සිනා සයුරේ අප ගිල්වා යන්න ගිය හිත හොඳ සැන්ඩෝ | Page 2 | සිළුමිණ

සිනා සයුරේ අප ගිල්වා යන්න ගිය හිත හොඳ සැන්ඩෝ

 

ජීවන රඟහලේ අප එකිනෙකාට හිමි භූමිකාව අවසන් වන වේලාව නිශ්චිතව කිව නොහැකිය. ලෝකයම මරාන්තික වයිරසයකට නතුව තිබෙන මේ කාලයේ ජීවිතයේ අවසන් මොහොත පෙර කවරදාකවත් නොවූ තරම් විසල් අවදානමකට ගොදුරුව ඇත. එනිසාම වසංගතය අතරතුර ජීවිතයෙන් සමුගෙන යන සමීපතමයන් පිළිබඳ හදවතට දැනෙන හැඟීම් වඩාත් සංවේදීය. සිය රංගනයෙන් සුවහසක් රසිකයන් පිනවූ, සිනා සයුරේ ගිල්වූ ඔහු ද පසුගිය දිනෙක අප අතරින් සමුගෙන ගියේය. ඔහු, ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් ය.

 

ඉකුත් ජූනි 11 වැනිදා ඔහු ජීවිත රඟ මඬල අතැර ගොස් තිබුණේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙනි. හැව්ලොක් ටවුන් හි පිහිටි සිය නිවෙසේදීම ජීවිතයෙන් සමුගත් සැන්ඩෝ හැරිස් කලාකරුවා මිය යන විට 58 වැනි වියේ පසු විය.

1963 වසරේ මැයි මස 18 වැනිදා උපත ලැබූ ඔහු රසිකයන් අතර ප්‍රකටව සිටියේ සැන්ඩෝ හැරිස් යන නමින් වුවද ඔහුගේ සැබෑ නම මොහොමඩ් එම්. ජලීල් මොහොමඩ් ය. ජාති, ආගම් භේදයකින් තොරව බාල මහලු කා අතරත් එකසේ ජනප්‍රියව සිටි ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයකු විය. “හැම රටකටම වඩා වටින්නේ මගේ රට, ශ්‍රී ලංකාව...”ඒ වදන් සැන්ඩෝ හැරිස් කලාකරුවා නිතර තෙපලූ වදන්ය.

කුසුම්චන්ද්‍ර ගමගේ විසින් අධ්‍යක්ෂණය කළ 1990 වසරේදී තිරගත වූ ‘ ජය ශක්‍ති’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සැන්ඩෝ හැරිස්, ‘කොටි සනා‘, ‘පෙම් මල් මාලා‘ සහ ‘සීතල ගිනිකඳු ’ ආදී චිත්‍රපටවල නිරූපණය කළ චරිත තුළින් ප්‍රේක්ෂකයාගේ හදවතේ ලැගුම් ගන්නට සමත් විය. ‘යුද ගිනි මැද, ‘උණුසුම් රාත්‍රිය‘, ‘ලෙෆ්ට් රයිට්‘ සහ ‘කේසරා’ ඇතුළු චිත්‍රපට 24ක පමණ ඔහු විවිධ චරිත නිරූපණය කළේය. පසු කලෙක සැන්ඩෝ හැරිස් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ‘සාජන්ට් නල්ලතම්බි‘ චරිතයට සමාන චරිත නිරූපණයෙනි. ‘චෙරියෝ සාජන්ට්’ , ‘සාජන්ට් සින්නතම්බි’, ‘සාජන්ගේ නැන්දම්මා’, ‘ඩොක්ටර් චිකාගෝ’ සහ ‘කෝච්චි මනමාලයා’ ආදී වේදිකා නාට්‍යවල රංගනයෙන් ඔහුගේ ප්‍රහසන කුසලතාව මැනවින් ප්‍රකට විය. දෙරණ සිනමා සම්මාන උලෙළේ හොඳම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වීමට ලැබීම ද සැන්ඩෝ හැරිස් කලාකරුවාගේ රංගන දිවියේ සුවිශේෂී අවස්ථාවක් විය. ඔහු අවසන් වරට රංගනයෙන් එක්වූයේ 2019 වසරේ තිරගත වූ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ චිත්‍රපටයටය.

රංගන ශිල්පී සැන්ඩෝ හැරිස්, කලා ක්ෂේත්‍රයේ සමීපතමයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ හිත හොඳ කලාකරුවකු ලෙසටය. සහෘද කලාකරුවන්ගේ දුකේදී ඔහු ඒ වෙනුවෙන් තමාට හැකි උපරිමයෙන් කටයුතු කළේය. ප්‍රවීණ සටන් නළු, විල්සන් කරු අසනීප වූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් සැන්ඩෝ හැරිස් කලාකරුවා කටයුතු කළ ආකාරය බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. සැන්ඩෝ හැරිස්ගේ ඒ හොඳ හිත ගැන ජනප්‍රිය රංගන ශිල්පී, සටන් අධ්‍යක්ෂ වසන්ත කුමරවිල මතකය අවදි කළේ මෙලෙසිනි.

“සැන්ඩෝ අයියා කියන්නේ මිනිසත්කමින් පිරිපුන් හොඳ මනුස්සයෙක්. මම වැඩිපුරම සැන්ඩෝ අයියට ගරු කරන්නේ ඔහු තුළින් දුටු අපට සාමාන්‍යයෙන් බොහෝ මිනිසුන්ගෙන් දකින්න නොලැබෙන තරම් උතුම් වූ මනුස්සකමටයි. ඔහු තව කාලයක් අප අතර ඉන්න තිබුණ කෙනෙක්. නමුත් අපි දන්නවා දෙවියන් පවා ඔහු ළඟට ගන්නේ හොඳ මිනිස්සුන්ව. ඔහුගේ ආගමික විශ්වාසය තුළ ඔහු හොඳ තැනක ඇති කියලා මම විශ්වාස කරනවා. කලාව තුළ සැන්ඩෝ අයියා නියෝජනය කළේ මට පෙර පරම්පරාව. ඒ කාලයේ මම ඔහුව දැක්කේ දක්ෂ වගේම ඉතා තාත්වික සටන් නළුවෙක් විදිහටයි. බයිස්කෝප්වල තියෙන බොරුව සැන්ඩෝ අයියා ප්‍රේක්ෂකයා ඉදිරියේ නිරූපණය කළේ ඇත්ත විදිහටයි. ඒ වගේම ප්‍රහසන රංගන ශිල්පියෙක්ට අමතරව දක්ෂ රංගන ශිල්පියෙක් විදිහටත් මම ඔහුව දුටුවා. එහෙම බලද්දි ඔහුගේ වියෝව අපේ කලා ක්ෂේත්‍රයට විශාල පාඩුවක්.

සැන්ඩෝ හැරිස් කියන්නේ නව පරපුරේ රංගන ශිල්පීන් සමඟත් ඉතා සුහදව කටයුතු කළ කෙනෙක්. ඔහු කවදාවත් ජාති, ආගම් භේද සැලකුවේ නැහැ. ඔහු තුළ තිබුණු මනුස්සකමට, කළගුණ සැලකීමට හොඳම උදාහරණය විල්සන් කරු අයියා අසනීප වුණු වෙලාවේ සලකපු ආකාරය. කරු අයියා කියන්නේ අපේ සටන් කලාවේ නළුවන් අතර බිහිවුණු විශිෂ්ටතම නළුවා. විල්සන් අයියා කරදරයට පත්වුණු වෙලාවේ මට ඒ පණිවුඩය කිව්වෙත් සැන්ඩො අයියා. මම හිතන්නේ කරු අයියා තමයි සැන්ඩො අයියව ක්ෂේත්‍රයට ගේන්නේ. ඉතින් ගුරුවරයකුට දෙන්න පුළුවන් ඉහළම ඇප උපස්ථාන කරු අයියා වෙනුවෙන් සැන්ඩෝ අයියා සිදු කළා. හෙට මියැදුණා නම් අද දක්වාම ඔහු ඒ යුතුකම මැනවින් ඉටු කළා. මම හිතන්නේ ඒක අපි හැමෝටම ලොකු ආදර්ශයක්. අතදුන් කෙනාව අමතක නොකිරීම, මුල අමතක නොකිරීම ඔහුගේ තවත් විශිෂ්ට මානුෂික ගුණාංගයක්. ඔහුගේ හදිසි වියෝව අපට වේදනාවක් වුණත් මිනිසත්කමින් පරිපූර්ණ කලාකරුවෙක් විදිහට ඔහු හැමදාම අපේ හදවතේ ජීවත්වන බව විශ්වාසයි”

ඔහු පැවසුවේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාව පසක් කරමිනි. සැන්ඩෝ හැරිස් කලාකරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිරීති අනුව ඉකුත් 13 වැනිදා දෙහිවලදී සිදුකෙරිණ. සිය රංගනයෙන් ප්‍රේක්ෂක ඔබ සිනා සයුරේ ගිල්වන්නට යළි ඔහු නොපැමිණියද ඒ සිනහව සහෘදය සිත්වල සදා රැඳෙනු ඇත.

Comments