සමාජ මාධ්‍යයේ හොඳම නියාමනය ස්වයං නියාමනයයි | Page 2 | සිළුමිණ

සමාජ මාධ්‍යයේ හොඳම නියාමනය ස්වයං නියාමනයයි

ලෝකය සමාජ මාධ්‍ය හඳුනා ගත් මුල්කාලීනව එහි හැසිරීමේ ප්‍රවණතාව යහපත් විය. එකල සමාජ මාධ්‍ය හඬක් නැති ජනතාවට එනම්, ප්‍රධාන සම්ප්‍රදායික ජනමාධ්‍යවලට හසුනොවන යම් ජනකොටසකට මේ මාධ්‍ය තුළ යම් තෝතැන්නක් ගොඩ නැඟුණි. ඔවුහු අදහස් නිදහසේ ප්‍රකාශ කිරීම උදෙසා යම් වේදිකාවක් මේ මත ගොඩනඟා ගත්හ.. ඒ අර්ථයෙන් බැලූවිට ප්‍රකාශනයේ නිදහසට සමාජ මාධ්‍ය යන සන්දර්භය තුළ යම් ඉඩ අවකාශයක්, වේදිකාවක් හිමි විය. ඒ අනුව ඉතා ධනාත්මක ප්‍රවණතාවක් මුල්කාලීනව දක්නට ලැබුණු බව කිවහැකිය.

හඩක් නැති පිරිසකගේ මතවාද අදහස් ගොඩනැඟීම තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ නව දිශානතියක් එහි නිර්මාණය විය. එහි කූටප්‍රාත්තිය ටියුනීසියාවෙන් ආරම්භ වී සිරියාව දක්වා ගමන් කරන ලදී. ‘අරාබි වසන්තය යන දේශපාලන රැල්ල ඒ හරහා ඇතිවිය. පලතුරු වෙළෙන්දකු ගිනිතබා ගැනීමේ සිදුවීමත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවණතාවකින් යුතු රැල්ලක ජනගත වීමක් සිදුවූයේ ද ඒ වටා මිනිසුන් ඒකරාශී කරන ලද්දේ ද සමාජ ජාල මාධ්‍ය හරහාය.

මෙහිදී සහශ්‍රයේ බිහිවූ තරුණ පරපුර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල මැදිහත් වීමක් කළහ. මොවුන් එහි පාර්ශ්වකරුවන් නොව මැදිහත්කරුවන් බවට පත්විය. ප්‍රජාතන්ත්‍රවාදයේ මේ නව මෙවලම ඔවුන්ගේ අතට ගනු ලැබිණි. මතවාද මුදාහරිමින් සමාජ අසාධාරණයන්ට එරෙහිව ඒකරාශි කිරීමට සමාජ මාධ්‍ය මෙවලමක් බවට පත්විය. එහිදී එම පිරිස මතවාදීව එකතු වුවද නිවැරදි පරිණත දේශපාලනික නායකත්වයක් හෝ නිසි මඟ පෙන්වීමක් ඔවුන්ට නොතිබුණි; මෙයින් ඔවුන්ගේ අදහස් පමණක් ඉදිරිපත් විය.

මතවාදී අරගලවලට පමණක් සීමාවී නිවැරදි දේශපාලන දැක්මක් නොමැතිව මේ අය සමාජ මාධ්‍ය හසුරුවන්නන් බවට පත්විය. ඒ නිසාම මේ අයගේ ප්‍රකාශ අයාලේ යෑමක් සිදුවිය. අරාබි වසන්තය උදාවූ සියලු රටවල අපි දකින්නේ බොහෝ අවුල් වියවුල්ය.

ඉදිරි දැක්මක් සහිත දේශපාලනික ප්‍රවාහයක් බවට අරාබි වසන්තය යොමු නොවුණි. ඒ නිසාම ඒ අරාබි වසන්තය තුළ දේශපාලනික මතවාද මතුවීමත් සමඟ අන්තර්ජාතික වශයෙන් විශාල වූ බළල් අත් ක්‍රියාත්මක විය. මේ සන්දර්භයෙහි මූලිකත්වය සහ නියමුවා වන්නේ ද සමාජ මාධ්‍යයයි.

බළල් අත් සහ නිවැරදි දේශපාලන නායකත්වයක් නැතිවීම යන කරුණු නිසාම සමාජ මාධ්‍ය මූලිකත්වයෙන් ඇරැඹි අරාබි වසන්තය අතරමඟ සිර විය. සිරියාව කෑලිවලට කැඩී ගිය අසරණ රටක් බවට පත්විය. මෙය සමාජ මාධ්‍ය යේ විශාල හැරවුම් ලක්ෂ්‍යය විය. අරාබි වසන්තයත් සමඟ දේශපාලනික විශ්ලේෂකයන් සඳහන් කරන ලද්දේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ නව මුහුණුවරක් ලබා දුන් බවයි. එයට හේතුව වන්නේ හඬක් නැති පිරිසට හඬක් නැඟීමට ලැබුණ අවකාශයයි. ප්‍රකාශනයේ නිදහස සියල්ලට ලැබීමෙන් සිදුවූ තවත් සිදුවීමක් නම් හැම කෙනෙක්ම සමාජයට අන්තර්ගතය, තොරතුරු සහ මතවාද සපයන්නන් බවට පත්වීමයි. ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම්, ට්විට‍ර්, වට්ස්ඇප් ඇතුළු සියලු සමාජ ජාල මාධ්‍ය අඩවිවල හැසිරෙන්නන් සියලු දෙනා සමාජයට තොරතුරු සපයන්නන් බවට පත්විය. නොදන්නා සමාජ කණ්ඩායම්, ආයතනවල ආණ්ඩුකරණයේ, ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන ආයතනවල අඩුපාඩු පෙන්වන්නන් වැරදි හුවා දක්වන්නන් පිරිසක් බිහිවිය. හොඳ සහ නරක දෙකම සන්නිවේදනය කිරීම ආරම්භ විය.

සාමාන්‍ය සන්නිවේදනය යන සන්දර්භය තුළ පුද්ගලයන් රාශියකට එනම් සමාජයකට සන්නිවේදනය කෙරෙයි. යම් රාමුවක් තුළ සාරධර්මයන්ට අනුකූලව කටයුතු සිදු කෙරෙයි. නමුත් මේ සමාජ මාධ්‍ය තුළ තොරුතුරු සපයන්නන් තුළ මාධ්‍ය ආයතනයක යම් ශික්ෂණයක් ඇතිව ගොඩනැඟුණ මාධ්‍යවේදියකුට ඇති සාර්ධර්ම මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව කිසිදු දැනුමක් මේ තොරතුරු සපයන්නන් තුළ නොවෙයි. අපේ අධ්‍යාපන රටාවේ සන්නිවේදනය යන කරුණ පිළිබඳව විශාල වශයෙන් ඉගැන්වීමක් සිදු නොවේ. මාධ්‍ය සාක්ෂරතාව අධ්‍යපනය තුළ බොහෝසෙයින් අඩු වෙයි. තුන් වැනි ලෝකයේ රටවල, දියුණු වෙමින් පවතින රටවල සන්නිවේදනය යම් ශික්ෂණයක්, විනයක් ඇතිව ආචාරධාර්මිකව කිරීමට අධ්‍යයනයක් නැත. මේ සමාජ මාධ්‍ය තුළ තමා ලියන දේ දහස් ගණනක් කියවා ගන්නා බවට එහිදී අත්වන අතුරුඵල විපාක පිළිබඳව තොරතුරු සන්නිවේදනය කරන්නන් තුළ ගැඹුරු අවබෝධයක් නැත.

එහෙත් සාමාන්‍ය සාම්ප්‍රදායික මාධ්‍යකරණයේදී කර්තෘ මණ්ඩලයක් තුළ යම් සංස්කරණයන්ට සහ සංශෝධනයන් ලක් කරමින් යම් ක්‍රියාදායක් ඇතිව සාරධර්මිකව එය සිදුවෙයි. ඒ නිසා මාධ්‍යවේදියා යන වචනය මේ සමාජ මාධ්‍යවල ලියන්නන්ට භාවිත කළ නොහැකි වෙයි. මාධ්‍යවේදය පස් හයදෙනෙකුගෙන් යුතු පිරිසකගේ ක්‍රියාදාමයක් වෙයි. එසේ සිදුවන්නේ එක් අයකුගෙන් වන වරද තව කෙනෙක් අතින් නිවැරදි වීමට ඇති ඉඩ අවකාශය නිසාවෙනි. ඒ ආචාර ධර්මවලට අනුකූලව සංස්කාරකවරුන් කිහිපදෙනකු අතට පත්වීමෙන් මාධ්‍යවේදය යන ක්‍රියාදාමය සිදුවෙයි. එක් පුද්ගලයකුට මාධ්‍ය‍ෙව්දියකු විය නොහැකි බව මගේ අදහසයි. මේ ක්‍රියාදාමය මේ සමාජ මාධ්‍ය තුළ නොමැත. පුරවැසි මාධ්‍යකරණය යන කරුණ පිළිබඳව ප්‍රශ්න කළ යුතු කරුණකි. මාධ්‍යකරණය යනු පිරිසකගේ ක්‍රියාදාමයකි; වෑයකමකි. සමාජ මාධ්‍යවල ලියන්නන්ට මේ දැනුම හික්මීම සංස්කරණය සංයමය ඇතිද යන ගැටලුව මෙහිදී පැන නඟී. සමාජයක් ලෙස ගරුකළ යුතු සහ ගරු කරන ආචාර ධර්ම පද්ධතීන් වෙයි. විවිධ ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරයි. මේවා මාධ්‍ය ආචාරධාර්මීය කාරණාවන්ය. සමාජයක වටිනාකම් සාරගර්භ හර පද්ධතීන් සමාජ මාධ්‍ය භාවිතය තුළ ඇතිද යන්න ගැටලුවකි. මේ සමාජ මාධ්‍ය භාවිතය අද වෙළෙඳ භාණ්ඩයක් වී ඇත. ෆෙස්බුක් වට්ස්ඇප් ඇමරිකානු සමාගමක් යටතේ වෙයි. අප යොදන සියලුම වාර්තාවලට යම් මුදලක් මේ ඇමරිකානු සමාගමට හිමි වෙයි. අද ලෝකයේ වැඩිම ආදයම් උපයන්නන් අතර ‍ෆේස්බුක් සමාගම වෙයි. පසුගිය වසර කිහිපයක් පුරා සමාජ මාධ්‍ය යන කාරණාව මිනිසුන්ගේ චර්යා රටා වෙනස් කරන ස්ථානයකට පත්වී ඇත. මැතිවරණ අවස්ථාවලදී මිනිසුන්ගේ ආකල්ප, විශ්වාස වෙනස් කළ හැකි තැනකට බලපෑම් කරන ලදී. 2015 ඇමරිකානු ඡන්දයේදී නැගෙනහිර යුරෝපියානු හැකර්වරුන් විසින් සුක්ෂමව ඇමරිකානු ජන්දදායකයන් ආක්‍රමණය කර ඒ අයගේ ෆේස් බුක් ගිණුම්වලට කඩා පැන යම් මැතිවරණ ක්‍රියාදාම සිදු කරන ලදී. අප රටේ මැතිවරණ සමයන්හිදී දේශපාලනික චරිත විසින් ඒ අයගේ අවශ්‍යතාවලට මුදල් වියදම් කරමින් ව්‍යාජ ගිණුම් සකස් කර මෙය සිදු කරයි. අවසන් මැතිවරණ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරිමේදී ප්‍රධාන මාධ්‍යයට වඩා වැඩිම අවධානයක් පැවැතියේ සමාජ මාධ්‍ය පිළිබඳවයි. මැතිවරණ කාලයේදී මාධ්‍ය කර්මාන්තය හොඳ ආදායමක් ලබයි. නමුත් ඇති ප්‍රවණතාව අනුව පුවත්පතකට වඩා ෆේස්බුක් මාධ්‍ය හරහා ප්‍රචාරය වන දැන්වීමක් සඳහා විශාල ප්‍රතිචාරණයක් වෙයි. මෙය මාධ්‍ය කර්මාන්තයේ ආර්ථිකයට ද මිනිසුන්ගේ ආකල්පවලට ද ඍජු බලපෑමක් සිදු කරයි. ආසියානු බොහෝ රටවල්වල මෙය රැල්ලක් ලෙස ගලා යයි.

අනෙක් කාරණාව වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමයි. දැනුම්වත්වීමකින්ම වැරදි තොරතුරු නිර්මාණය, සත්‍ය තොරතුරක් තවදුරටත් වැඩි දියුණු කර ප්‍රචාරය කිරීම, මේ සියල්ල වැරදි තොරතුරු සමාජගත කිරීමකි. මෙහි ගැටලුව වැරදි තොරතුරු ව්‍යාපාරයක් ලෙසට පත්වීමයි. ඒවායේ ව්‍යාප්තිය ඉතා වේගවත් වෙයි. ඇතැම් රටවල දුස් තොරතුරු ප්‍රචාරය කිරිමේ ඩිජිටල් හමුදා ඇත. මේ අයගේ කාර්යය වන්නේම දුස්තොරතුරු ප්‍රතිචාරණ සෑදිමයි. මෙමගින් දේශපාලන අවශ්‍යතාවන්ට සමාජයේ ගැටුම් ඇති කිරීම සිදු කරයි. මෙය අහිතකර ප්‍රතිඵලයකි. සුළු සිදුවීමකින් ද සමාජයේ සාමය කඩ කිරීමට වෛරය පැතිරීමට මේ සමාජ මාධ්‍ය පාවිච්චි වෙයි.

මෙහිදී රටේ සාමයට පවා බලපෑම් ඇති කළ හැකිය. ෆෙස්බුක් පමණක් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා සංඛ්‍යාවක් එනම් බිලියන 2.6 වැඩියෙන්ම භාවිත කරයි. එහිදි තුන්දෙනෙකුගෙන් එක් අයකුට ගිණුමක් ඇත. ව්‍යාජ ගිණුම් වැඩිවන්නේ මැතිවරණ සමයේදිය. ගිණුම් ප්‍රමාණය වැඩි වන අතර ඒ හරහා මඩගැසීම් අපහාස, උපහාස, වැරදි ප්‍රචාර කිරීම සිදුවෙයි. එමෙන්ම නව ප්‍රවණතාව වන්නේ වට්ස් ඇප් කණ්ඩායම්ය. ෆේස් බුක්හි යම් වැරදි හැසිරිමකදී යම් ප්‍රමාණයක සමවේක්ෂණය (Monitor) කිරීමක්, නියමු අධික්ෂණයක් කිරීම කළ හැකි වුවත් පහසු කාරියක් නොවෙයි. සෑහීමකට පත් විය හැකි සමවේක්ෂණ ක්‍රම සැකසී ඇතත් මේ වට්ස් ඇප් කණ්ඩායම් සමවේක්ෂණය කිරීම අසීරු කාරියකි. මෙහිදී ලොකු වෙහෙසක් දැරීමට විමර්ශන කණ්ඩාම්වලට සිදු වෙයි. ඒ හෙයින් මේ වට්ස් ඇප් කණ්ඩායම් විශාල සමාජ මාධ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත.

සමහරුන් විශ්වාස කළ කරුණක් නම් වට්ස් ඇප් සමවේක්ෂණය කිරීම්, නියමු අධීක්ෂණය කළ නොහැකි බවයි. නමුත් එය මිත්‍යාවකි. මුලින්ම වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය නියමු අධීක්ෂණය ටැප් කිරිම කළ හැකි වූයේ ඊශ්‍රාලයෙනි. අද වනවිට රටවල් බොහොමයක මේ තාක්ෂණය ඇත. සමවේක්ෂණය කළ හැකි ක්‍රමවේද සොයාගැනීමේදී ඒවන විට තවත් සමාජ මාධ්‍යයන් නියමු අධීක්ෂණය කළ නොහැකි මාධ්‍යයක් තාක්ෂණික දියුණුවත් සමඟ එකතු වෙයි. ඒ නිසාම මේ සමාජ මාධ්‍ය නියාමනය යන වචනයේම යම් ගැටලුවක් වෙයි. මා ඉහතින් සඳහන් කරන ලද සමාජ මාධ්‍ය යම් සමවේක්ෂණය කිරිමක් කළ හැකියි.

නියාමනයක් කිරීම සඳහා සමවේක්ෂණයක් නියමු අධික්ෂණයක් විය යුතුයි. වට්ස් ඇප් කණ්ඩායම් සඳහා කෙසේ නීති රීති සම්පාදනය කරනු ලබන්නේද යන්න ගැටලුවකි. එය සමවේක්ෂණය කිරීම ගැටලුවකි. අතිශයින්ම රහසිගත සුරක්ෂිත සන්නිවේදන ක්‍රම කෙසේ සමවේෂණය, අධික්ෂණය කරන්නේද යන්න ගැටලුවකි.

මේ සමාජ මාධ්‍ය නියාමනයේදි යා හැකි දුරක් වෙයි. ලෝකයේ සාර්ථක සමාජ මාධ්‍ය නියාමන මාධ්‍යයක් තව ම සකසා නැත. එසේ කිරීම අසිරුය. සමස්ත සමාජ මාධ්‍ය ජාලයම නියමු අධික්ෂණයක් කිරීමට තාක්ෂණයක් නොමැති අතර නීතියට කොටු කරගැනීමට අසිරුයි. ලංකාවේ පමණක් නොව ලෝකයේ ම මෙය අර්බුදයක්ව පවතී. ඇතැම් රටවල යම් ප්‍රමාණයන්ට විසඳුම් සොයමින් ඇති අතර, ඒ විසඳුම් කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී ද යන්න ගැටලුවකි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික හරයන්ට විරුද්ධව නීති සැකසිය නොහැකිය. ඇතැම් රටවල් ගෙන එන ලද නීති ප්‍රජාතන්ත්‍රවාදයේ හර පද්ධතින්ට අයත් නොවෙයි. ෆේස් බුක් වැනි සමාගම් ද මුහුණ දෙන ගැටලුව ප්‍රකාශනයේ නිදහස මුලික ප්‍රජාතන්ත්‍රික ලක්ෂණ රැක ගනිමින් දුස්තොරතුරු සහ අපහාස වෛරි ප්‍රකාශයන් පිළිබඳ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නයි. යූටියුබ්, ෆේස් බුක් වැනි සමාගම් පාවිචිචි කරන ප්‍රජාවට යම් සාරධර්ම පද්ධතියක් සකස් කර ඇත. ඒවා අතික්‍රමණය කරමින් යම් කරුණක් බෙදා හැරියහොත් යම් ක්‍රියාමාර්ග ගනු ලබයි. එය සියයට සියයක් සාර්ථක නොවෙයි. මවු භාෂාවන්ගෙන් යම් රටවල්වලින් බෙදා හරින යම් තොරතුරු නියාමනය කළ නොහැකියි. විවිධ රටවල සංස්කෘතිකමය කියැවීම්, ඉංග්‍රීසි පරිවර්තනයකින් සංසන්දනය කළ නොහැකි වීම ලොකු ගැටලුවකි. ලෝකයේ භාෂා විශාල සංඛ්‍යාවකින් මේ වාර්තා මුදා හැරිම් සිදු වෙයි.

විශාල භාෂාමය, ජාතින්මය, ඇදහිලිමය, ආගමිකමය, සංස්කෘතිකමය, කුලමය සමාජ කණ්ඩායම් කොතරම් සිටිනවාද? ඒ අය සඳහා එක් නියාමනයක් ගෙන ආ හැකිද යන්න ගැටලුවකි. එසේ නම් හොඳම නියාමන ක්‍රමය කුමක්ද? සයිබර් අවකාශය නියාමනය සිදු කළ යුතු වන්නේ බුදුන් වහන්සේ ගේ මෙන්ම සියලුම ආගමික නායකයන්ගේ දර්ශනයට අනුවය.

සමාජ මාධ්‍ය නියාමනය ස්වයංව ඇති කරගත හැකිය. ඒ කෙසේද? වැරදි සහ නිවැරදි තොරතුරු යන කරුණු සියල්ල ආගමින් අපිට ලබා දුන් හික්මීමෙන් වෙන් කරගත හැකිය. විශේෂයෙන් අනෙකාට හිංසා පීඩා නොවන ආකාරයට හැසිරීම ඕනෑම ආගමික ශාස්තෘවරයෙකු විසින් දේශනා කරන ලද්දකි. වත්මන් සන්දර්භයේ එනම් මේ සමාජ ප්‍රපංචයට අපි පැහැදිලි කළයුතු වන්නේ වැරදි සහ නිවැරදි තොරතුරු බෙදා හැරිම නවතාලීමට නම් තාක්ෂණයට වඩා මිනිසුන් දැනුම්වත් කිරිම ඉතා වැදගත් බවයි. වැරදි තොරතුරු හඳුනා ගැනීම එහිදී වැදගත් වෙයි. කොතරම් නීති තිබුණද ඒ නීතියෙන් පමණක් යමෙක් සංවර කිරීම අපහසු වෙයි.

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේදී පුද්ගලයා ස්වයංව පාලනය වන ක්‍රමවේදයක් ඇති කිරීමට නම් භාවිත කිරීමේ ක්‍රමවේද පිළිබඳව දැනුම්වත් කළ යුතුය. මෙය නිසි ලෙස පාවිච්චි කරන්නේ කෙසේද මෙයින් නියාමනය වෙන්නේ කෙසේද පැහැදිලි කළ යුතුයි. වැරදි තොරතුරු අපහාසත්මක තොරතුරු ප්‍රචාරය වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුම් වත් විය යුතුයි. මුසාවාදය පිසුණා වාචය පරුෂාවාචය සහ සම්ප්‍රප්ප්‍රලාපය යන හතර පිළිවෙත් ලෙස ගෙන රටක සමාජයක සන්දර්භ ගත වේ නම් එයයි හොඳම නියාමනය.

අලුතින් එන තාක්ෂණික මෙවලම් සියල්ලටම නියාමනය වීමට එක් ක්‍රමවේදයක් අනුගමනය කරන්නට අපහසු වෙයි. ඒ නිසා හොඳම නියාමනය පුද්ගල නියාමනය වන අතර එහිදී පුද්ගලයා දැනුම්වත් කිරිම ශක්තිමක් කිරිමට නම් හොඳ ආගමික හික්මීමක් ඇති කරගත යුතුය. මේ මුලික හරයන් හුරු කරමින් මිනිසා ශක්තිමත් වන්නේ නම් නීති සහ තාක්ෂණික මෙවලම් පිළිබඳව දැඩි විශ්වාසය තබාගෙන ඒ පසුපසම යා හැකි දුර සීමිත වන ඔවුහු තේරුම් ගනිති. ඒ අනුව ආගමික හික්මවීමෙන් ලබන ශික්ෂණය ඉතා වැදගත් වෙයි.

Comments