ක්‍රීඩා පරිපාලනයෙන් සමුගන්න මගේ සූදානමක් නෑ | Page 2 | සිළුමිණ

ක්‍රීඩා පරිපාලනයෙන් සමුගන්න මගේ සූදානමක් නෑ

නිල ඇඳුමේ බලයෙන් ක්‍රීඩකයෝ හෝ අන් කණ්ඩායමක් පාලනය කරනවා නම් එය තාවකාලිකයි

ක්‍රීඩා විෂය ඇසුරෙන් මම මගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කරලා තිබෙනවා

මම ඇතැන්ස් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්න වාසානාවන්ත වුණා

ශ්‍රී ලංකාව ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් නව දෙනකු සහභාගි කරවීමට සුදුසුකම් ලබා තිබේ. ග්‍රීසියෙන් ඇරැඹි ඔලිම්පික් සැණකෙළිය ලොව පුරා ගමන් කර යළි වසර 108 කට පසු යළි ජන්ම භූමියේ නැවත වරක් සංවිධානය කෙරෙද් දී ඒ සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරුවා වූයේ එකල නාවික හමුදාවේ ඉහළ ශ්‍රේණියේ නිලයක් හෙබවූ හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ධුරය දැරූ ශර්මාල් ප්‍රනාන්දු මහතා ය. මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෝකියෝ බලා ගොස් සිටියදී 'ක්‍රීඩා' ඔහු හා සාකච්ඡා කළේ ඔහුගේ ඔලිම්පික් අත්දැකීම් සහ කළමනාකාර භූමිකාව සම්බන්ධව ය.

ඔබ වාසානාවන්තයෙක්? ඔලිම්පික් කළමනාකරුවකු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමක් සමඟ එම මහා ක්‍රීඩා සැණකෙළියට පිටත්ව යන්න ඔබට හැකිවුණා?

එය ක්‍රීඩකයකුට වගේම ක්‍රීඩා පරිපාලකයකුටත් හිමි වන සුවිශාල භාග්‍යයක්. ඒ විදිහට බලද් දී මම වාසනාවන්තයෙක්. කොහොමත් තමුන් නිවැරැදිව, අපක්ෂපාතීව, සාධාරණව තමන්ගේ වගකීම් ඉටු කරනවා නම් ඔහුට හෝ ඇයට වරදින්න හේතුවක් නෑ. මම සම්බන්ධයෙන් කියන්න තිබෙන්නෙත් ඒ් දේ මයි.

ඒ් කියන්නේ ඔබ ක්‍රීඩා පරිපාලකයෙක් වශයෙන් කිසිදු වරදක් සිදුකර නැති බව ද?

ඔව්. මට එවැනි චෝදනා කිසිවක් එල්ල වී නැහැ. මම පරිපාලකයෙක් වශයෙන් මගේ යුතුකම හා වගකීම නොපිරිහෙළා සිදුකරලා තිබෙනවා. ඉතින් මම දැනුවත්ව කිසිම අඩුපාඩුවක් සිදුකර නැතැයි මා සිතනවා.

කණ්ඩායමක කළමනාකාරිත්වය දරනවා කියන්නේ සුවිශාල වගකීමක්. විශේෂයෙන් ඔලිම්පික් හා පොදුරාජ්‍ය මණ්ඩලයීය ඒ වගේම ආසියානු තරගාවලියක. ඔබ මේ අත්දැකීම් ත්‍රිත්වයේම හිමිකරුවෙක්. අපි කැමතියි කළමනාකාරිත්වයේ බැරෑරුම්කම ගැන කතා කරන්න?

එය සිදුකළ යුත්තේ ඉතා සැලසුම් සහගතවයි. අපි පළමුව සංචාරයක දී අප මත පැටවී ඇති වගකීම තේරුම්ගත යුතුයි. උදාහරණයකට ක්‍රීඩකයන් නම් කළ මොහොතේ සිට ඔවුන් තරගාවලියට සහභාගි කරවීම හා එලෙස තරග වැදී අවසානයේ යළි මව්බිමට රැගෙන ඒම දක්වා කළමනාකරුවා සතු වගකීමක් තිබෙ-නවා. එය තේරුම් අරගත යුතුයි. අපි කළමනාකරු වශයෙන් සංචාරයට එක්වන්නේ ක්‍රීඩා තරගාවලිය තුළ දී කිසිදු ගැටලුවකින් තොරව ක්‍රීඩකයාට තරග වදින්න අවස්ථාව ලබා දෙන්නයි. එතැන දී තරගාවලි සංවිධායකයන් වගේම තරගාවලි නීති රීති, විනය සුරැකීම වගේ බොහෝ දේ ගැන අවධානය යොමුකරන්න සිදුවෙනවා.

ඔබටත් නිල ඇඳුමක් තිබුණු නිසා ඒ කටයුත්ත පහසුවක් වෙන්න ඇති නේද?

නෑ. නිල ඇඳුමට මම ගෞරව කරනවා. නමුත් නිල ඇඳුමට ලැබෙන ගෞරවය ලබා ගෙන පුද්ගල කළමනාකරණය කරන්න යන කෙනාට නිල ඇඳුම අහිමි වුණු දාට පිළිගැනීමක් නැති වෙනවා. එදා මට තිබුණු පිළිගැනීම අදත් තිබෙන්නේ මා නිල ඇඳුමෙන් අනිසි බලයක් උපයා ගන්න උත්සාහ නොකළ නිසා. මම සැම විටම කළේ මම සිදුකළ යුතු රාජකාරියේ වගකීම් සම්භාරය නිසි පරිදි ඉටු කරන එකයි. එහෙම නැතිව අපට වෘත්තීමය වශයෙන් ලැබුණු බලතල මිනිසුන් පාලනය කරන්න උපයෝගී කර ගන්න අවශ්‍ය නැති තැන් තිබෙනවා. ක්‍රීඩා පිටිය කියන්නේ එවැනි තැනක්. එතැන දී අපි කිසි ලෙසකින්වත් නිල බලයන් යොදාගෙන කටයුතු කරන්නට උත්සුක නොවිය යුතුයි.

ඇතැන්ස් ඔලිම්පික් උලෙළ තමයි ඔබේ පළමු ඔලිම්පික් සහභාගිත්වය. කොහොමද එතැන දී ලැබුණු අත්දැකීම?

එම තරගාවලියට යන්න ලැබුණු එක ගැන මට ලොකු සතුටක් තිබෙනවා. ඔලිම්පික් බිහිවුණු නගරයේම ඔලිම්පික් තරගාවලියක් පැවැත්වෙද්දී ඊට සහභාගි වන්න ලැබුණා කියන්නේ ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. මම එහෙට ගියේ දක්ෂ ක්‍රීඩකයන් කණ්ඩායමක් එක්ක. ඒ කණ්ඩායමට සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, රොහාන් ප්‍රනාන්දු, මංජුල කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. එහිදී අපේ ක්‍රීඩකයන් ලෝකයේ මුල් ක්‍රීඩකයන් හතළිහට පහළින් දක්ෂතා දැක්වූවා. මට කළමනාකරුවකු වශයෙන් ඒ සම්බන්ධයෙන් ඇත්තේ සතුටක්.

අපිට කියන්න ඔබ ශ්‍රී ලංකා කණ්ඩායම් සමඟ විදෙස් සංචාරවලට ගියාම අර්බුදවලට මුහුණදීලාම නැද්ද?

මට එක නරක අත්දැකීමක් තිබෙනවා. ඒ තරග සංචාරයක් අතරතුර පලා ගිය ක්‍රීඩකයන් දෙදෙනෙක් නිසා ඇතිවූ ගැටලුවක්. නමුත් මම එතැන දී එය ගැටලුවක් කර නොගනිමින් මගේ කළමනාකාරිත්වය යටතේ කරන්නට ඇති සියලු නීතිමය වගකීම් නොපිරිහෙළා ඉටුකළා. ඇත්තටම කියනවා නම් තමුන්ගේ රට, ජාතිකත්වය අමතක කරලා විදේශ රටකදී පළායන්න යමෙක් කටයුතු කළානම් ඔහු එය කරන්නේ සංචාරය අතරතුර හදිසියේ තීරණය කරලා නොවෙයි. ඔවුන් තමුන්ගේ රටේදිම ඒක තීරණය කරලා ඇවිත් ඉන්නේ. අපිට එවැනි අර්බුද ඇතැම් විට විසඳන්න බැරි වෙන අවස්ථා උදාවෙන්න පිළිවන්.

ඔබේ ඔලිම්පික් අත්දැකීම තවත් අදියරක් ඉදිරියට යනවා නේ ද?

ඔව්. මම ලන්ඩන් ඔලිම්පික් උලෙළේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වශයෙන් කටයුතු කරනවා. එයත් මම ක්‍රීඩා පරිපාලකයෙක් වශයෙන් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්.

ඔබ හිටපු ක්‍රීඩා පරිපාලකයෙක්. අපි දකින දෙයක් තමයි ඔලිම්පික් උළෙලක් ආසන්නයේ සුදුසුකම් ලබා ගන්න, සහන ක්‍රමය යටතේ හෝ අවස්ථාවක් දිනා ගන්න හදන ඇතැම් සංගම් තරගාවලියක් අවසන් වුණාට පස්සේ ඔලිම්පික් අමතක කරනවා. ඔබ ක්‍රීඩා පරිපාලකයෙක් වශයෙන් මෙය දකින්නේ කොහොම ද?

ඒක ඇත්ත. ඒ විදිහට කටයුතු කිරීමෙන් ක්‍රීඩාවට සිදුවන සෙතන් නෑ. මම කියන්නේ නෑ සියලුම ක්‍රීඩා ඔලිම්පික් ඉලක්ක කරගෙන පුහුණු කරවිය යුතුයි කියලා. අපි දන්නවා ඔනෑම රටකට මුදල් සීමා සහිත වන බව. ක්‍රීඩකයකු හෝ කණ්ඩායමක් ඔලිම්පික් තලයට ගෙන එන්න විශාල වැය බරක් දැරිය යුතුයි. දැන් අපි වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගේ අධීක්ෂණය යටතේ ඉහළ දක්ෂතා කළමනාකරණය කරන්න කමිටුවක් පිහිටුවලා, විද්වත් ක්‍රීඩා සභාවක් පිහිටුවලා, එයට සුදුස්සන් පත්කරලා මීළඟ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගන්න හැකි ක්‍රීඩා කීපයක් තෝරාගෙන ඒ්වාට වැඩි ප්‍රතිලාභ, පහසුකම් සපයා දෙන්න ක්‍රියා කර තිබෙනවා. එය අතිශය බුද්ධිමත් වෑයමක්. ඒක තමයි ලෝකයේ බොහෝ සංවර්ධිත ක්‍රීඩා පවතින රටවල සිදුකරගෙන යන්නේ.

ඔබ පසුගිය දා ක්‍රීඩාව සම්බන්ධයෙන් නිබන්ධන කීපයක්ම ලියා තිබුණා. ඒ්වාට මේ සම්බන්ධයෙන් යෝජනා ඇතුළත්ව තිබෙන්න ඇති නේද?

මම ක්‍රීඩාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධි නිබන්ධනයක් පවා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩාව නංවන්න පුළුල් යෝජනා රැසක් ඉදිරිපත් කළ පුද්ගලයෙක් වශයෙන් මට මා ගැන සතුටුවන්න පිළිවන්. මේ මොහොත වන විට මම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සහයගෝය ඇතිව ඒ නිබ-න්ධනයක් මුද්‍රණය කරන්න උත්සාහ කරමින් සිටිනවා. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට හා ක්‍රීඩා ඇමැතිතුමාටත් මම මේ තොරතුරු සහිත නිබන්ධනයේ පිටපත් ලබාදී තිබෙනවා.

ඔබ නාවික හමුදාතිවරු ගණනාවක් සමඟ ඔවුන්ගේ පෞද්ගලික සහකාර වශයෙන් සුවිශාල බාර දුර කර්තව්‍යයන් රැසක නිරත වුණා. යුද්ධයක් පැවැති සමයේ එවැනි ධුරයක ක්‍රියා කිරීම අතිශය බැරෑරුම්. මේ රාජකාරි කටයුතු අතර ඔබ ක්‍රීඩා පරිපාලනය සමඟත් නිමග්නව සිටියා. දැන් ඇයි එයින් සමුගෙන සිටින්නේ ?

නෑ. මම ක්‍රීඩාවෙන් සමුගෙන නෑ. අවුරු අටේදී පාසලෙන් මලල ක්‍රීඩාවට අවතීරණ වුණු මම අවුරුදු දහ නවයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට සම්බන්ධ වෙනවා. එතැන දී පූර්ණ කාලීනව ක්‍රීඩාව කරන්න නොහැකි වුණත් මම හැකි සෑම විටකම මගේ කැපවීම් මඟින් ක්‍රීඩාව වෙනුවෙන් සහභාගී වී තිබෙනවා. ඒ ප්‍රතිඵලය තමයි මාව ක්‍රීඩා පරිපාලනය පාර්ශ්වයට යොමු කරන්නේ. ක්‍රීඩාව තුළින් මම මගේ පරිපාලන හැකියාවන්ට අවශ්‍ය

බොහෝ දේ ලබා ගෙන තිබෙනවා. ශික්ෂණය, විනය මට ලැබෙන්න නාවික හමුදාව, මගේ පවුල, පාසල් වගේම මම නිරත වුණු ක්‍රීඩාව ඉවහල්ව තිබෙනවා. දැනටත් මම ක්‍රීඩා පරිපාලනයෙන් පූර්ණ කාලීනව සමුගෙන නෑ. තවම මගේ වයස තිබෙනවා. ඉදිරියේදී මට ලැබෙන වගකීම් සමඟ යළි ක්‍රීඩා පරිපාලනය තුළ මාව දකින්න ලැබේවි.

ජාතික ඔලිම්පික් කමිටුව පාර්ශ්වයෙන් ඔබේ දායකත්වයක් ලබා දෙන්න හෝ ඔබට සහයෝගයක් ලැබෙනවා ද?

මේ වන විට මම මගේ කටයුතු ඔවුන් හා ඉටු කරන්නෙ නෑ. නමුත් මගේ සහය ලබා ගැනීමට අවැසි ඕනෑම මොහොතක එය ලබාදෙන්න මම සූදානම්. දැන් මම ක්‍රීඩාව සම්බන්ධ මගේ ආචාර්ය උපාධි නිබන්ධනය කෘතියක් ලෙස මුද්‍රණය කරන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහය අපේක්ෂාවෙන් පසුවෙන නිසා ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් ඊට මට සහයක් ලබා දේවි කියලා මම විශ්වාස කරනවා.

හොඳයි අවසන් වශයෙන් ඔබෙන් විමසන්න කැමතියි කුඩා ක්‍රීඩක කණ්ඩායමකට විශාල නිලධාරී කණ්ඩායමක් විදේශ ගතවීම ඔබ පරිපාලකයෙක් වශයෙන් අනුමත කරනවා ද නැද්ද කියන කාරණය?

මෙහෙමයි. ඒක අවස්ථාව අනුව තමයි තීරණය වන්නේ. ඇතැම් විට අපිට ඔලිම්පික් වැනි ක්‍රීඩාවල විශාල වගකීම් සමුදායක් ක්‍රියාවට නංවන්න සිදුවෙනවා. මේක නිකං හුදු සංචාරයක් විදිහට නොසැලකෙන නිසා ඒ වෙනුවෙන් ප්‍රමාණවත්, දක්ෂ පරිපාලකයන් කීපදෙනෙක් යවන්න සිදුවෙනවා. එය නිසි ලෙස අවබෝධ කරගනිමින් සිදුකළ යුත්තක්. ඒ නිසා පිරිස අඩු වැඩි භාවය අපිට පිටත ඉඳගෙන විවේචනය කරන්න බෑ කියන එකයි මම දරන මතය.

 

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments