ජාතික ධජය ටෝකියෝවේ ළෙලවන ඔවුහු ය | Page 2 | සිළුමිණ

ජාතික ධජය ටෝකියෝවේ ළෙලවන ඔවුහු ය

 

ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් දමා මේ මස 23 වැනි දා ජපානයේ දී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකුගේ කණ්ඩායමක් ජපානය බලා මේ වන විටත් පිටත්ව ගොස් අවසාන ය. එහි නායකත්වය හිමිව ඇත්තේ ජුඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනට ය. මේ මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ගෞරවනීය වරම් ලැබූ ශ්‍රී ලංකා ඔලිම්පික් විරුවන් නව දෙනා ගැන සංක්ෂිප්තව තැබෙන සටහනකි.

 

චාමර නුවන් ධර්මවර්ධන

(ජූඩෝ)

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ පළමු හා එකම ජූඩෝ ක්‍රීඩකයා වනුයේ චාමර නුවන් ධර්මවර්ධන ය. ඔහු පිට පිට දෙවැනි වතාවටත් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කිරීමට සාමාර්ථ්‍යය පෑම සුවිශේෂී ය.

"රියෝ - ඔලිම්පික්" උළෙලට මුලින්ම සහභාගි වූ ධර්මවර්ධන එහි දී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට හැකි විය.

කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පංතිය යටතේ තරග වැදුණු ඔහු එහි දී සැමෝවා ක්‍රීඩක බෙන්ජමින් පරාජය කර 09 වැනි ස්ථානය තහවුරු කර ගැනීමට ඔහුට හැකි විය. ඔහු මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හොබවයි.

ගම්පොළ ජිනරාජ මහා විද්‍යාලයේ සහ වැවතැන්න මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන 28 හැවිරිදි චාමර නුවන් ධර්මවර්ධන ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් රැසකට හිමිකම් කියන්නෙකි. දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලක දී ලත් එකම ලාංකේය ජූඩෝ රන් පදක්කම් ලාභියා බවට පත්ව සිටින ඔහු රිදී පදක්කමකට ද හිමිකම් කියන්නේ ය. 2016 වසරේ ඉන්දියාවේ දී රිදී පදක්කමක් දිනා ගත් ඔහු රන් පදක්කම දිනා ගැනීමට 2019 දී සමත් විය. ඒ, නේපාලයේ කත්මන්ඩු අගනුවර දී ය.

 

නිලූක කරුණාරත්න

(බැඩ්මින්ටන්)

17 වසරක් පුරා තම අපරාජිත බව තහවුරු කර ගනිමින් ජාතික ශූරතාවට හිමිකම් කියන නිලූක කරුණාරත්න මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරයි.

නිලූක කරුණාරත්න මීට පෙර අවස්ථා දෙකක දී ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කර තිබීම විශේෂත්වයකි. ඒ 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙල හා 2016 රියෝ ඔලිම්පික් උළෙල ය.

ඒ අනුව මෙවර ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කරන්නට ඔහු සමත්ව ඇත්තේ අඛණ්ඩව තෙවැනි වතාවට ය.

 

යුපුන් ප්‍රියදර්ශන අබේකෝන්

(මලල ක්‍රීඩා)

යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ එකම මලල ක්‍රීඩකයා වෙයි.

මීටර් 100 ජවන ඉසව්ව වෙනුවෙන් මෙම පළපුරුදු ක්‍රීඩකයා ටෝකියෝ ධාවන පථයට පිවිසීමට සුදුසුකම් ලබා සිටී.

26 හැවිරිදි වියේ පසු වන ඔහු වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ලෝක ශ්‍රේණි ගත කිරීම අනුව මීටර් 100 ඉසව්වේ ලොව 49 වැන්නා ලෙසින් දක්ෂතා අතර රැඳී සිටින ඔහු ආසියාතික වාර්තා ලාභියා මෙන්ම ශ්‍රී ලංකා වාර්තා ලාභියා ද වෙයි.

 

ඩබ්ලිව්.කේ.එල්.ඒ. නිමාලී ලියනාරච්චි (මලල ක්‍රීඩා)

මීටර් 400 සිට මාර්ග ධාවන තරග දක්වා වන විවිධත්වයෙන් යුතු ඉසව් රැසක අත්දැකීම් සපිරි ක්‍රීඩීකාවක වන ඩබ්ලිව්.කේ.එල්.ඒ. නිමාලී ලියනාරච්චි මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වට සුදුසුකම් ලබා සිටින්නී ය.

මීටර් 1500 සහ මීටර් 400 × 4 සහාය ධාවන ඉසව්වන්හි ජාතික වාර්තාවට හිමිකම් කියන නිමාලි කලක් මීටර් 3000 බාධක ධාවන සහ මීටර් 800 ඉසව්වන්හි ජාතික වාර්තා ද සටහන්ව තිබුණි. එමෙන්ම, මීටර් 400, මීටර් 800, මීටර් 1500 සහ මීටර් 3000 බාධක දිවීම මෙන්ම මීටර් 400 කඩුලු මතින් දිවීම යන ඉසව්වන් හි රන් පදක්කම් දිනා ගනිමින් මෙරට අංක එකේ ක්‍රීඩිකාව ලෙසද කලින් කලට තම සටන්කාමිත්වය ප්‍රදර්ශනය කර තිබීම කැපී පෙනේ.

 

මැටිල්ඩා කාල්සන්

(තුරඟ තරග)

ශ්‍රී ලංකාවේ උපත ලබා ස්වීඩනයේ පදිංචිව සිටින මැටිල්ඩා කාල්සන් එහි දී තම තුරඟා සමඟ ප්‍රදර්ශනය කර ඇති සමබරතාවය රැඳුණු ඉලක්ක ගත ධාවනය කැපී පෙනේ. ඒ තුළින් ඇය ලබා ගෙන ඇති ජයග්‍රහණ ප්‍රමාණය ද බොහෝ ය .

ලාංකේය ක්‍රීඩා ඉතිහාසයේ එදා මෙදා තුර ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් නියෝජනය කිරීම සඳහා වරම් ලබා ගත් එකම හා පළමු තුරඟ තරග ක්‍රීඩිකාව ද ඇය ය.

 

මිල්කා ගිහානී ද සිල්වා

(ජිම්නාස්ටික්)

මිල්කා ගිහානි ද සිල්වා මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක එල්ලේ වරම් ලබා ගත් එකම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වන්නීය.

තවමත් 18 හැවිරිදි වියේ පසු වන යොවුන් ක්‍රීඩිකාවක වන ඇය ටෝකීයෝ නුවර දී තම හැකියාවන් උපරිම ලෙස විදහා දක්වනු ඇති බවට විශ්වාස කළ හැකි ය.

 

අනීකා ගපූර්

(පිහිනුම්)

විදෙස්ගතව අධ්‍යාපන කටයුතුවල නිරත වන 17 හැවිරිදි අනිකා ගපූර් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි කර වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව ය.

බාල වියේ සිටම පිහිනුම් තටාකය තුළ සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරන මෙම යෞවනිය පසුගිය කාල සීමාව තුළ සටහන් කර ගෙන ඇති ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ප්‍රමාණය ද ප්‍රශංසනීය ය.

 

මැතිව් අබේසිංහ

(පිහිනුම්)

මැතිව් අබේසිංහ ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දිදුල වන්නට සමත් වූ පිහිනුම් ශූරයෙකි.

මැතිව් අබේසිංහ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර් 50 සමනල ආර ඉසව්ව යටතේ තටාකයට බැසීමට නියමිත ය. ඒ ඔහුගේ දෙවැනි ඔලිම්පික් නියෝජනය වශයෙනි.

2016 වසරේ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කර ඇති මැතිව් අබේසිංහ ශ්‍රී ලංකා ජාතික වාර්තා සහ දකුණු ආසියානු වාර්තා රැසකට ද හිමිකම් කියන්නේ ය.

 

ටෙහානී එරන්දී එගොඩවෙල

(වෙඩි තැබීම)

ශ්‍රී ලාංකේය වත්මන් වෙඩි තැබීමේ ශූරිය ලෙස කිරුළු දරා සිටින ටෙහානී එරන්දි එගොඩවෙල මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්ව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින්නී ය.

ප්‍රසාද ලකුණු 623.3 ක් ලබා ගනිමින් මීටර් 10 වායු රයිෆල් ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභිනිය ද වන ටෙහානී ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 223 ස්ථානයේ පසුවන්නී ය. ආසියාතික රටවල ක්‍රීඩිකාවන් අතරේ ඇයට හිමිවී ඇත්තේ 77 ස්ථානය ය.

 

 

සපුමල්වීදිය බණ්ඩාර

Comments