හිතේ ලෙඩ හොඳ කරන පළිඟු | සිළුමිණ

හිතේ ලෙඩ හොඳ කරන පළිඟු

 

 

 

අප ජීවත්වෙමින් සිටින්නේ බෙහෙවින්ම තරගකාරී ලෝකයකය. මේ තරගය තුළ උපදින අනවරත ගැටුම්කාරී සමාජ පරිසරයක දී මිනිස්සු මානසික ආතතියට ලක් වෙති. නීරෝගි මානසික සෞඛ්‍යයක පැවැත්ම ඵලදායී සමාජ ක්‍රියාවලියකට අත්‍යවශ්‍ය වේ. මෙවැනි අවස්ථාවල සිදුකරන විද්‍යාත්මක වෛද්‍ය ප්‍රතිකර්ම මෙන්ම අවබෝධයෙන් ලත් දැනුම් පරාස තුළ මිනිස්සු ඵලදායී ප්‍රතිඵල ලබති. මානසික ආතති තත්ත්ව සමනය කරගැනීම සඳහා පළිඟු පැලඳීම ද එවැනි අත්දුටු සම්ප්‍රදායකි.

 

පළිඟුවල ගුප්ත සුව කිරීමේ බලයක් ඇතැයි විශ්වාස කෙරේ. මෙම පළිඟුවල කම්පන සංඛ්‍යාත හා මිනිස් සිරුරේ කම්පන සංඛ්‍යාත අතර සම්බන්ධය ශාරීරික, චිත්තවේගීය හා අධ්‍යාත්මික සුවපත් වීමක් කෙරෙහි පුද්ගලයන් යොමු කරවන බව ප්‍රකාශිතය.

ශරීර පෘෂ්ඨයේ විද්‍යුත් චුම්භකත්වය නිසා උපදින සංඛ්‍යාත කළමනාකරණය කිරීමේ හැකියාවක් පළිඟු සතුව ඇතැයි පිළිගැනේ. ඉන් යහපත් ජීවත පැවැත්මක් සඳහා පුද්ගලයන් යොමු කරන බව කියැවේ.

මෙම ලිපි මාලාවේ පසුගිය ලිපි කිහිපයෙන්ම සංවාදයට බඳුන් කරනු ලැබුවේ ආභරණයක් ලෙස පැලඳුවත් පළිඟු භාවිතය අවබෝධයෙන් කළ යුතු බවය. මෙවර ලිපියෙන් සාකච්ඡා කරන්නේ මානසික අවපීඩනය සහ ආතතිය සුව කිරීමේ විශේෂ ගුණයක් සහ හැකියාවක් ඇතැයි සැලකෙන පළිඟු වර්ග ගණනාවක් අතරින් කිහිපයක් පිළිබඳය.

 

සෘණාත්මක සිතිවිලි දුරු කළ හැකි Carnelian (කර්නලියන්)

තැඹිලි - රතු පැහැයෙන් යුත් මෙම පළිඟු වර්ගය ඔබේ ජීව ශක්තිය හා උනන්දුව යථා තත්ත්වයකට පත් කරන්නේ සෘණාත්මක සිතිවිලි දුරු කර ධනාත්මක ජීවිත රටාවකට උත්තේජනයක් ඇති කරමිනි. එහිදි මානසික අවපීඩනය, මානසික උදාසීනත්වය දුරු කරයි. දීර්ඝකාලීන කාලීන මානසික අවපීඩනයකදී හා ඕනෑම සෘණාත්මක මානසික තත්ත්ව පාලනය කිරීම සඳහා ප්‍රයෝජනවත් කර්නලියන් Carnelian ධනාත්මක උත්තේජනයක් ඇති කරන පාෂාණයකි.

මෙම පළිඟු වර්ගය භාවිතයේ දී ඔබගේ ඕරාව තුළ මෙම පළිඟු වර්ගය තිබීම වැදගත්වන බැවින්, ආභරණයක් ලෙස භාවිත කිරීම වඩාත් සුදුසු ය. විවිධ හැඩයෙන් නිම වන ලද විවිධ ප්‍රමාණයේ Carnelian පාෂාණ කැබලි ඔබගේ නිවෙසේ හෝ කාර්යාලයේ මේසය මත ද තබා ගත හැකිය.

 

දිවි තොරකර ගැනීමේ සිතිවිලි නසන Smoky Quartz (ස්මොකි ක්වාර්ට්ස්)

පළිඟු අතර වඩාත් බලගතු පිරිසුදු කිරීමේ හා සිත එකඟ කිරීමේ හැකියාවක් ඇති පළිඟුවක් මෙම පළිඟු වර්ගය හැඳින්වේ. භය, උදාසීනත්වය, කාංසාව සමනය කරමින් මිනිසාගේ ශක්තිය ඉහළ මට්ටමක තබා ගැනීමට Smoky Quartzඋපකාරී වේ. මානසික අවපීඩනය හෝ නැවත නැවත සියදිවි නසා ගැනීමේ සිතිවිලි ඇති පුද්ගලයකුට එම තත්ත්වයෙන් මිදීම සඳහා මෙම පළිඟුවෙන් විශේෂ උපකාරයක් ලැබෙන බව පළිඟු ශක්තීන් පිළිබඳ පර්යේෂණවල නියැළෙන පර්යේෂකයන්ගේ අදහසයි.

මෙම බලගතු පළිඟු විශේෂය energy healers, එනම් විශ්ව ශක්තියෙන් හා සොබාදහමේ ඇති අ‍ෙනකුත් ශක්තී භාවිතයෙන් සුවපත් කිරීමේ හැකියාව ඇති පුද්ගලයන්, සුවපත් කිරීම් කටයුතුවලට භාවිත කරන අතර, භාවනා කිරීමේදී සිත එකලස් කිරීමට උපයෝගී වන මෙවලමක් ලෙස ද භාවිතයට ගැනේ.

ආරක්ෂිත පලිහක් ලෙස ක්‍රියා කිරීම සඳහා එය ආභරණ ලෙස ද පැලඳිය හැකිය. නැති නම් සාක්කුවක හෝ පසුම්බියක රැගෙන යා හැකිය.

 

මානසික ආතතිය අවම කරන Lepidolite (ලෙපිඩොලයිට්)

 

මානසික පීඩනය සඳහා භාවිත කළ හැකි හොඳම උපකාරයක් ලෙස සැලකේ. Lepidolite පළිඟු භාවිතයෙන් සෘණාත්මක සිතිවිලි විසුරුවා හැරිමට ද අධික ලෙස කනස්සල්ලට පත්වන විට මානසික මට්ටම සමබර කරගැනීමට ද

හැකි යැයි සැලකෙන අතර ආත්ම විශ්වාසය හා ස්වයං රැකවරණය අවදි කිරීමටද ලෙපිඩොලයිට් විශාල ආධාරකයක් බව පැවසේ.

මෙම පාෂාණ වර්ගය ද භාවනා කිරීමේ දී යොදා ගත හැකිය. එහි සුවදායි ශක්තියෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ලෙපිඩොලයිට් ආභරණ පැලඳීම සහ ඔබේ නිදන කාමරයේ තැබීමද සුදුසු යැයි පැවසේ.

සාංකාවෙන් මිදීමට Jasper(ජැස්පර්)

‘උත්තරීතර පෝෂකය‘ලෙස පළිඟු පර්යේෂකයන් අතර විරුදාවලිය ලත් ජැස්පර් පුද්ගල ජීවිතයේ මුහුණු දීමට සිදු වන විවිධ දුෂ්කර කාලවලදී ආත්ම විශ්වාසයෙන් එම අභියෝගවලින් ඉදිරියට යෑමට උත්තේජනයක් ලබා දෙන බවට සැලකෙන පළිඟු විශේෂයකි. විවිධ වර්ණවලින් යුතු ජැස්පර් නමැති මෙම මෘදු පාෂාණය එවැනි දුෂ්කාර කාලවලදී උත්තේජනයක් ඇති කරනවා යැයි පවසන්නේ ධෛර්යය හා ආත්ම විශ්වාසය ප්‍රවර්ධනය කිරීමටය.

මානසික පීඩනයක් ඇති අයට යළි එළැඹි සිහියේ පිහිටු වීමට,ඕනෑම දෙයක් යථාර්ථවාදීව දකිමින් එය අගය කිරීමට හා භුක්ති විඳීමට උපකාර වන බව පැවසේ.

භූගත ශක්තීන්ගෙන් ප්‍රයෝජන ගැනීමට ජැස්පර් පළිඟුව ආභරණයක් ලෙස පැලඳිය හැකි අතර භාවනා කිරීමට සහ එළඹි සිහියේ පිහිටා විවේකිව ගත කිරීමට ජැස්පර් පාම් පළිඟු භාවිත සුදුසු බව පළිඟු විශ්ලේෂකයන් ගේ අදහසයි.

 

(ලබන සතියට අාධ්‍යාත්මික

සුවපත් කරන තවත් පළිඟු වර්ග)

Comments