ලකුණු පුවරුවක් අමාරුවේ දැමූ නාදියාගේ ඔලිම්පික් හපන්කම | සිළුමිණ

ලකුණු පුවරුවක් අමාරුවේ දැමූ නාදියාගේ ඔලිම්පික් හපන්කම

අද වැනි දවසක...

ක්‍රීඩා ඉතිහාසය තුළ ජූලි 18 වැනි දිනට අදාළ ව නැවත නැවත සිහිපත් කිරීමට ප්‍රිය කරන රසබර සිදුවීම් රැසක් ම සටහන් ව ඇතත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලක උණුසුම මෝදු වෙමින් පවතින මොහොතක කාලයේ තාලයට ගැළපෙන සිදුවීමක් සිහිපත් කරවීම වඩාත් වැදගත් ය.

ඒ අනුව ජූලි 18 වැනිදාවක ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉතිහාසයට නාදියා කොමෙන්සි නම් වූ අමරණීය නාමය ඇතුළු කළ සිදුවීම මතු කර දැක්විය හැකි ය.

ඇතන්ස් නගරය කේන්ද්‍ර කර ගනිමින් 1896 වසරේ පවත්වන ලද පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ම ජිම්නාස්ටික් ක්‍රීඩාව ද ඊට අයත් එක් ක්‍රීඩාවක් බවට පත්ව තිබුණ ද ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩාවට එක්වීමට අවස්ථාව උදා වී තිබුණේ 1928 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීය.

එහෙත් එතැන් සිට 1976 මොන්ටෝරියල් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා ම ජීම්නාස්ටික් ක්‍රීඩිකාවකට කළ නොහැක්කක් ලෙස පිළිගෙන තිබූ අසීරු ඉලක්කයක් පහසුවෙන් සපුරාගත් රොමේනියානු ක්‍රීඩිකා නාදියා කොමෙන්සි ඔලිම්පික් ක්‍රීඩාවට එක් කරනු ලැබුවේ අපූරු සුන්දරත්වයකි.

සාමාන්‍ය‌ෙයන් ඒ දක්වා ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී අන්ඊවන් බාර් (Uneven Bars) ඉසව්වට සහභාගී වී රන් පදක්කම දිනා ගත් කිසිම ක්‍රීඩිකාවක ෆර්ෆෙක්ට් ටෙන් (Perfect 10) හෙවත් සම්පූර්ණ ලකුණු ලබා ගැනීමක් වාර්තා කර නොතිබිණි.

එදා එනම්, 1976 ජූලි 18 වැනි දා ජිම්නාස්ටික් තරග බිමට පිවිසි නාදියා පූර්ණ ලකුණු ප්‍රමාණය හෙවත් ලකුණු 1000 ලබා ගන්නට සමත් ව සිටියා ය. ඉන් ඇය ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී පූර්ණ ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පළමු ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වී තිබිණි.

මේ තරගාවලිය සඳහා එදා යොදා ගන්නා ලද ලකුණු ප්‍රදර්ශනය කරන පුවරුවේ පවා ඉලක්කම් හතරක් දැක්වීමේ පහසුකම් තිබුණේ නැත. එබැවින් එදින ඇය ලබාගත් ලකුණු 1000 ප්‍රදර්ශනය කරන්නට සිදුව තිබුණේ ද ලකුණු 100ක් ලෙසිනි.

මෙම කිසි දිනක අමතක කළ නොහැකි අනභිභවනීය ඔලිම්පික් වාර්තාවට හිමිකම් කියන විට නාදියා කොමෙන්සි 14 හැවිරිදි වියේ පසු වූ ළාබාල ක්‍රීඩිකාවක වීම ද තවත් විශේෂත්වයක් ලෙස සිහිපත් කළ යුතු ය.

ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩාව ඔප කළ ඈ ක්‍රීඩාවෙන් සමුගන්නා විට රන් පදක්කම් 5ක් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් ද තම මවුබිම වෙනුවෙන් දිනාගෙන තිබුණි.

සීවලී එදිරිවීර 

Comments