නැවතුණද ලෝක යුද්ධයට යට නොවෙත කොවිඩ් යුද්ධයට | Page 2 | සිළුමිණ

නැවතුණද ලෝක යුද්ධයට යට නොවෙත කොවිඩ් යුද්ධයට

 

1916 වසර නූතන ඔලිම්පික් මහා කෙළි උළෙල සම්බන්ධයෙන් වඩාත් සුවිශේෂී වසරකි. ඒ එම වසරේ එහි විසි වැනි සංවත්සරය යෙදී තිබීම හේතුවෙනි.

මේ අනුව 1912 වසරේ රැස්වුණු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු රැස්වීමේ දී 1916 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ජර්මනියේ බර්ලින් නුවරට උදා විය. ඔවුන් මෙම අවස්ථාව උදා කර ගනු ලැබුවේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ද්‍රියා, ඕලන්දයේ ඇමස්ටර්ඩෑම්, බෙල්ජියමේ බ්‍රසල්ස්, හංගේරියාවේ බුඩාපේස්ට්, එක්සත් ජනපදයේ ක්ලේවලන්ඩ් යන සත්කාරකත්වය සඳහා ඉදිරිපත් වූ අනෙකුත් නගර අභිබවමිනි.

කෙසේ නමුත් අවසානයේ දී මහත් බලාපොරොත්තු සහගත ව ඔලිම්පික් විසි වැනි සංවත්සරය සඳහා ඉදිරිපත් වූ ජර්මනියට ද ඔවුන්ගේ බලාපොරොත්තු අතහැර ගැනීමට සිදුවිය. ඒ ලෝක යුද්ධය එළඹීම නිසා ය. මෙය ඔලිම්පික් උළෙලට එල්ල වූ මුල්ම බාධකය වශයෙන් සැලකිය හැකි ය. මේ අනුව අවසානයේ සිදුවුණේ එවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට ය.

ඉන් පසු වසර 24 ක් පුරා අඛණ්ඩව ගමනේ යෙදුණු මෙම මහා ක්‍රීඩා උළෙලේ දෙවැනි බාධකය එල්ල වූයේ 1940 වසරේ දී ය .එවර දෙවැනි ලෝක යුද්ධය මේ සඳහා බලපෑවේ ය. රටවල් රැසක් යුද්ධයට මැදිව තිබිය දී ජපානයට එවර සත්කාරකත්වය හිමි ව තිබිණි.

ඔවුන්ද ලෝක යුද්ධයේ එක් ප්‍රධාන හවුල්කරුවකු විය. ඔලිම්පික් සැණකෙළිය පැවැත්වීමට හැකි වූයේ නම් එය ආසියාකරයේ පැවැත්වීමට තිබූ මුල් ම ඔලිම්පික් තරගාවලිය වීමට ද ඉඩ තිබිණි. මෙය පසුව පින්ලන්තයේ හෙල්සින්කි නුවර මුල් කර ගෙන පැවැත්වීමට උත්සාහයක් ගත් නමුදු එයද සාර්ථක නොවී ය.

1940 පමණක් නොව ඉන් පසු 1944 වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වීමට නියමිත ව තිබූ ඔලිම්පික් උළෙලට ද මෙම දෙවැනි ලෝක යුද්ධයේ බාධකයම හරස් විය. මේ අනුව 1936 තරගාවලියෙන් වසර 12 කට පසු නැවත වරක් ඔලිම්පික් උළෙල සඳහා ලොව දොරගුළු විවර වූයේ 1948 වසරේ ය. එවර 1944 තමන්ගෙන් ගිලිහී ගිය අවස්ථාව යළි තමන් වෙත හිමි කර ගැනීමට එංගලන්තයට හැකි විණි.

කෙසේ වුව ද යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස එවර ජපානයට හා ජර්මනියට ආරාධනා නොලැබිණි. එවර තරගාවලියට සෝවියට් රුසියාව ආරාධනා ලැබූ නමුත් ඔවුන් සහභාගී නොවීය.

ඒ පළමු හා දෙවැනි ලෝක යුද්ධ හේතුවෙන් ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදුවූ අවස්ථා ය. කෙසේ නමුත් අවලංගු කිරීම කෙසේ වෙතත් දේශපාලන හේතුන් මත යම් යම් රටවල් තරගාවලියට සහභාගි වීමෙන් වැළකුණු අවස්ථාවන් ද ඉතිහාසයේ සටහන් වී තිබේ. ඒවා එසේ වූයේ යැයි කියා ද එම අවස්ථාවන් හි ඔලිම්පික් උළෙල නතර වූයේ නැත. මේ අතරින් 1936 ජර්මනියේ බර්ලින් නගරයේ පැවැති උළෙලට ද මෙවන් තත්ත්වයක් උදා විය. ඒ අයර්ලන්තය සහභාගී නොවීමෙනි.

කාම්බෝජය, ඊජිප්තුව, ඉරාකය හා ලෙබනනය ස්විස් ගැටලුව හේතුවෙන් ද තායිවානය පිළිගැනීම හේතුවෙන් චීනය ද , ස්පාඥඥය, ඕලන්දය, ස්විට්සර්ලන්තය යන රටවල් සෝවියට් සංගමය විසින් හංගේරියාව ආක්‍රමණය කිරීම ද යන කරුණු ඉවහල් කර ගනිමින් 1956 ඕස්ට්‍රේලියාවේ මෙල්බන් උළෙල ප්‍රතික්ෂේප කළ අවස්ථා ද විණි. නමුත් කාම්බෝජය, ඊජිප්තුව, ස්පාඥඥය, ඕලන්දය, ස්විට්සර් ලන්තය ස්ටොක්හෝම්හි පැවැති අශ්වාරෝහක තරග සඳහා සහභාගී වී තිබීම කැපී පෙනුණේ ය.

1964 ජපානයේ ටෝකියෝ නගරයේ පැවැති ඔලිමිපික් උළෙල විශේෂ තැනක් ගනී. ඒ මුල්ම ආසියාතික ‍‌ඔලිම්පික් උළෙල වශයෙනි. දකුණු අප්‍රිකාවේ ඒ වන විට පැවැති වර්ගවාදී ප්‍රතිපත්තිය මත දකුණු අප්‍රිකාව මේ සඳහා සහභාගී කර නොගත් අතර, උතුරු කොරියාව අවසන් මොහොතේ තම ක්‍රීඩකයන් ඉවත් කර ගන්නා ලදි.

එයට හේතුව 1963 ඉන්දුනීසියාවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට විකල්පයක් ලෙස පැවැති ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩකයන් ඔලිම්පික් උළෙලට සහභාගී කර නොගැනීමට ජගත් ඔලිම්පික් සමුළුව ගත් තීරණයයි. මේ අනුව චීනය, ඉන්දුනීසියාව යන රටවල සහභාගිත්වය ද ටෝකියෝ උළෙල සඳහා නොලැබිණි.

නවසීලන්ත රගර් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරය කර තිබීම හේතුවෙන් 1976 කැනඩාවේ මොන්ට්‍රියල්හි පැවැති තරගාවලියෙන් නවසීලන්තය ඉවත් කරන ලෙසට රටවල් රැසක් විසින් කරන ලද ඉල්ලීම ජගත් ඔලිම්පික් කමිටුව ප්‍රතික්ෂේප කළේ රගර් ක්‍රීඩාව ඔලිම්පික් සඳහා ඇතුළත් නොවූ තරග ඉසව්වක් බව පවසමිනි. අවසානයේ මෙහි ප්‍රතිඵලය වූයේ රටවල් 29 ක් තරගාවලියට සහභාගි නොවී සිටීමයි. මීට අමතරව එවකට කැනඩාවේ පැවැති අගමැති පියරි ට්රුඩො ගේ රජය චීන ජනරජය ලෙස හැඳින් වූ තායිවානය පිළි නොගැනීම ද කතාබහට ලක්වූ තවත් කරුණකි.

එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර පැවැති සීතල යුද්ධය ඔලිම්පික් උළෙලට එල්ල වූ තවත් එක් බාධකයකි. 1980 සෝවියට් දේශයේ මොස්කව් නගරයේ පැවැති උළෙල සඳහා අමෙරිකා එක්සත් ජනපදය හා එයට හිතවත් රටවල් 60 කට වැඩි ගණනක් සහභාගි වීමෙන් වැලකිණි. එයට හේතු වශයෙන් දැක්වුණේ සෝවියට් දේශයේ ඇෆ්ගනිස්ථාන් ආක්‍රමණයයි. නමුත් එක්සත් ජනපදයේ ප්‍රබලතම හිතවතා ලෙස කවදත් සැලකෙන එංගලන්තයේ ක්‍රීඩා බලධාරීන් තම රජයේ එක්සත් ජනපද හිතවාදී ප්‍රතිපත්තිය පසෙකලා මෙයට සහභාගි වූයේ ය. එමෙන් ම තවත් අමෙරිකානු හිතවත් ප්‍රබලයකු වූ ප්‍රංශය ද මෙයට එරට රජයේ විරුද්ධත්වය මත සහභාගී විය. එක්සත් ජනපදය 1980 වැලකුණු අයුරෙන්ම තවත් වසර හතරක් ඇවෑමෙන් සෝවියට් දේශයට ද එම අවස්ථාව උදාවිණි. 1984 එක්සත් ජනපදයෙහි ලොස් ඇන්ජලිස් උළෙල සඳහා සහභාගි වීමෙන් වැළකීමට සෝවියට් දේශය ඇතුළු හිතවත් රටවල් 13 ක් පමණ පියවර ගත්තේ එකට එක කිරීමක් වශයෙනි. මීට අමතරව ඉරානය, ඇල්බේනියාව හා ලිබියාව යන රටවල් වෙනත් දේශපාලන හේතුන් මත සහභාගි නොවුණේ ය.

කවදත් දකුණට බර දකුණු කොරියාව 1988 උළෙල තම රටෙහි සංවිධානය කරන විට වමට බර උතුරු කොරියාව හා කියුබාව වැනි රටවල් සහභාගී වීමෙන් වැළකීම තවත් අමතක නොවන කරුණකි. මෙයට එක් හේතුවක් වූයේ උතුරු කොරියාව ද එවර සම සත්කාරකත්වය ඉල්ලා සිටීමය. ඔවුන් තරග ඉසව් 23 කින් 11 ක් මෙන්ම සමාරම්භක හා අවසන් කිරීමේ අවස්ථා ද ඉල්ලා සිටි නමුත් ප්‍රතික්ෂේප විය. කෙසේ නමුත් එක්සත් ජනපද, සෝවියට් ශීතල යුද්ධය පැවැති යුගයේ අවසන් ඔලිම්පික් උළෙල මෙය වීම විශේෂය.

ජගත් ත්‍රස්තවාදය ද ඔලිම්පික් උළෙලට බලපෑ අවස්ථා දැක ගැනීමට ඇත. 1972 මියුනිච් උළෙල මෙහි එක් අවස්ථාවකි. තවද 1996 ඇට්ලන්ටා උළෙලේ දෙදෙනකුට මරු කැඳවමින් 111 දෙනකු හට තුවාල සිදු කරමින් පිපිරී ගිය බෝම්බය ද හැඳින්විය හැකි ය. මෙම තරගාවලි ත්‍රස්තවාදයේ රුදුරු හස්තයට යට වූ නමුදු එයින් එම තරගමාලා ඇනහිටියේ නැත.

” තරගාවලිය ඉදිරියටම යා යුතුයි ” 1972 ඊශ්‍රායල් ක්‍රීඩකයන් වෙත එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව ඒ වන විට සිටි ජගත් ඔලිම්පික් සභාපතිවරයා පැවැසීය. 2020 වසරේ කොවිඩ් උවදුර හේතුවෙන් පැවැත්වීමට නියමිත වූ තරගාවලිය තාවකාලිකව නතර වීමක් මිස අවලංගු කිරීමක් සිදු නොවිණි. මේ අනුව තවමත් පහව නොගිය කොවිඩ් වසංගතය හමුවේ මෙවර 2021 ඔලිම්පික් උළෙල පැවැත්වීමෙන් ද කියා පාන්නේ ඔලිම්පික් යනු කුමන බාධක මධ්‍යයේ වුව ද ඉදිරියට ම ගමන් කරනා මහා බලවේගයක් බව ය.

 

අනිල් වීරසිංහ

Comments