ක්‍රීඩකයන් 33 ක්‍රීඩිකාවන් 19 ක් ලියූ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සන්නස | සිළුමිණ

ක්‍රීඩකයන් 33 ක්‍රීඩිකාවන් 19 ක් ලියූ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් සන්නස

 

ටෝකියෝ ඔලිම්පික් උලෙළේ ක්‍රීඩා හතක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සුදුසුකම් ලබා තිබේ. ඉන් පස් දෙනෙක් ක්‍රිඩිකාවන්ය. ඒ අනුව 2000 ක්‍රීඩිකාවන් 09 ක්, 1992 ක්‍රීඩිකාවන් 06 දෙනකුට පසු වැඩිම ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට තරග වදින්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙල වෙනුවෙනි. ක්‍රීඩකයන් හතර දෙනකු බැගින් එක්වන හත් වැනි ඔලිම්පික් උළෙල වන්නේ ද මෙයයි.

මෙම තරගාවලියට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී වැඩි ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් නියෝජනය කර ඇත්තේ මලල ක්‍රීඩාව ය.

ඒ ටෝකියෝ තරගාවලියට පෙර මෙරට ක්‍රීඩකයන් 30 දෙනකු සහ ක්‍රීඩිකාවන් 13ක් වශයෙන් 43 කි. ඒ ක්‍රීඩා 11 ක් නියෝජනය කරමිනි. ඊට අමතර ව බොක්සිං සහ පිහිනුම් ක්‍රීඩා නියෝජනය කරමින් වැඩිම පිරිසක් ඔලිම්පික් නියෝජනය කර ඇත. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13දෙනා බැගිනි. මේ අතරින් පදක්කම් ජයග්‍රහණ වාර්තා කර ඇත්තේ 1948 හා 2000 වසරේ දී පිිළිවෙළින් ඩන්කන් වයිට් සහ සුසන්තිකා ජයසිංහ විසිනි. ඒ රිදී පදක්කම් දිනා ගනිමිනි.

ශ්‍රී ලංකාව පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූයේ 1948 වසරේ දී ය. 1976 වසරේ දී හැරුණු විට, 1948 සිට මෙතෙක් පැවැති සියලුම ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා සඳහා ශ්‍රී ලංකාව සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවා ඇත. එහෙත් කිසිදු සීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට මෙරට ක්‍රීඩකයන් සහභාගිත්වය දක්වා නොමැත.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව 1937 වසරේ දී පිහිටුවනු ලැබූ අතර, එම වසරේ දී ම එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගනු ලැබිණි. ශ්‍රී ලංකාවේ 1972 වසර දක්වා හැඳින්වූ නාමය සිලෝන් (Ceylon) වූ බැවින් එම වසර දක්වා ශ්‍රී ලංකාවේ ඔලිම්පික් දේශීය කේතය ලෙස CEY අනුගත කරනු ලැබිණි. 1972 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ දේශීය කේතය ලෙස SRI ලෙස ජාත්‍යන්තරය තුළ භාවිත වේ.

ඔලිම්පික් අසාධාරණය

1948 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ඩන්කන් වයිට් දිනා දුන් රිදී පදක්කමත් 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ සුසන්තිකා ජයසිංහ දිනා දුන් රිදී පදක්කමත් අතර කාලයේ දලුලා වැඩුණු ඔලිම්පික් පදක්කම් සිහිනයක් ලාංකික අපට තිබුණි. නමුත් මෙරට ක්‍රීඩා බලධාරීන්ගේ අමනෝඥ භාවය හේතුවෙන් එම අවස්ථාව අපට අහිමි වී ගියේ ය. ඒ එස්.එල්.බී. රෝසාට අවස්ථාව අහිමි කිරීමෙනි. පසුව ඒ සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දක්වා තිබිණි.

'මගේ උපන් රට වෙනුවෙන් දිවීමට මට තව දුරටත් අවස්ථාවක් නොමැති බව මට හැඟී ගියා. නමුත් නිදහස් පුද්ගලයකු ලෙස ඔලිම්පික් ධජය යටතේ දිවීමට මට අවස්ථාවක් තිබුණා. අපේ රට නියෝජනය කරමින් එහි ගොස් සිටි ලාංකික කළමනාකාරවරයා ඒ අවස්ථාවත් මගෙන් උදුරාගෙන තිබුණා. මට මගේ රටේ ඇතැම් මිනිස්සුන් ගැන ඇතිවුණේ පුදුමාකාරයේ කලකිරීමක්. මම දවස් දෙකක් හෝ තුනක් කෑමක් බීමක් නොගෙන හැඬූ කඳුළින් ඔලිම්පික් ගම්මානයේම ගත කළා.'

සෙල්ලප්පුලිගේ ලූෂන් බෙනඩික්ට් රෝසා නොහොත් අප කවුරුත් දන්නා එස්. එල්. බී. රෝසා නම් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ට ම දුර දුවන්නා පසු කලෙක තමාගේ අමිහිරි ඔලිම්පික් අත්දැකීම මතකයට නංවන්නේ ඒ ආකාරයෙන් ය.

ලූෂන් බෙනඩික්ට් රෝසා 1972 දී ජර්මනියේ මියුනිච් හි පැවැති ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය. 1970 දී තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී ඔහු පාවහන් නොමැතිව දිවීම සහ මීටර් 5000 සහ මීටර් 10,000 ද්විත්ව ශූරතාව දිනා ගැනීම ද ප්‍රසිද්ධය. මීටර 10,000 දී ඔහුගේ දස්කම් ආසියානු ක්‍රීඩා වාර්තාවක් ද විය.

1966 දී බැංකොක් නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ඔහු මීටර් 5000 සහ මීටර් 10,000 යන දෙඅංශයෙන්ම ලෝකඩ පදක්කම දිනා ගත්තේය. මීටර් 10,000, මිනිත්තු 29:18.0ක දී නිම කළ ඔහුගේ පෞද්ගලික දක්ෂතාවය 1975 සිට ශ්‍රී ලංකා ජාතික වාර්තාව ලෙස තවමත් පවතී. 1972 ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් නමුත් 1937 ජාතික ඔලිම්පික් කමිටුව පිහිටු වු පසු ශ්‍රී ලංකාව මොන්ට්‍රියල් ඔලිම්පික් වර්ජනය කිරීම හේතුවෙන් 1976 තරග කිරීමට නොහැකි විය. ඔහු 1968 දී ලංකාවේ ඔලිම්පික් සංචිතයට සම්බන්ධ වූ නමුත් රට මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් මෙක්සිකෝවට ලුසියාන් ඇතුළත් නොවූ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පමණක් යවා ඇත.

 

ඔලිම්පික් ගිය ප්‍රථම ක්‍රීඩකයා

1928 නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි පැවැති අට වැනි ඔලිම්පික් උළෙලට

උස පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් ලාංකේය ක්‍රීඩකයකු එක්විය. මෙකී දුලබ වරම හිමි කර ගත් ක්‍රීඩකයා සී.ටී. වැන් ගෙයිසල් ය. එහෙත් ඒ සිය උපන් භුමිය වූ මෙරට නියෝජනය කරමින් නොව, එංගලන්තය නියෝ-ජනය කරමිනි.

කොළඔ රාජකීය විදුහලෙන් ක්‍රීඩාව ප්‍රගුණ කළ ගෙයිසල්, අට වැනි ඔලිම්පික් උළෙල නියෝජනය කරන විට ආසියාවේ ඉහළින් ම සිටි උස පැනීමේ ශුරයෙකි. ඇම්ස්ටර්ඩෑම්හි ඔලිම්පික් උළෙලේ දී, මීටර් 1.77කින් නතර වීමට ගෙයිසල්ට සිදුවූ අතර, එකී දක්ෂතාව දෙවැනි වටයට යෑමට ප්‍රමාණවත් නොවීය. දක්ෂ රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ හෙතෙම කලක් එන්.සී.සී කණ්ඩායම ද නියෝජනය කළේය.

 

ඔලිම්පික් ගිය පළමු ක්‍රීඩිකාවෝ

1988 කොරියාවේ සෝල් නුවර පැවැති ඔලිම්පික් උළෙලේ දී, මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් තිලකා ජිනදාස එක් වූ අතර, පිහිනුම් ඉසව් නියෝජනය කරමින් දීපිකා චන්මුගම් ද ඊට සහභාගි විය.

ඒ අනුව එතෙක් මෙතෙක් 1948-2021 දී, ඔලිම්පික් උළෙල 18 ක් මෙරට නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව තිබේ. 1948 සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගවලට එක්වූ ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් සම්මානයෙන් පිදීමේ උපහාර උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2017දී ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

2017 වසරේ පැවැති ක්‍රීඩා අමා-ත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් සංගමය විසින් මෙය සංවිධාන කර තිබූ අතර ඔලිම්පික් තරග නියෝජනය කළ ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 41 දෙනකු මෙහිදී ජනාධිපතිවරයා අතින් රන් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඔලිම්පික් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් හැත්තෑ දෙදෙනකු ඒ වන විට ජීවතුන් අතර සිටියහ. ඔවුන් වෙනුවෙන් පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයට රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

 

 

ඉතිරි කොටස ලබන සතියේ

බන්ධුල ජයමාන්න

Comments