අභියෝග අබිමුව ඔලිම්පික් | සිළුමිණ

අභියෝග අබිමුව ඔලිම්පික්

 

ගෝලීය ක්‍රීඩා රූ වරුණ පිළිබඳ සලකන කල්හි ලොව පැවැත්වෙන අසිරිමත්ම ක්‍රීඩා මංගල්‍යය ඇරැඹීමට ඇත්තේ තවත් දින කීපයකි. මෙවර ඒ වෙනුවෙන් සමස්ත ‘ක්‍රීඩා’ පුවත්පතේ ඉඩකඩ වෙන් කිරීමට අපි කටයුතු කර ඇත්තෙමු. අප එවැනි සුවිශේෂී කර්තව්‍යයකට එළැඹුණේ කරුණු කීපයක් ඉවහල් කරනිමිනි. ඉන් එක් කාරණයක් වනුයේ ඔලිම්පික් ක්‍රීඩාවේ ප්‍රෞඩත්වයයි. එවැනි ක්‍රීඩා සැණකෙළියක උත්තම රූ ගුණ වර්ණා කිරීම, රටේ ක්‍රීඩාව වෙනුවෙන්ම වෙන්වූ එකම පුවත්පත වශයෙන් අප සතු පැහැර නොහැරිය හැකි වගකීම කි.

ඊට අතිරේකව සලකන කල්හි ද ඒ සඳහා විශේෂ අතිරේකයක් පළකිරීමේ ඓතිහාසික වගකීම අප වෙත පැවරී තිබේ. ඒ මෙවර ඔලිම්පික් උළෙල මේ අයුරින් පැවැත්වෙන්නේ මානව ශිෂ්ඨාචාරයේ සුවිශේෂී කාල පරිච්ඡේදයක වන බැවිණි. ඒ සමස්ත ලෝකයම ‘කොවිඩ්’ නැමැති ගෝලීය වසංගතයකින් පීඩා විඳිමින් සිටින මොහොතකය.

එවන් තත්ත්වයක් මධ්‍යයේ ශිෂ්ඨාචාරයක් වශයෙන් අප සියලු උස් අභියෝග අභිමුව හැකිලීම වෙනුවට ඊට එරෙහිව අප්‍රතිහත ධෛර්යයෙන් සටන් වැදීමට උත්සහ ගනිමින් සිටිමු. එම කාල සමය අපට හැඳින්විය හැක්කේ මානව ශිෂ්ඨාචාරයේ උත්තුංග කාල පරිච්ඡේදයක් වශයෙනි. එකී කාල සමයේ ජීවත් වන සටන්කාමී මානව පරපුරේ ප්‍රබල සාමාජිකයන් බවට පත්වීමේ ඓතිහාසික ගෞරවණීය අවස්ථාව වර්තමානයේ ලොව වෙසෙන සියලු ජනතාවට හිමිව තිබේ. එනයින් බලන කල මෙවර ඔලිම්පික් සැණකෙළිය සංවිධානය වන්නේ මානව සමාජය වශයෙන් අප සතු නොපසුබට භාවය තහවුරු කරලීමක් වශයෙනි.

ඉතිහාසයේ දේව ප්‍රසාදයක් ලෙස ග්‍රීසියේ ඇරැඹි ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ පෙරකී ආකාරයේ ප්‍රබල සමාජ මතයක් රැගෙන යමිනි. එකී ප්‍රයත්නය වෙනුවෙන් ක්‍රීඩා තිස්තුනක් අරභයා ඉසව් තුන්සිය තිස් නවයක් සංවිධානය කිරීමට ඔලිම්පික් සංවිධායකයෝ කටයුතු කර ඇත.

මීට පෙර ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට නියමිත වූයේ 2020 වසරේ දී ය. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් එකී උත්සහය වසරක් කල් දැමිණි. දැන් ඒ කල්දැමුණු කාලය අවසන් කර ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ය. ඒ අනුව සමස්ත ලෝකයම නියෝජනය කරමින් ජපානය වෙත පැමිණීමට නියමිත ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සංඛ්‍යාව එකළොස් දහස ඉක්මවන බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කර තිබුණේ ය. එලෙස සංක්‍රමණය වන ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ගේ සංඛ්‍යාව නවයකි.

මෙවර ඔලිම්පික් ජයග්‍රාහකයින් උදෙසා රන්, රිදී හා ලෝකඩ වශයෙන් පදක්කම් දහසකට අධික සංඛ්‍යාවක් පිරිනැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු සම්පාදනය කර තිබේ. එහෙත් මෙවර තරගාවලියට සහභාගිවන සියලු ක්‍රීඩකයන්ට ඉතිහාසය විසින් විශේෂ පදක්කමක් ප්‍රදානය කිරීම වළකනු නොහැකිය. ඒ පෙරකී ආකාරයට ගෝලීය උපද්‍රව තත්ත්වයක් නිර්මාණයව තිබියදී නොපසුබට වීර්යයෙන් ක්‍රීඩාශීලිත්වය වෙනුවෙන් ජීවමාන සාක්ෂිකරුවන් වීම හේතුවෙනි.

කෙසේ නමුත් ඒ වෙනුවෙන් ලෝකයට ගෙවීමට සිදුව ඇති මිල ඉතා අධික ය. දැනට ජපන් බලධාරීන් සඳහන් කර ඇති ආකාරයට නම් අමෙරිකානු ඩොලර් බිලියන පහළොවකට අධික මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇත. එය මෙරට මුදලින් නම් රුපියල් බිලියන තුන් දහස ඉක්මවූ වැය බරකි.

මේ සා මුදල් සම්භාරයක් වැය කළයුතුව ඇත්තේ ඔලිම්පික් තරගාවලියක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත යටිතල පහසුකම් නිර්මාණය කිරීමට සහ ඒ වෙනුවෙන් සිදුකළ යුතු මෙහෙයුම් කටයුතු අරභයා ය. ඊට අතිරේක වශයෙන් වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා ගනු ලබන පූර්ව ආරක්ෂණ ක්‍රමවේද වෙනුවෙන් ය.

එසේම වසර හතරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් උළෙල සංවිධානය වෙනුවෙන් වැය කරන මුදල් ඉහළ යමින් ඇතිබව පෙනෙන්ට තිබේ. ඊට වැඩිවශයෙන් ඉවහල්වී ඇත්තේ ලෝකය තුළ පවතින සම්පත් සීමාසහිත වීම හා ඔලිම්පික් උළෙලේ නිර්මල අදහස වේගයෙන් වානිජ්‍යකරණයට නතුවෙමින් පැවතීම ය.

අද වනවිට එය කොතරම් වේගවත්ව ඇත්තේ ද යත් ශීත ඔලිම්පික්, යොවුන් ඔලිම්පික්, පැරාලිම්පික් ආදී වශයෙන් විවිධ මුහුණත් දරණ තරගාවලි සංවිධානය කිරීමට ඔලිම්පික් කමිටුව කටයුතු කිරීම පිටුපස ඇති වාණිජ්‍ය අරමුණු දැක්විය හැකිය. එයින් පැහැදිලිවනුයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පවා ගෝලීය ආර්ථිකමය විචලනයන් ඉදිරියේ දෑත් බැඳගෙන සිටීමට නොහැකිවී ඇති බවය. කොවිඩ් වැනි වසංගත තත්ත්වයක් අභිමුව විවිධ ප්‍රයත්නයන් දරමින් කෙසේ හෝ ඔලිම්පික් සංවිධානය කරන්නට ඔවුහු උත්සුක වූ තවත් කාරණයක් එයයැයි කිවිය හැකිය. එහෙත් අප සැලකිල්ලට ගත යුතු තවත් කාරණාවක් තිබේ. ඒ ආර්ථිකමය කාරණා පෙරදැරිව ඔලිම්පික් සංකල්ය වියැකී යාම වළකා ගැනීම ය. ඒ සම්බන්ධයෙන් නොපසුබට නොවන්නේනම් සිදුවනුයේ කොවිඩ් වලට වඩා එහා ගිය අර්බූදයකට මුහුණ පෑමට සිදුවීමය.

 

***********************

ශ්‍රී ලංකා ඔලිම්පික් ජයග්‍රහණ ලබන සතියේ කියවමු

 

ඉසව් අනුව තරග පැවැත්වෙන ඔලිම්පික් කාල සමය

 

තිස් දෙවැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල ත්‍රාසයට පත්ව සිටින ලෝකයාට ආදරය බෙදා දෙන මහානුභාව පණිවුඩයක්. ඒ් පණිවුඩකරුවන් ශුභාරංචි රැගෙන ලොව සතර දිග් භාගය පුරා ගුවන් තරංග ඔස්සේ නැගී ගමන් ගැනීමට නියමිතව තිබෙන්නේ 23 වැනි දා සිටයි.

මේ සුබ ආරංචි ඇසීමට මෙන්ම පියවි ඇසින් සජීවීව දැකීමට ලොව පුරා වෙසෙන සියලු දෙනාට හැකියාව උදාවී ඇති අතර ඒ වෙනුවෙන් එක් එක් ක්‍රීඩා අනුව කාලය වෙන්කර ගත යුතු ආකාරය දැක්වෙන ඔලිම්පික් කාල සටහන 'ක්‍රීඩා' මෙලෙස සංක්ෂිප්ත කර දක්වන්නේ ක්‍රීඩාලෝලී ඔබේ පහසුව සඳහාමයි.

පැසිපන්දු - ජූලි 24-28

දුනු ශිල්පය - ජූලි 23 -31

ජිම්නාස්ටික් (රිද්මයානුකූල) - ජූලි 24- අගෝස්තු 3

රිද්මයානුකූල පිහිනුම් - අගෝස්තු 2-7

මලල ක්‍රීඩා - ජූලි 30 - අගෝස්තු 8

බැඩ්මින්ටන් - ජූලි 24 - අගෝස්තු 2

බේස්බෝල් - ජූලි 21 - අගෝස්තු 7

බීච් වොලිබෝල් - ජූලි 24 - අගෝස්තු 7

බොක්සිං - ජූලි 24- අගෝස්තු 8

ඔරු පැදීම - ජූලි 25-30

කෙටි දුර ඔරු පැදීම -අගෝස්තු 2-7

පාපැදි නිදහස් ආර - ජූලි 31 - අගෝස්තු 1

පාපැදි- ජූලි 29-30

මවුන්ටන් පාපැදි - ජූලි 26-27

මාර්ග පාපැදි - ජූලි 25-26 හා ජූලි 29

ධාවන පථ පාපැදි -අගෝස්තු 2-8

කිමිදුම් - ජූලි 25 - අගෝස්තු 7

අශ්වාරෝහක (ජූලි 24 - අගෝස්තු 7)

කඩු ශිල්පය - ජූලි 24 -අගෝස්තු 1

පාපන්දු - ජූලි 21 - අගෝස්තු 7

ගොල්ෆ් - ජූලි 30 - අගෝස්තු 2 හා අගෝස්තු 5-8

හෑන්ඩ් බෝල් - ජූලි 24 - අගෝස්තු 8

හොකී - ජූලි 24- අගෝස්තු 6

ජුඩෝ- ජූලි 24-31

කරාටේ - අගෝස්තු 5-7

මැරතන් පිහිනුම් - අගෝස්තු 4-5

නූතන පංච ප්‍රයාම - අගෝස්තු 5-7

රිද්මයානුකූල ජිම්නාස්ටික් - අගෝස්තු 6-8

ඔරු පැදීම - ජූලි 23-30

රග්බි - ජූලි 26-31

රුවල් ඔරු - ජූලි 26- අගෝස්තු 4

වෙඩි තැබීම - ජූලි 24 - අගෝස්තු 2

පුවරුව මත ලිස්සා යාම (Skateboarding) -

ජූලි 25-26 හා අගෝස්තු 4-5

ස්පෝර්ට් ක්ලයිම්බින් - අගෝස්තු 3-6

දිය මත ලිස්සා යාම - ජූලි 25-අගෝස්තු 1

පිහිනුම් -ජූලි 24 - අගෝස්තු 1

මේස පන්දු - ජූලි 24 - අගෝස්තු 6

ටයිකොන්ඩෝ - ජූලි 24-27

ටෙනිස් - ජූලි 24- අගෝස්තු 1

ජිම්නාස්ටික් (Trampoline ) - ජූලි 30-31

තුන් ප්‍රයාම - ජූලි 26-27- ජූලි 31

වොලිබෝල් - ජූලි 24 - අගෝස්තු 8

වෝටර් පොලෝ - ජූලි 24 - අගෝස්තු 8

බර ඉසිලීම - ජූලි 24-28, ජූලි 31 - අගෝස්තු 4

මල්ලව පොර - අගෝස්තු 1-7

 

************************************

 

තිස් දෙවැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නව ක්‍රීඩා

 

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් කර ඇති නව ක්‍රීඩා පහකි. සත්කාරක රාජ්‍යයේ අභිමතය පරිදි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙම නව ක්‍රීඩා සඳහා අවසර ලබාදී ඇත.

ඒ අනුව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් බේස් බෝල්, කරාටේ, රළ මත ලිස්සා යාම, Skateboarding හා Sport climbing යන ක්‍රීඩා එක්කර තිබේ.

***************************

 

අධිරාජ්‍ය විවෘත කරයි!

 

තිස් දෙවැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ජපානයේ අධිරාජ්‍යයා වන නරෝහිතෝ රජු විසින් විවෘත කරනු ඇතැයි දැනට එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේය. යම් හෙයකින් එය වෙනසකට ලක්වන්නේ නම් එසේ වන්නේ පවතින කොවිඩ් අර්බූදය හේතුවෙන් බව ජපාන සංවිධායකයන් පවසා තිබේ.

ජපානයේ ජාතික ක්‍රීඩාංගණයේ දී සමාරම්භක උළෙල පැවැත්වීමට නියමිත අතර මෙවර තරගාවලිය පැවැත්වීමෙන් අනතුරුව 2024 ඔලිම්පික් සත්කාරකත්වය සඳහා සූදානමින් සිටිනුයේ ප්‍රංශයේ පැරිස් අගනුවරයි.

Comments