ඔලිම්පික් පදක්කමක් ගඟට විසකළ මිනිසා ‘ අලි ’ | සිළුමිණ

ඔලිම්පික් පදක්කමක් ගඟට විසකළ මිනිසා ‘ අලි ’

 

1960 දී විසිකළ පදක්කම යළි ගෙල පළඳින්න වසර හතළිස් හයක් ගතවෙයි

කැසියස් ක්ලේ නොහොත් මොහොමඩ් අලී 1960 රෝම ඔලිම්පික් උළෙලේ දී බොක්සිං ඉසව්වකින් රන් පදක්කමක් දිනා අමෙරිකා එක්සත් ජනපදයට නැවත ආවේ තමාව වීරයකු ලෙස පිළිගනිවී යන බලාපොරොත්තුව ඇතිවය. නමුත් එවැන්නක් සිදු වුණේ නැත. විශේෂයෙන් සුදු ජාතිකයන් අලීව පිළි නොගත්තේ ඔහු කළු ජාතිකයකු වූ නිසා ය. අවසානේ ඔහු කළේ තමා දිනූ රන් පදක්කම ඔහියෝ ගඟට විසි කිරීම ය.

මේ ක්‍රියාව ගැන බොහෝ දෙනා අලීට දොස් පැවරුවද ඔහු කීවේ තමාගේ ජයග්‍රහණය පිළි නොගන්නා සමාජයක් හමුවේ දිනූ රන් පදක්කමේ වටිනාකමක් නොමැති බවයි. මේ සිදුවීමෙන් කාලයකට පසු නැවතත් අලීට රන් පදක්කමක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කෙරුණේ ය.

කෙසේ හෝ 1996 ඇට්ලැන්ටා ඔලිම්පික් උළෙල අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති අවස්ථාවේ දී අලී වෙනුවෙන් කළ ඉල්ලීම ඉටු විය. අලීට නැවත රන් පදක්කමක් ලබා දෙන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළේ ඒ අනුවය.

ඒ අනුව ඔලිම්පික් උළෙලේ පැසිපන්දු අවසාන තරගයට පසුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති ජුවාන් අන්තෝනියෝ සමරාන්ච් විසින් අලීට පදක්කම ප්‍රදානය කරන ලදී. එම අවස්ථාවට රන් පදක්කම දිනූ ඇමරිකානු ‘සිහින පැසිපන්දු’ කණ්ඩායමේ ක්‍රීඩකයන් එක් වූ අතර ඔවුන් සියලු දෙනාම අලීව වැලඳගෙන සුබ පැතූහ. තරගය නැරඹූ ක්‍රීඩාලෝලීන් හැඟීම් පාලනය කර ගත නොහැකිව හඬා වැටුණ හ.

මෙහි දී අලී සඳහන් කළේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගත් තීරණය ගැන තමා සතුටු වන බවයි. ‘පාකින්සන්’ නම් රෝගයට ගොදුරුව සිටි අලී තමාගේ අතක් ඔසවා සියලු දෙනාටම ප්‍රණාමය පළ කළේ සිනහ වෙමිනි. අලී සම්බන්ධ මේ පුවත දින ගණනාවක් මාධ්‍ය මඟින් පළ කළේ ලෝකය පුරා අලීට ආදරය කරන කෝටි සංඛ්‍යාත පිරිසක් සිටින නිසා ය.

ක්‍රිස්ටෝපර් රණසිංහ

 

-------------------------

ටෝකියෝ උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හැසිරවුම් කරුවෝවිදේශිකයන් පස් දෙනෙකුගේ සේවය ලබාගනී

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනාගේ දක්ෂතා උපරිමයෙන් ලබා ගැනීමේ අරමුණු ඇතිව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් එම සංචාරය සඳහා ටෝකියෝ බලා පිටත්ව යන නිලධාරී කණ්ඩායමට 17 දෙනෙකු නම්කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරන නිලධාරීන් 04 දෙනාට අමතරව ‍ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් සහ කළමනකරුවන් හා සහාය නිලධාරින් ලෙස තවත් 14 දෙනකු එම කණ්ඩායමට අයත් වෙති.

ක්‍රීඩා පරිපාලනයේ බොහෝ අත්දැකීම් සපුරා ඇති ගාමිණී ජයසිංහ මහතා මෙම කණ්ඩායමේ ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇත. ජාතික ඔලිම්පික් කමිටුවේ භාණ්ඩාගාරික ධූරය සහ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ලේකම් ධුරය හොබවා ඇති ගාමිණි ජයසිංහ මහතා මෙරට සිටි දක්ෂතම හොකී ක්‍රිඩකයෙකු හා විනිශ්චයකරුවෙකු ද වෙයි. බන්ධනාගාර කොමසාරිස්වරයෙකු ලෙස විශ්‍රාම ලබා සිටින ඒ මහතා ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සහ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වෙමින් අත්දැකීම් ලැබූවෙකි.

ගාමිණී ජයසිංහ මහතා (කණ්ඩායම් ප්‍රධානී)

විංග් කමාන්ඩර් චන්දන ලියනගේ මහතා (මාධ්‍ය සම්බන්ධිකාරක)

හිමාන් ද සිල්වා මහතා (වෛද්‍ය නිලධාරී)

හංසිකා විජයගුණසේකර මිය (පරිපාලන සේවා සම්බන්ධිකාරක)

දිනුක කරුණාරත්න මහතා (බැඩ්මින්ටන් පුහුණුකරු සහ පුහුණු සහායක)

ප්‍රදීප් එදිරිසිංහ මහතා (වෙඩි තැබීමේ කළමනාකරු)

මනෝජ් අබේසිංහ මහතා (පිහිනුම් පුහුණුකරු)

ආර්.ඒ. කපිල ජීවන්ත මහතා (ජිම්නාස්ටික් කළමනාකරු)

රංජන තරංග මහතා (ජිම්නාස්ටික් පුහුණුකරු)

සුරංජිත් ප්‍රේමදාස මහතා (තුරඟ තරග කළමනාකරු)

නිකොලායි බොරිසෝව් (අසරුවා බාර නිලධාරී)

මෑන් ෆෙඩ් වෝන් (සහායක නිලධාරී)

කැඩ්රික් ලිලියන් මාරී (පශු වෛද්‍ය)

ඒන් මුලර් (අභ්‍යාසක)

අමල් රත්නායක මහතා (ජූඩෝ පුහුණුකරු)

ක්ලෝඩියෝ ලුසියාඩෙලෝ (පිරිමි මලල ක්‍රීඩා පුහුණුකරු)

සුජිත් අබේසේකර මහතා (කාන්තා මලල ක්‍රීඩා පුහුණුකරු)

සපුමල් වීදිය බණ්ඩාර

Comments