ඔලිම්පික් සිරිසරට ලොව පුරා සැරසෙන්නෝ | සිළුමිණ

ඔලිම්පික් සිරිසරට ලොව පුරා සැරසෙන්නෝ

 

තිස් දෙවැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල කොවිඩ් හා සටන් වදිමින් ප්‍රෞඩත්වය ආරක්ෂා කරගනිමින් ටෝකියෝ නුවර පැවැත්වීමට එහි සංවිධායකයන් මේ වනවිටත් සූදානම් ය. ලොව පුරා අසහාය ක්‍රීඩකයන්, ඔලිම්පික් සංකල්පය ජයග්‍රහණය කරවීම පිණිස මේ වනවිට සකුරා දේශයට පැමිණෙමින් තිබේ. තරගාවලිය ටෝකියෝවේ සංවිධානය නොකරන මෙන් සුවිශාල උද්ඝෝෂණ රැල්ලක් ද පසුගිය කාලයේ එරටින් මතුව ආ නමුත් මේ වනවිට තරගාවලිය නිශ්චිත වශයෙන් සංවිදානය කරන බව ප්‍රකාශයට පත්ව අවසානය.

එයින් ප්‍රකාශ වනුයේ ඔලිම්පික් යනු රටක රජයකට පවා පාලනය කළ නොහැකි ශක්තිමත් ගෝලීය සම්මුතියක් බව ය. කෙසේ නමුත් මේ වනවිට අදාළ සම්මුතිය සාක්ෂාත් කරගැනීමේ පියවි ඇසේ සාක්ෂිකරුවන් වීමට ජපන් ජාතිකයන්ට අවස්ථාවක් හිමිවනු ඇතැයි පැවසෙන නමුත් විදේශිකයන්ට නම් එය දැනටමත් තහනම් කර ඇත. මේ අනුව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් සියයට පනහක් දේශීය ප්‍රේක්ෂකත්වයට වෙන් කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබුණද එය යළිත් අවලංගුකර ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්වීමට ද යෝජනාවී ඇත.

පහත දැක්වෙන්නේ ටෝකියෝ හි පැවැත්වෙන්නට නියමිත තිස් දෙවැනි ඔලිම්පික් උළෙල වෙනුවෙන් පෙර පුහුණු කටයුතු ආරම්භකර ඇති ලොව පුරා ක්‍රීඩකයන්ගේ ඡායාරූප පෙළකින් උපුටා ගැනෙන්නකි.

මේ ඔලිම්පික් ගිනි සිළුව ගෙන ධාවනයට හුරු පුරුදු වන ආකාරය ය. එම අවස්ථාව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින්නේ ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ධාවනයේ යෙදීමට නියමිත සෙසු සහය ක්‍රීඩකයන් ය. මේ ආකාරයෙන් ගිනි සිළුව රැගෙන ධාවනය හුරුවන්නේ ජපාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවක වන අෂූසා ඉවාෂිම්ෂු ය.

වැලරි ඇල්මන් කවපෙත්ත විසිකරන්යි මේ පුහුණුවන්නේ. ඇය අමෙරිකාවේ ඉයුජින් හි දී පැවැති ඔලිම්පික් සුදුස්සන් තෝරාගැනීමේ තරගයක දී තමන්ගේ දක්ෂතාවය මැන බැලූ අයුරුයි මේ.

ජපානයේ ජාතික ක්‍රීඩාංගණයේ හිස් ප්‍රේක්ෂකාගාර ඉදිරියේ මලල ක්‍රීඩා පුහුණුවීම් තරගයක නිරතවන ක්‍රීඩකයෙකුගේ ඡායාරූපයක් මෙලෙස කැමරා කාචයේ සටහන්ව තිබිණි.

ඔලිම්පික් නගින්න හුරුවීම

මේ දැක්වෙන්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ 'climbing wall' ඉසව්ව පුහුණු වෙන ක්‍රීඩකයෙකි. ඔහු ජර්මානු ජාතිකයෙකි.

පිහිනුම් පුහුණුව

මේ පුහුණුවත් අමෙරිකානුවන්ගෙනි. ඒ ඔමාහා හි නෙබ්රස්කා ප්‍රදේශයේ සිදුකරමින් සිටින්නේ ටෝකියෝවේ දී ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම පිණිස ගන්නා උත්සහයකි.

ජර්මානු ක්‍රීඩිකාවක විසින් මේ මීටර් 200 ළය ආර ඉසව්ව වෙනුවෙන් පුහුණුවන අයුරුයි මේ. එය ඈ සිදුකරනුයේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ජර්මානු තරග පැවැත්වුණු යුරෝපා ක්‍රීඩා සංකීර්ණයේ ය.

කඩු කාරයා

මොහු මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට තරග වදින්නට සූදානමින් සිටින කඩු සරඹකරුවෙකි. ඔහු මේ අයුරින් ඡායාරූපයකට පෙනී සිටිනුයේ නිව්යෝර්ක් නුවරදී ය. ඒ ඔවුන් මෙවර ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලබාගත් බව ආරංචි වීමෙන් අනතුරුව ය.

වැටි වැටී දිවීම

මේ මීටර් 3000 බාධක දිවීමේ තරගය වෙනුවෙන් සිදුකරන පුහුණුවීමකි. එය අමෙරිකානුවන් අතරින් ඔලිම්පික් සහභාගිත්ව සුදුස්සන් තෝරාගැනීමේ තරගයදී සිදුවූ ඇද වැටීමකි. තරගය පැවැත්වුණේ ඉයුජින් හි දී ය.

කොස්ටරිකාවේ රළ මත ලිස්සීම

ටෝකියෝවේ සයුරු රළ මත පියඹා යන්නට කොස්ටරිකා හි ක්‍රීඩකයකු පුහුණුවීම් හි නියැලෙන ආකාරයය මේ. මෙම උත්සහය එල්සැල්වදෝරයේ පැවැති තරගයක් තුළ ලබාගන්නා ලද්දකි.

නුඹෙ අම්මා ඔලිම්පික් පදක්කමට ගියා

මේ ඉන්නේ අමෙරිකාවේ මීටර් 400 ධාවිකාවක වන ඇලිසන් ෆීලික්ස් ය. ඈ තම සිඟිති දියණියට ආදරෙයන් පවසන්නේ තම ටෝකියෝ සිහින ඔලිම්පික් සංචාරය ගැන විය යුතු ය.

නෙත පිනවති මේ ලන්දූ

ඔස්ට්‍රේලියානු වෝටර් පෝලෝ කණ්ඩායම ඔලිම්පික් සහභාගිත්වය තහවුරු කරගැනීමෙන් අනතුරුව එරට ' සන්ෂයින් කොස්ට්' හි පිහිනුම් මධ්‍යස්ථානයේ දී මෙලෙස කැමරාවට හසුව තිබිණි.

ඔලිම්පික් වළලු

ටෝකියෝවේ ඔලිම්පික් සූදානම සම්බන්ධයෙන් නිහඬ සාක්ෂි සපයමින් ඔඩයිබා හි ඔලිම්පික් ක්‍රීඩාංගණයේ සූදානම පවසමින් එහි ඔලිම්පික් සංකේතය ආලෝකමත් කර ඇති ආකාරයයි.

 

කාන්ති ජයසිංහ

Comments