රන් දද බැන්දූ ඔලිම්පික් චරිත | Page 2 | සිළුමිණ

රන් දද බැන්දූ ඔලිම්පික් චරිත

 

දෙහැවිරිදි වියෙන් ඇරඹි ඔලිම්පික් පදක්කම් පුහුණුව

මාක් ස්පිට්ස්

ඔහු ඔලිම්පික් උලෙළක දී රන් පදක්කම් 7 ක් දිනූ ප්‍රථම ක්‍රීඩකයා ය. ඒ 1972 මියුනිච් ඔලිම්පික් උලෙළේ දී පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 7 ක් දිනා ගනිමිනි. ඔහු එක්සත් ජනපදයේ මාක් ස්පිට්ස් ය. මුළු නමින් මාක් ඇන්ඩෲ ස්පිට්ස් ය.

මාක් ඉපදුණේ 1950 පෙබරවාරි 10 වැනිදා ය. පියා ඇමරිකානුවෙකි. මව පූවටෝරිකෝ ජාතික කාන්තාවකි. මාක් පිහිනුම් ක්‍රීඩාවට අවතීර්ණ වුණේ වයස අවුරුදු 2 දී ය. ඒ පියාගේ මග පෙන්වීමෙනි. වයස අවුරුදු 10 වන විට මාක් තම වයස් කාණ්ඩයේ ලෝක වාර්තාකාරයා බවට පත්වුණේ ය. 1965 දී ජූදා ජාතිකයන්ගේ ලෝක පිහිනුම් තරගාවලියක දී රන් පදක්කම් 4 ක් දිනා ගනිමින් නම රන්දා පෙරට ආවේ ය. 1967 දී පෑන් අ‍ෙමරිකානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ මාක් රන් පදක්කම් 5 ක් දිනා ගනිමින් ඔලිම්පික් ශුරයකු වන ලකුණු පහළ කරනු ලැබිණි.

‘මම රන් පදක්කම් 6 ක් දිනා ගන්නවා’ යි 1968 මෙක්සිකෝ ඔලිම්පික් සමයේදී මාක් ප්‍රකාශ කළ ද ඔහු දිනා ගත්තේ පදක්කම් 4 කි. ඒ සහය පිහිනීමෙන් රන් පදක්කම් 2 ක් සහ මීටර් 100 පිහිනීම ඉසව්වලින් රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් වශයෙනි.

මාක්ගේ උදාරතර අවස්ථාව උදා වුණේ 1972 මියුනිච් ඔලිම්පික් උලෙළේ දී ය. තම සිතැඟි ප්‍රාර්ථනාව ඉටු කර ගනිමින් ඔහු පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 7 ක් දිනා ගත්තේ රන්වන් නාමයක් ඔලිම්පික් ඉති-හාසයට එක් කරමිනි. මාක්ගේ ජයග්‍රහණ මෙලෙස සනිටුහන් වී තිබේ.

ඔලිම්පික් රන් පදක්කම් 9 රිදී - 1, ලෝකඩ - 1, පෑන් අමෙරිකානු රන් පදක්කම් 5, අමෙරිකානු ජාතික හා අධුනික ශූරතා 31, එක්සත් ජනපද පාසල් ශුරතා 8, ලෝක පිහිනුම් වාර්තා 33.

වයස 22 දී පිහිනුම් ක්‍රීඩාවෙන් සමු ගත්ත ද නැවත වතාවත් මාක් 1992 ඔලිම්පික් උලෙළට තරග වදින්නට සුදානම් වුව ද එය සාර්ථක වුණේ නැත. තමාගේම ඉඩම් හා නිවාස ව්‍යාපෘති ව්‍යාපාරයකට යොමු වී සිටින මාක් ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා අද 71 වැනි වියේ පසුවෙමින් නිහඬ ජීවිතයක් ගත කරයි.

-------------------------------------

 

ලෝක වාර්තා හැට හතක් පිහිටු වූ වානරයන්ගේ ටාසන්

ජොනි වීස්මුලර්

අමෙරිකා එක්සත් ජනපදයේ ජොනි වීස්මුලර් හඳුන්වා ඇත්තේ ක්‍රීඩාවෙන් බිහි වූ වර්ණවත් චරිතයක් කියා ය. ඔලිම්පික් පිහිනුම් තටාකය තුළින් රන්වන් නාමයක් රැඳවූවා සේම ඉන් පිටත ඔහු ලෝක පූජිත වුණේ රංගනයෙන් දායකත්වය දැක්වූ ‘ටාසන්’ චිත්‍රපට 12 නිසා ය.

පළමුව 1924 සහ 1928 ඔලිම්පික් උලෙළ වලදී නිදහස් ආර පිහිනුම් ඉසව් වලින් රන් පදක්කම් පහක් දිනූ වීස්මූලර් පිහිනුම් තටාකයෙන් සමු ගන්නා විට ලෝක වාර්තා 67 ක් පිහිටුවා තිබුණේ ය. මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්ව මිනිත්තුවකට අඩුවෙන් පිහිනූ ප්‍රථමයා වන්නේ ද ඔහු ය.

ඔහුගේ රන් පදක්කම් වාර්තා වුණේ 1924 දී මීටර් 100 නිදහස් ආර මීටර් 400 නිදහස් ආර, මීටර් 200 නිදහස් ආර සහය සහ 1928 දී මීටර් 100 නිදහස් ආර සහ මීටර් 200 නිදහස් ආර සහය ඉසව් වලිනි. මේ සියල්ලටම අමතරව ඔහු 52 වතාවක් එක්සත් ජනපද නිදහස් ආර පිහිනුම් ශූරයා විය.

1904 දී ඕස්ට්‍රේලියාවේ උපන් වීස්මුලර් පසුව අමෙරිකාවේ එක්සත් ජනපදයට ආවේ පවුලේ උදවිය සංක්‍රමණය වූ නිසාය. පියා පතල් කම්කරුවකු වූ අතර වීස්මූලර්ට වයස අවුරුදු 10 දී පියා මිය ගියේ රෝගයකට ගොදුරුවීමෙනි.

පියා නැති අඩුව කුඩා වීස්මූලර්ට තදින්ම දැනුණ අතර තමා කවදා හෝ කායවර්ධන ක්‍රීඩකයකු වී ලොව ජය ගන්නා බවට අදිටන් කර ගත්තේ ය. මේ අනුව ඔහු පිහිනුම් ක්‍රීඩාව තෝරා ගත්තේ ය.

අඩි 6ක් උසැති වීස්මූලර්ව පසුව හොලිවුඩ් ‘ටාසන්’ චිත්‍රපට මාලාවට තෝරා ගනු ලැබිණි. ටාසන් චිත්‍රපට මාලාවෙන් වඩාත් ප්‍රකට වූයේ ‘ඒප් මෑන්’ චිත්‍රපටය යි. පස් වතාවක් විවාහ ජීවිතයට ඇතුළත් වූ වීස්මූලර්ට 1950 දී ක්‍රීඩා ලේඛකයන් විසින් විශේෂ සම්මානයක් ප්‍රදානය කරනු ලැබිණි.

ඒ 20 වැනි සියවසේ පළමු අවුරුදු 50 තුළ බිහි වූ විශිෂ්ටතම පිහිනුම් ශූරයා වෙනුවෙනි. 1984 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උලෙළට මාස 6 කට මත්තෙන් ඔහු මෙලොව හැර ගියේ ය.

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments