුණුවීම් කරන්න අවස්ථාවක් උදාවුණා.' මෙක්සිකෝ ගමනට පෙර තමන් ලද පුහුණුව ගැන ඔහු සිහිපත් කළේ එලෙසිනි.

'සති හයක පුහුණුවීමෙන් අනතුරුව අගෝස්තු මාසයේ මුල් සතියේ එවකට ලංකා ජාතික ඔලිම්පික් කමුටුවේ ලේකම් ඒ.ඩබ්ලිව්. මුසාෆර් මහතා සමඟ මෙක්සිකෝ බලා ගිය ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමට විමලසේන සමඟ බොක්සිං ක්‍රීඩක කරුණාරත්න සහ රුවල් ඔරු ඉසව්ව සඳහා සහභාගී වූ රේ විජේවර්ධන යන ක්‍රීඩකයන් ද අයත් විය. ඔවුන් තිදෙනා රත්මලාන ගුවන් තොටුපළින් සිංගප්පූරුව බලා ගොස් නව අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණෙන් දකුණු අමෙරිකානු මහාද්වීපය බලා පිටත් වූයේ දහසකුත් එකක් බලාපොරාත්තු පොදි බැඳ ගෙනය.

'සිංගප්පූරුවට ඇවිත් අපි එදාම වෙනත් ගුවන් යානයකින් හොංකොං බලා පිටත් වුණා. මට එහෙදි උණ ගත්තා. මුසාෆර් මහත්තයා ඉතා යුහුසුළුව මට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ඒ ප්‍රතිකාරවලින් යම් සහනයක් ලැබුණා. පසුවදා ජපානයේ නොරිකටා ගුවන් තොටුපළට ඇවිත් එතනින් සෙන්ට් ෆ‍්‍රැන්සිස්කෝවලට පැමිණියා. එහි අපට දවසක් ගත කරන්න වුණා. පසුදා තමයි අපි මෙක්සිකෝ රාජ්‍යයට ආවේ. ඒ වෙනකොටත් මගේ උණ ගතිය සියයට සියයක් අඩු වෙලා තිබුණේ නෑ. ඒ් නිසා ප්‍රතිකාර ගනිමින්ම පුහුණුවීම්වල යෙදුණා. සති තුනක කාලයක් අපිට ඒ සඳහා අවස්ථාව එරට ඔලිම්පික් කමිටු සංවිධායකයන් ලබා දී තිබුණා.' විමලේ සිය මෙක්සිකෝ අත්දැකීම ගැන අපට කීවේ ය.

දින කිහිපයක් එලෙස පුහුණුවීම්වල නිරතවූ විමලසේනට නැවත නොසිතූ ලෙස සිය දකුණු කකුලේ වේදනාවක් සමඟ ශ්වසන අපහසුතාවයක් දැනෙන්නට විය. ඒ අනුව ඔහු මෙක්සිකෝ ඔලිම්පික් ගම්මානයේ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත වහා යොමු කරනු ලැබිණි. එහි දී ඔහුව පරීක්ෂා කරනු ලැබූ වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දී ඔහුට තරගයට සහභාගී වීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බව ශ්‍රී ලංකා කළමනාකරු මුසාෆර් මහතාට ප්‍රකාශ කළේ විමලේ ගේ සියලු සිතැඟි අලුයම වට පිණි බිඳු හිරු දුටු මොහොතේ පත්වන තත්ත්වය හා සම කරමිනි.

'මේ ගැන මුසාෆර් මහත්තයා ඇවිත් මට දැනුම් දුන්නාම මගේ සිත තුළ ඇති වුණේ හරිම විශාල කනගාටුවක්. ඒත් මම කවදාවත් පස්සට ගිය කෙනෙක් නෙමේ. ඒ නිසා මම කිව්වා මම මේ රේස් එක කොහොම හරි දුවනවා කියලා. මගේ හිත කවදාවත් කඩා වැටිලා නැහැ. මගේ හිතට කොහේදෝ තිබුණු මහා ශක්තියක් පැමිණියා. ඒ ශක්තිය කොහොම ආවද කියන්න මම දන්නේ නැහැ. ඒත් එක්කම මගේ ගතේ තිබුණ ආබාධ මට අමතක වෙලාම ගියා. තරගය ආරම්භ කරන දිනය පැමිණියා මෙක්සිකෝ නුවර ඉඳලා ඈත නගරයකට අපව එදා කැඳවාගෙන ගියේ මැරතන් තරගය සඳහායි. ඒ සඳහා මුළු ලෝකයම නියෝජනය කරමින් ක්‍රීඩකයන් අසූ එකක් සහභාගී වෙන්න සූදානමින් සිටියා.' ඔහු අතීතය ආවර්ජනය කරන්නේ දුක, සතුට මිශ්‍රිත හැඟීමෙනි.

'මට ලැබිලා තිබුනේ අංක 08 . ඒ කාලේ ලෝකය ජය අරගෙන හිටිය මැරතන් ශූරයා වුණේ ඉතියෝපියානු ජාතික හබීබී බිකිරා ක්‍රීඩකයායි. හරියට හවස තුනට හැතැම්ම විසි හයක් වූ මැරතන් තරගය පටන් ගත්තා. සිරුරට ඔරොත්තු නොදෙන සීතලකින් හීගඩු නංවමින් තිබුණා. අනෙක මම දුවන්නෙත් පා ආවරණ සපත්තු නැතුවයි. මගේ මතකයේ හැටියට ඒ තරගයට සපත්තු නැතිව දිව්වේ මම විතරයි.' ඔහු සිය භෞතික භාණ්ඩ පරිහරණයේ පැවැති වෙනස්කම් ගැන කීවේ ය.

'ඇත්තටම කියනවා නම් මෙක්සිකෝවේ සීතල ඔරොත්තු නොදුන්නු ධාවකයන් 81 දෙනාගෙන් තිස් දෙනෙක්ම මඟ නතර වුණා. හබීබී බිකිරාටත් දුවන්න පුළුවන් වෙලා තිබුණේ සැතපුම් 13 ක් පමණයි. මොකද ඔහුටත් ආබාධයක් ඇති වෙලා තිබුණා. කොහොම හරි මට මතක මම ක්‍රීඩාංගණයට ඇතුළු වෙනවා විතරයි. ඊට පස්සේ සිදුවුණු කිසිම දෙයක් මට මතක නැහැ. මම අසිහියෙන් වගේ තරගය අවසන් කරලා බිම ඇදගෙන වැටිලා තිබුණා.'

විමලසේනට ප්‍රකෘති සිහිය ලැබී තිබුණේ දිනකට පසුවය. එම තරගයේ 51 වැනියා ලෙස තරගය ඔහු නිමා කර තිබිණි. කෙසේ වුවද ආධුනිකයකු ලෙස අපහසුතා මධ්‍යයේ තරගය අත නොහැර අවසන් කිරීම පිළිබඳ ඔහුට බොහෝ දෙනොගේ පැසසුම් ගලා ආයේ ය. විමලසේන යනු වර්තමානය මෙන්ම අනාගත පරපුරට ද ආක්‍යයනය කළ යුතු ආදර්ශවත් ක්‍රීඩා චරිතයක් වන්නා සේම ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන සෑම මොහොතකම සිහියට නැ‍ඟෙන විශිෂ්ට ක්‍රීඩක පෞරුෂයක් යැයි කිවිය හැක්කේ එහෙයිනි.

අතුල රංජිත් වේදමිස්ත්‍රි

 

Comments