'කාල්' අරික්කාල් කරන්න ගොස් 'OX son' වූ ජොන්සන් | සිළුමිණ

'කාල්' අරික්කාල් කරන්න ගොස් 'OX son' වූ ජොන්සන්

 

සියල්ල උඩුයටිකුරු වන්නට වැඩි කලක් ගත වුණේ නැත. 1989 දී තහනම් උත්තේජක භාවිත කළ වරදට හසුව බෙන් ජොන්සන් 1980 සිට 1988 දක්වා ලබා තිබූ සියලු ජයග්‍රහණ අවලංගු කර දැමුණි.

'ඔක්ස් යනු ගොනාට ඉංගිරිසියෙන් භාවිතයට ගැනෙන වදනකි. ඔක්ස්ගේ පුතා 'ඔක්ස් සන්' යැයි කීව ද එලෙස සලකන කල වරදක් නැත. මේ ක්‍රීඩාවේ දී ඔක්ස් සන් කෙනෙකු වූවකු පිළිබඳ කුප්‍රකට මතකයකි. ඒ මතකය යළි සිහිපත් වන්නේ ඔලිම්පික් උලෙළ ඇරැඹීමට ආසන්නම වී ඇති හෙයිනි.'

මලල ක්‍රීඩාව යනු ලොව පැරැණිම ක්‍රීඩාවකි. ක්‍රි.පූ. 776 වසරේ පුරාතන ලොව පළමු ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ දී මලල ක්‍රීඩා පවත්වා තිබේ. ක්‍රි.ව. 1896 වසරේ දී ඇරඹි නූතන පළමු ඔලිම්පික් උලෙළේ ද මලල ක්‍රීඩා ඉසව් පවත්වා තිබේ.

අද වන විට ඔලිම්පික් උලෙළට මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා ලොව නන් දෙසින් අතිදක්ෂ, වේගවත්ම ධාවකයන් පිරිසක් මලල ක්‍රීඩාව නියෝජනය කරති. ඒ අතරිනුත් ලොව වේගවත්ම පුද්ගලයා ලෙස වාර්තා තබන්නෙක් බිහි වන්නේ කලාතුරකිනි.

වර්ෂ 2016දී ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස ජැ‍ෙමයිකානු ධාවන ශුර උසේන් බෝල්ට් වාර්තා පොත් අතරට එක්විය. මේ වන තුරුත් එම වාර්තාව බිඳ දමන්නට ජගතෙක් ජගත් මලල ක්‍රීඩා ලෝකයෙන් බිහිව නොමැත. 1988 ලොව

වේගවත්ම ක්‍රීඩිකාව ලෙස වාර්තා තැබූ ෆ්ලෝරන්ස් ග්‍රිෆී ගේ සීමාව පසු කරන්නටද ශූරියක් බිහි නොවීමද එවැනිම ය. ඇය ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්ව මේ වන විට වසර 33ක් ගත වී ඇත. එහෙත් ඈ මෙලාවින් සමුගෙන වසර 23ක් ගතව තිබේ. එබැවින් අද වන විට ලොව වේගවත්ම මිනිසා හෝ ගැහැනිය වන්නට මලල ක්‍රීඩාව තුළ ලොකු තරගකාරීත්වයක් නැතැයි කීව ද වැරදි නැත.

නමුත් 20 වන සියවසේ 80 දසකය ලොව වේගවත්ම මිනිසුන් අතර ඇවිළුණු සටනින් මුළු ලෝකයම උණුසුම්ව තිබුණේ ය. සැබැවින්ම එය ද්වන්ද සටනක් විය. ඇ‍ෙමරිකානු මලල ක්‍රීඩක කාල් ලුවිස් සහ කැනේඩියානු ක්‍රීඩක බෙන් ජොන්සන් සටන් කළේ සෙස්සෝ මෙන්

පදක්කමක් දිනාගන්නටම නොවේ. ඔවුන් අතර තිබුණේ ලොව වේගවත්ම මිනිසා බවට පත්වීමේ සටනයි. එබැවින් එකල ජාත්‍යන්තර තරගවල මලල ක්‍රීඩා ධාවන පථය ඔවුන්ගේ සටන්කාමී වේගවත් ධාවනයෙන් කැළඹී තිබුණි. ජොන්සන් සහ ලුවිස් අතරින් පළමුවෙන්ම මලල ක්‍රීඩා කරළියට පිවිසෙන්නේ කාල් ලුවිස් ය.

කාල් යනු මලල ක්‍රීඩාව පමණක් නොව දුර පැනීමේ ඉසව්වෙන් ද සූරයෙක් විය. මලල ක්‍රීඩාවේත් මීටර් 100, මීටර් 200 සහ මීටර් 100x4 සහය දිවීම යන ඉසව් ඔහු නියෝජනය කළේ ය. කාල් සිය ක්‍රීඩා දිවියේ දී ජාත්‍යන්තර ජවන පදක්කම් 18 ක් මෙන්ම දුර පැනීමෙන් පිටියේ පදක්කම් 10ක් දිනා ගෙන තිබේ.

උසස් අධ්‍යාපනය ලබන අවධියේදීම කාල් 1980 රුසියාවේ මොස්කව් ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූවත් එවකට අමෙරිකාව සහ රුසියාව අතර පැවැති සීතල යුද්ධය ඔහුගේ කුලුඳුල් ඔලිම්පික් ගමනට හරස් විය. අමරිකානු රජය මොස්කව් ඔලිම්පික් උලෙළ වර්ජනය කිරීම එයට හේතු වී තිබුණි.

1982 වසර වන විට ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව කාල් දුර පැනීම සහ මීටර් 100 ඉසව්වෙහි පළමු තැන සිටියේ ය. එපමණක් නොව N.C.A.A. ගෘහස්ථ තරගාවලියෙහි ඉසව් දෙකක් ජය ගත් පළමු අමෙරිකානුවා වූයේ ද කාල් ය.

ඔහු 1984 දී සිය පළමු ඔලිම්පික් ගමනට සහභාගී වන විට දුර පැනීමේ තරග ඉසව්වේ ලෝක වාර්තාවකට ද හිමිකම් කියා තිබුණි. 1984 කැලිෆෝනියා ඔලිම්පික් හි දී කාල්, මීටර් 100 ධාවන ඉසව්වෙන් දිනාගත් රන් පදක්කම සිය දිවියේ පළමු ඔලිම්පික් පදක්කම විය. ඉන් නොනැවතුණු කාල් මීටර් 200 මෙන්ම මීටර් 400 සහය දීවීම තරගයෙහි ද පළමු තැන

දිනා ගත්තේ ඔලිම්පික් වාර්තා පොත් අලුත් කරමිනි. දුර පැනීමේ ඉසව්වෙහිද රන් පදක්කම දිනා ගන්නට ඔහුට හැකිවුණේ ය. 1984 ඔලිම්පික් තරගාවලිය රන් පදක්කම් 4 ක් සහිතව නිමා කළ කාල් ඉන් පසුව කින් කාල් නමින් ජනප්‍රියත්වයට පත්විය.

ලෝක මලල ක්‍රීඩා පිටියේ කාල්ගේ අණසක බිඳ වැටෙන්නට පටන් ගන්නේ 1985 වසරෙන් පසුව ය. කාල්ගේ අණසකට අභියෝග කරමින් බෙන් ජොන්සන් දක්ෂතා අතරට පිවිසෙන්නේ මේ කාලයෙහි ය. 1984 ඔලිම්පික් උලෙ‍ළෙහි මීටර් 100 ඉසව්වෙන් කාල් රන් පදක්කම දිනා ගන්නා විට ‍බෙන් ජොන්සන් ලෝකඩ පදක්කම දිනාගෙන තිබුණි.

නමුත් 1988 සෝල් ඔලිම්පික් උලෙළ වන විට බෙන් ජොන්සන් සහ කාල් ලුවිස් අතර පැවැතියේ කරට කර සටනකි. එහිදී මීටර් 100 ධාවන ඉසව්වෙන් ජොන්සන් රන් පදක්කම ලබා ගනිද්දි කාල්ට රිදී පදක්කමින් සෑහෙන්නට සිදුවිය. කාල් - ජොන්සන් ධාවන සටන රන් රිදී පදක්කම්වලට පමණක් සීමා වූ සටනක් නොවීය. 1987 වසරේ රෝමයේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියේ දී ජොන්සන්-කාල් අතර පැවැති සටන හුදෙක් ලොව වේගවත්ම මිනිසා සෙවීමේ සටනක් විය. එහිදී රනින් සැරසුණු ජොන්සන් තප්පර 9.83 කින් තරගය අවසන් කළ අතර රිදී පදක්කම දිනූ කාල්ට තරගය නිමා කිරීමට තප්පර 9.93 ක කාලයක් ගත විය. 1988 සියොල් ඔලිම්පික්හි මීටර් 100 ඉසව්වෙහි රන් පදක්කම දිනූ බෙන් ජොන්සන් ‍තප්පර 9.79 කින් තරගය අවසන් කරමින් වේගවත්ම මිනිසා වෙද්දී කාල්ට තරගය නිම කරන්නට තප්පර 9.92ක කාලයක් ගතවී තිබුණි.

නමුත් සියල්ල උඩුයටිකුරු වන්නට වැඩි කලක් ගත වුණේ නැත. 1989 දී තහනම් උත්තේජක භාවිත කළ වරදට හසුව බෙන් ජොන්සන් 1980 සිට 1988 දක්වා ලබා තිබූ සියලු ජයග්‍රහණ අවලංගු කර දැමුණි. නමුත් බෙන් ජොන්සන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර කාල් ලුවිස්ගේ මිත්‍රයෙක් වූ ඇන්ඩෲ ජැක්සන් තමාගේ ආහාරයකට තහනම් උත්තේජක මිශ්‍ර කළේ යැයි බරපතළ චෝදනාවක්ද එල්ල කරන්නට පසුබට නොවූයේ ය. කෙසේ නමුත් එම චෝදනා ඔප්පු නොවූ අතර සියොල් ඔලිම්පික් උලෙළ ඇතුළු ජොන්සන්ට දෙවැනි ව සිටි බොහෝ තැන්වල ජයග්‍රහණයේ අයිතිය කාල්ට හිමිවිය. ලොව වේගවත්ම ක්‍රීඩකයාට හිමි වාර්තාව පමණක් නොව ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම්ලාභීන් අතර දෙවැනි තැන කාල්ට හිමිව තිබුණි. කාල් ලබාගෙන තිබෙන ඔලිම්පික් පදක්කම් ගණන 10කි. රන් පදක්කම් 9 ක් සහ රිදී පදක්කමක් ඔහුගේ ඔලිම්පික් පදක්කම් ගොනුවේ වෙයි.

1988 ඔලිම්පික්වලින් පසු මීටර් 100 සහ 200 ධාවනයට සහභාගී නොවූ කාල් 1996 ඇට්-ලන්ටා ඔලිම්පික් දක්වා දුර පැනීමේ ඉසව්වට සහභාගී විය. 1992 සහ 1996 යන වසර දෙකෙහිම ඔලිම්පික් දුර පැනීමේ රන් පදක්කම් කාල් සතු කර ගත්තේය. 1988 සියොල් රන් පදක්කම තමාගේ අනාගතය වෙනුවෙන් සිහින දුටු පියාගේ දේහයත් සමඟ මිහිදන් කරන්නට කටයුතු කළ කාල් ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන සලකුණකි.

 

පසිඳු මිහිරාන් රැටියල

Comments