ඔලිම්පික් වැදගත්කම හා ගෝලීයකරණය අභිමුව අනාගත අර්බුද | Page 2 | සිළුමිණ

ඔලිම්පික් වැදගත්කම හා ගෝලීයකරණය අභිමුව අනාගත අර්බුද

ඔලිම්පික් 4

ක්‍රීඩාව මේ වන විට ලොව පුරා ක්‍රියාත්මක වන්නේ පුළුල් වෙළෙඳ පොළක් ඉලක්ක කර ගනිමිනුයි. ඔලිම්පික් සාරධර්මයන්ට වඩා මේ කියන වෙළෙඳ ඉලක්ක හේතුවෙන් ක්‍රීඩාවේ සාරධර්ම බොහෝ දුරට පිරිහෙමින් ඇති බව අපට පිළිගන්නට සිදුවෙනවා. වේගය වැඩිදියුණු කරන, ශක්තිය ප්‍රවර්ධනය කරන විවිධ උත්තේජක මහා මාෆියාවක් බවට පත්ව ඔලිම්පික් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය යටපත් කරමින් අඳුරු සෙවණැලි ගොඩනංවමින් ඇත්තේ එවැනි පසුබිමකයි. අප තවදුරටත් ඔලිම්පික් සම්බන්ධයෙන් කතා කරන්නේ එවැනි පසුබිමක් මත සිටගෙනයි.’

ජැමෙයිකානු විදුලි දුම්රිය ලෙස ලොවක් හඳුනන උසේන් බෝල්ට් නොහඳුනන කෙනෙක් නැතිව ඇති. ක්‍රීඩාවට බලය, ධනය, තාක්ෂණය මුසු වෙලා සජීවී බව තරගකාරීත්වය, මූල්‍යමය වටිනාකම්, නව්‍යකරණය ගෝලීයකරණය සිදු වෙලා. නූතන ලෝකයේ සංවර්ධන යුද්ධය සමඟ එය වරදක් ලෙස අපට පවසන්නට බැහැ.

එහෙත් එවැනි තත්ත්වයක් යටතේ අප අපේක්ෂා කරන ක්‍රීඩා ලෝකය දැක ගැනීමට ඉඩ ලබා දෙනවා ද? මෙවැනි පරිසරයක් යටතේ සැබැවින්ම සිදුව ඇත්තේ කුමක් ද? ක්‍රීඩාවේ හරය යටපත් වෙලා ජයග්‍රහණය කියන කාරණය පමණක් මිනිස්සුන්ගේ සිත්වලට ඇවිත් තිබෙනවා නොවේ ද? යන්න ගැන අප විමසිලිමත් විය යුතුයි.

අප පිළිගත යුතු එක දෙයක් තිබෙනවා. ඒ තමයි ලොව සෑම පුද්ගලයකුටම වෛද්‍යවරයකු බවට පත්වීමට නොහැකි බව. ඒ වගේම හැමෝටම ඉංජිනේරුවෝ වෙන්නත් බැහැ. හැබැයි හැම කෙනෙකුටම හොඳ මිනිසෙක් වෙන්න පුළුවන්.

සැබැවින්ම ජීවිතය යනු වැරැදි නිවැරැදි

කර ගනිමින් ජීවත් වීමක්. එලෙස නිවැරැදි වන්නට නම් සිත් තුළ පවතින වැරැදි ආකල්ප සෝදා දැමිය යුතුයි. උදාහරණයකට අප ඔලිම්පික් පිළිබඳ වැරැදි ආකල්පයක පැටලී සිටින්නට පිළිවන්. එය එසේ නම් ඔලිම්පික් අපට ලබා දෙන හරි ආකල්පය අප ජිවිතයට එන්නත් කර ගත යුතුයි. තමන්ගේ ජීවිතයට එළඹ ඇති ව්‍යාජ ආකල්ප ක්‍රමයෙන් ඈත් වන්නේ එවිටයි.

ආකල්ප වෙනස් වූ විට මි-නිසුන් ඔවුනට හැඟෙන, දැනෙන ආකාරයට කටයුතු කරන්නට පෙලඹෙනවා. එවිට පිරිසිදු ඔලිම්පික් තරගාවලියක නියම රසය

විඳින්නට හැකියාව අහිමිවී යනවා. වර්-තමානය වන විට ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සැබෑ අරමුණු වෙනස්වී ම පැහැදිලිව දක්වන්න පිළිවන්. දැන් එය තරගකාරීත්වයම මූලික අරමුණ කර ගත්තක් බවට පත්වෙලා.

ඒ නිසා පාරිශුද්ධ ඔලිම්පික් අරමුණුවලට සිත් තුළ පිරී ඇති ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, වංචාව, පාවා දීම, අසාධාරණය වැනි අපිරිසිදු දෑ එකතුවී තිබෙනවා. මේ නිසා ජය පමණක්ම අරමුණු කර ගත් විට මිනිසුන් ක්‍රීඩාව මඟක දී අතහැර දමමින් ඇතිබව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ලෝකයට සඟවාගෙන සිටින්නට උත්සහ කළත් මේවා පුද්ගල පිරිහීමේ මෙන්ම

ක්‍රීඩාවේ ජීවගුණය බිඳවැටීම් යැයි කිවහැකි යි.

මේ ආකාරයට ඔලිම්පික් ක්‍රීඩාව තුළටත් අහිතකර අවිධිමත් දෑ එක් වෙමින් තිබෙනවා. වර්තමානය වන විට එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා විවිධ අංශයන් හඳුන්වාදී ඇත්තේ ඒ නිසයි. තහනම් උත්තේජක වෙනුවෙන්ම වෙනමම ආයතනයක් පවා ලොව බිහි වූයේ ඒ අනුවයි. එය 1999 වර්ෂයේ කැනඩාවේ මොන්ට්‍රියෙල් නගරය ආශ්‍රිතව ස්ථාපිත කරනු ලැබුණා.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩා මත්ද්‍රව්‍ය නාශක අධිකාරිය, එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නාශක විරෝධී එජන්සිය සහ තවත් බොහෝ අය මෙම කාර්යයට සහය ලබා දෙනවා. අපේ රට තුළත් ඒ සඳහා වෙන් වූ ආයතනයක් ස්ථාපිත කර අවසන්. එය ග්‍රාමීය යටිතල පහසුකම් හා පාසල් ක්‍රීඩා වැඩි දියුණු කිරීමේ අමාත්‍යාංශය යටතේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ලෙසයි කටයුතු කරන්නේ. එය 2013 වසරේ නොවැම්බර් මස 15 වැනි දින ස්ථාපනය කළේ, මාත්‍රණය කිරීමට එරෙහි සම්මුතියේ අංක 33, 3 වන වගන්තියේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තු පනතක් මඟිනුයි. එය ශ්‍රී ලංකිකයන් වන අප පමණක් අත්විඳින තත්ත්වයක් නොවන බව කිව යුතුයි. ලොව බොහෝ රටවල් මේ තත්වයට පත්ව තිබෙන අතර නියම ක්‍රීඩාවේ පිරිසිදු බව, හරය ගිලීහී යමින් තිබෙන බව මේවායින් පැහැදිලි කරවනවා.

ලෝකය දෙස බලන විට මෙය අති භයානක තත්ත්වයක්. මේ නිසා අපත් බහුතර රටවල සාමාජිකයනුත් ක්‍රීඩාවේ සැබෑ සංකල්පය නිවැරදිව අවබෝධ කර ගෙන නොමැති බව පෙනී යනවා. බොහෝ විට අපට අවශ්‍යවෙලා ඇත්තේ කෙසේ හෝ පදක්කමක් දිනා ගැනීමයි. එවැනි පසුබිමක් තුළ සෙසු බොහෝ රටවලට වඩා අප ක්‍රීඩා මානසිකත්වය තුළින් පසුබෑමක පසුවන බව පැවැසිය යුතුයි.

බොහෝ අයගේ සිත් තුළ කැකෑරෙන දුර්වර්ණ හැඟීම් සමුදායන් හේතුවෙන් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වන්නේ ඒ අයුරිනුයි. අපට ඒ වැරැදි ආකල්ප ඉවත් කරගත හැකි වන්නේ ඔලිම්පික් හරය පිළිබඳ දැනුම සමාජ ගත කිරීමට ක්‍රියා කිරීමෙනුයි. ඔලිම්පික් මඟින් ඉගැන්වෙන විශිෂ්ට ක්‍රීඩාශීලි ආකල්පවලින් පෝෂණය වන විට එය රටක් වශයෙන් ඔලිම්පික් ජයග්‍රහණය කළාක් බඳු යැයි කිව හැකියි.

එය සිදුනොවන්නේ ඇයි?

අද රට තුළ එය සිදුනොවන්නේ ඇයිද යන්න අප විමසා බැලීම වැදගත්. එතැන දී මූලිකවම ගැටලුව නිර්මාණය වන්නේ හුදෙක්ම ඔලිමිපික් වටිනාකම් පිළිබඳ ව දන්නා කණ්ඩායම් ඒවා සමාජයට බෙදා දෙන්නට නිසියාකාරයෙන් පෙළ නොගැසීම යැයි පිළිගන්නට සිදුවෙනවා. ඔලිම්පික් මඟින් ලබාගන්නට හැකි යහපත් දේ සමාජය තුළ ව්‍යාප්ත කරන්නට බොහෝ දෙනෙක් උකටලී වීමක් දැකීමට හැකියි.

එය වඩාත් අවාසනාවකට පත්වූ සිදුවීමක් වන්නේ අප රටේ ඔලිම්පික් පරිශීලනය කරන පුද්ගලයන් බොහොමයක් දෙනා මෙහි වටිනාකම දැන හෝ නොදැන කටයුතු කරන අවස්ථාවන් ඉහළ යෑම නිසයි. ඒ හේතුවෙන් අපට බොහෝ විට ඇසෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මැසිවිලි, මතගැටුම්, අසාධාරණකම් ගැන යාං හෑලි කථාන්තරයි.

ඒ නිසා රටේ හැමෝම මිල මුදල් නොමැතිකම, පහසුකම් නොමැතිකම ආදි මූලික කාරණා පිළිබඳ ඇඟිලි දිගු කරමින් ක්‍රීඩාව අත්හරින වැඩපිළිවෙළකට පිවිසිලා තිබෙන බවක් පෙනෙනවා. නමුත් අප තේරුම් ගත යුතුව ඇත්තේ අඩුපාඩු ගැන පවසමින් සිටිනවාට වඩා පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමයි. සතුට තිබෙන්නේ ලැබි ඇති දෙයින් සෑහීමකට පත්වන අය තුළයි. බහුතරයක් බොහෝ විට උත්සාහ කරන්නේ තම පෞද්ගලික න්‍යාය පත්‍රයන් ජාතික න්‍යාය පත්‍රයක් ලෙසට පරිවර්තනය කර ගනිමින් ක්‍රියා කිරීමටයි.

එය විසඳා ගන්නේ කෙසේ ද?

ලාංකේය ක්‍රීඩාව එවැනි තත්ත්වයකින් රැක ගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද? මේ පිළිබඳ සමාජ දැනුවත් භාවය ඉහළ නැංවිම පළමුව සිදුකළ යුතුයි. එහිදී ක්‍රීඩාවේ සැබෑ වටිනාකම් ඇති නායකයන් බවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සිදු කළ යුතුව තිබෙනවා. මේ සඳහා භාවිත කළ හැකි එකම මාධ්‍ය වන්නේ ඔලිමිපික් සංකල්පයි. සියලු දෙනා ඔලිම්පික් සම්බන්ධයෙන් නිසි දැනුමක් සහිත තත්ත්වයට පත්විය යුත්තේ ඒ හේතුවෙන් බව කිව යුතුව ඇත්තේ තවත් ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් ඉදිරි දින කීපය තුළ ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වීමට නියමිත ව තිබීම සම්බන්ධයෙන් ද සලකා බලන විටයි. අප ඔබට යෝජනා කරන්නේ පදක්කම් ඉලක්ක නොව ඔලිම්පික් ක්‍රීඩාවේ සැබෑ අරමුණ දෙස මෙවර ඔලිම්පික් උලෙළ අතරතුරවත් සිතිවිලි පහළ කර ගැනීමට කටයුතු කිරීම අතිශය වැදගත් බවයි.

කාන්ති ජයසිංහ

Comments