සුන්දර ඇල්ලේ ත්‍රාසයත් මිහිරක්... | සිළුමිණ

සුන්දර ඇල්ලේ ත්‍රාසයත් මිහිරක්...

 

 

මාර්තු මාසයේ තුන්වන සතියේ ලැබුණු පුංචි නිවාඩුවට නුවර ගිය මට එක හැන්දෑවක හිතුණා ඇල්ල පැත්තේ ‍යන්න ඕනේ කියලා. රෑ අටට කොළඹින් බදුල්ල බලා පිටත් වෙන රාත්‍රී තැපැල් දුම්රිය පේරාදෙණියට එද්දී රෑ 11 පහුවෙනවා. ඉස්සර නම් රාත්‍රී තැපැල් දුම්රියට පේරාදෙණියෙන් නැග්ගොත් අතුරු සිදුරු නැතුව සෙනඟ. ඉඳගන්න ඉඩක් ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. පාපුවරුවේ යන්න වුණු අවස්ථාත් තිබුණා.

 

ඒත් අද කෝ ඒ සෙනඟ. බැලූ බැලූ තැන හිතේ හැටියට ඉඳගන්න ආසන ඉතුරුයි. ජනේලයක් අයිනේ අසුනක අසුන් ගත්තු මා සීත කබායත් ඇඳගෙන, රාත්‍රී තැපැල් දුම්රියේ ගමන්බිමන්වල සොඳුරු මතක ආයෙත් හිතින් ආවර්ජනය කරමින් නින්දට වැටුණා. පාන්දර වෙද්දී සීතල එන්න එන්න වැඩිවෙනවා. ඉතින් උණුම උණු කිරිකෝපි කෝප්පයක් නොබී කොහොමද? දුම්රියේ කිරි කෝපි විකුණන වෙළෙන්දෙක්ගෙන් දුම් දමන උණු කිරි කෝපි එකක් ගත්තේ ඒ සීතල මොහොතකට මකා ගන්න.

කෝච්චිය අද ටිකක් පරක්කුයි. උදේ 8 පහු වුණා ඇල්ලෙන් බහිද්දී. ඇල්ල ස්ටේෂමෙන් බැහැලා මූණ සෝදලා ඇඳුම් මාරුකරගෙන පයින්ම ඇල්ල නගර මධ්‍යයට ළඟා වුණා. පුංචි පොද වැස්සත් එක්ක ආපූ, උදෑසන සීතලට සෑහෙන ලොකු බඩගින්නක් තිබ්බා. ඈත කඳු දිහා බලාගෙනම උණුසුම්ව උදෑසන ආහාරවේල රස විඳින්නත් හැකි වුණා. වැස්ස පායලා කඳු අතරේ සුදු මීදුම් වලා එහෙ මෙහේ වුණාට පස්සේ මං ගියේ ලංකාවේ ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල නියැළෙන්න කැමති අය වෙනුවෙන් ඉදිවෙලා තියෙන අපූරු තැනකට.

යුරෝපා සම්මතවලට අනුකූලව සකස් කරන ලද ලංකාවේ තියෙන Adventure Park එක තමයි ඒ. ඇල්ල පස්සර පාරේ පුංචි සිරිපාදේට යද්දී තමයි ‘FLYING RAVANA‘නම් වූ ත්‍රාසජනක ක්‍රියාකාරකම්වල යෙදෙන අපූරු උද්‍යානය පිහිටා තිබෙන්නේ. සුන්දර පරිසරයක තිබෙන මේ උද්‍යානයේ දී අපට ත්‍රාසජනක ක්‍රියාකාරකම් කිහිපයකම නියැළෙන්න පුළුවන්.

Mega Zip Line,ATV Ride, Abseiling Archery, Air Rifling, Mountain Bikingවැනි ක්‍රියාකාරකම්වල යෙදීමේ හැකියාව මෙහිදී ලැබෙනවා. ATV Ride එකක් යන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණත් රියදුරු බලපත්‍රයක් නොතිබුණු නිසා මට ඒ අවස්ථාව අහිමි වුණා. නමුත් කාලයක් තිස්සේ යන්න බලාපොරොත්තු වුණු දකුණු ආසියාවේ තියෙන දිගම Zip Line එකේ යන්න අවස්ථාව නම් මට එහිදි උදා වුණා. උස් තැනකට ආවට පස්සේ එක පාරට පහළ බලද්දී හිතට නම් බයක් දැනෙනවා. ඒත් ආසාව ඊටත් වඩා වැඩි නිසා ඒ බය ටිකක් යටපත් වුණා.

ශරීරයේ බර මැනීමෙන් පසුව ආරක්ෂිත උපකරණ නිසි පරිදි පැලඳගෙන ඔවුන්ගේ උපදෙස් පරිදි Zipline එක යන්නය මම සූදානම් වුණේ. හිතේ ගැස්ම ටිකක් වැඩියි. කඳු අතර දිවෙන සුන්දර පරිසරය විඳින ගමන් කිලෝමීටර භාගයකට වඩා වැඩි දුරක් පැයට කිලෝමීටර 80 ක වේගයකින් ඇදිලා යන එක වචනවලට පෙරළන්න බැරි තරම් හරි අපූරු ත්‍රාසජනක අත්දැකීමක්.

ජාත්‍යන්තරව පිළිගැනෙන සම්මතවලට අනුකූලව මේ ක්‍රියාකරකමේ යෙදෙන උපකරණ නිතරම පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඒ උපකරණවල ගුණාත්මක බව වගේම පුහුණු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාකාරකම් සිදුකරන නිසා වඩාත් ආරක්ෂිතව ප්‍රමිතියකට අනුකූලව ඒ ත්‍රාසජනක අත්දැකීම් විඳින්න පුළුවන්.

‘Archery‘කියන්නෙත් දැනට ලෝකයේ පවතින ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒ කියන්නේ දුනු ඊතල ක්‍රීඩාවක්. එවැනි අවස්ථා අපට ලැබෙනවා අඩුයි. නමුත් මේ ත්‍රාසජනක උද්‍යානයේදී ඒ ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙන නිසාම මට ඒ අවස්ථාවත් උත්සාහ කරන්න අවශ්‍ය වුණා. මනස එක ඉලක්කයක් වෙත යොමු කරන එක හිතන තරම් ලේසි නැහැ කියලා හිතුණේ පළවෙනි ඊතල කිහිපය බිම වැටුණට පස්සේ. ඒත් කොහොමින් කොහොම හරි අවසානයේ ඉලක්කයට ආසන්නව ඊතලය විද ගන්න හැකි වුණා. නිවැරදි ක්‍රම භාවිත කරනවා නම් ඒකත් හරි අපූරු ක්‍රියාකාරකමක්.

Air Rifling කියන්නෙත් ඒ වගේම මනස එක ඉලක්කයක් වෙත යොමු කරමින් කළ යුතු ක්‍රීඩාවක්. හොඳ ඇහැක්, ඉලක්කය කෙරෙහි හොඳ අවධානයක් වගේම තමන්ගේ අතත් නිවැරදිව තබාගත යුතුයි. මුලින්ම Archery කරපු නිසා Air Rifling කරද්දී ලොකු අපහසුවක් දැනුණේ නැහැ. දවසම මෙවැනි අපූරු අත්දැකීම් ගන්න පුළුවන් වුණු මගේ හිතට දැනුණේ හරිම ප්‍රබෝධයක්.

ත්‍රාසය කියන්නෙම මනුෂ්‍ය පරිණාමය තුළ ජීවත්වීම සඳහා අත්විඳිය යුතුව තිබූ නියත අත්දැකීමක්. මිනිස්සු සොබා දහමට අනුව හැඩ ගස්වන්න පමණක් නොවෙයි ජීවිත නිපුණතාව ලබාගන්න, තියුණු පරිණාමීය ලක්ෂණ අත්පත් කරගන්න ත්‍රාසය අත්විඳින්න සිද්ධ වුණා. එහෙත් වඩාත් සුරක්ෂිත පරිසරයක අන්තරායකර තත්ත්වයෙන් මිදුණු විට ත්‍රාසයත් විඳින්න පුළුවන්. අපේ සහජයෙ සැඟවිලා තිබෙන ත්‍රාසයේ ගැඹුර ස්පර්ෂ කරන්න පුළුවන්. එය වෙනම අත්දැකීමක්.

හදිසියේම නැවත කඩා හැලුණු පොද වැස්සෙන් ඇල්ල පුරා මීදුම් වැසිලා.. දවස තිස්සේ යෙදුණු ත්‍රාසජනක ක්‍රියාකාරකම් එක්ක තරමක වෙහෙසක් ගතට දැණුනත් වරින් වර කැඩා හැලෙන වැස්සත් කඳු පන්ති සිපගනිමින් හමන සුළඟ හා දැවටුණු සීතල ගතට දැනුණු විඩාව ඉබේම මඟහැරෙනවා. හැබැයි ඒ සීතලත් එක්ක වැඩි වැඩියෙන් දැනෙන්න ගත්තු බඩගින්න එක්ක ත්‍රී රෝද රථයකින් ඇල්ල නගර මධ්‍යයට ළඟා වුණු මා දුම්රිය පොළ පාරේ පිහිටි අවහන්හලකට ගොඩ වුණේ උණු උණුවෙම පීසා එකක රස බලන්න හිතාගෙන.

ලබපු අත්දැකීමේ මතක මිහිර විඳිමින් සිටි මා ඉදිරියේ උණුවෙන්ම ගෙනැවිත් තැබූ දර උඳුනේ පිසින ලද ඉතාලි රොටියේ සුවඳ මුසු වෙලා තිබුණා. ඈත කඳු මුඳුන් සිහින් මිහිදුම් සළුවකින් වැසී යළිත් සුළං දහරක වෙළී පාවෙලා ගියා.

 

ඡායාරූප - Flying Ravana

Comments