යහපත් පැවැත්මෙන් සුවපත් වී පැහැපත් මුහුණක් | Page 2 | සිළුමිණ

යහපත් පැවැත්මෙන් සුවපත් වී පැහැපත් මුහුණක්

 

 

තරුණ වියේ සහ මැදි වියේ පසුවන ඇතැම් අයට සමේ කුරුලෑ, රතු බිබිළි, කළු බිබිළි ඇති වීමේ ගැටලු මතු වනවා. එයට ප්‍රධාන හේතුවක් වන්නෙ ඔවුන් ගේ චර්යා රටාව සහ පිරිසුදු භාවයයි. නීරෝගී සමකට පිරිසුදු බව අතිශයින් වැදගත්. අද ‘රූ රහස්‘ඔස්සේ ඔබ දැනුම්වත් කරන්නෙ සමේ ඇතිවන එවැනි කුඩා බිබිළි පිළිබඳ යි. මෙවරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් සේම ආයුර්වේද වෛද්‍යවරියක්වන අයෝමි ශානිකා එක් වන්නේ ඇය සතු දැනුමෙන් රසඳුන පාඨක ඔබව පෝෂණය කරන්නයි.

 

“මුහුණේ ඇති වන පුංචි බිබිළි බොහෝ දකින්න ලැබෙන්නේ නව යොවුන් වියේ පසුවන දූ දරුවන්ගෙන්. දියණියක නම් ඇගේ ඔසප් චක්‍රය ආරම්භ වීමත් සමඟම ඇතිවන හෝමෝන වෙනස් වීම හේතුවෙන් මුහුණේ ගෙල පෙදෙසේ මෙවැනි බිබිළි දැක ගන්න පුළුවන්. තරුණ ශරීරයේ පිත නිපදවීම වැඩියෙන් සිදුවීමත් තවත් කරුණක්. පිත කෙළින්ම සම්බන්ධ වෙන්නෙ සමට. රුධිරයේ තිබෙන උෂ්ණාධික බවෙන් මෙවැනි තත්ත්ව මතු වෙන්න පුළුවන්. හෝමෝන වර්ධනය වන විට යම් යම් දෝෂ එළියට එන්නේ සමේ සියුම් ස්ථානවලින්. ඒ නිසයි මේ කියන ගඩු ගඩු වගේ පුංචි බිබිළි සමේ මතුපිට දකින්න ලැබෙන්නේ. තරුණ විය මෙන්ම මැදි වියේ පසුවන අයට පවා මෙවැනි බිබිළි හටගැනීමට තවත් හේතුවක් තමයි තෙල් අධික ආහාර. තරුණ වයසේ පසුවන අයට උෂ්ණාධික ආහාර ගැනීමේ රුචිය වැඩියි. ඒ අතර උපතින්ම ඌෂ්ණගතියකින් යුතු ශරීරයක් හිමි කෙනෙක් නම් උෂ්ණාධික ආහාර ගැනීමෙන් වෙන්නේ ශරීරයේ ඌෂ්ණාධිකබව තවත් වර්ධනය වීමයි.

ඔබට තිබෙන්නේ ඌෂ්ණාධික ශරීරයක් නම් නිතර දහඩිය දමනවා නම් එවැනි තත්ත්ව නිසා මුහුණේ ගෙල පෙදෙසෙ, පපු පෙදෙස පිටෙහි ද මෙවැනි කුඩා බිබිළි ඇති වෙන්න පුළුවන්. එවැනි ඌෂ්ණාධික ශරීරයකින් යුතු අයට නිතර පිරිසුදු වීම, දිනපතා ස්නානය බොහොම වැදගත්. ස්නානයෙන් ඔබේ ශරීරය සිසිල් වෙනවා.

ඉස්හොරි තිබෙන අයට ද ඉස්හොරි මුහුණට වැටුණු ගමන් මුහුණේ මේ අපි කතා කරන බිබිළි හට ගන්න පුළුවන්. එනිසා මුලින්ම ඔබ ඉස්හොරිවලට ප්‍රතිකාර කර පසුව බිබිළිවලට ප්‍රතිකාර කිරීම වැදගත්. මෙවැනි තත්ත්ව මතු වෙන්නෙ පිත රක්තය කියන දෙක එකතු වීමෙන්. මුහුණේ ඇති වෙන බිබිළි කුරූලෑ ආදිය කිසි විටෙක නියපොතුවලින් විට කැඩීමට උත්සාහ කරනවා. එ මොහොතේ සුවයක් දැනුණත් ඒ කැළල යවා ගන්න අපහසුයි. එම නිසා ඉබේම එය සුව වීමට දෙන්න.

විවිධ හේතූන් මත නිදි වැරීමෙන් එන මානසික ආතතිය නිසාත් මුහුණේ මෙවැනි බිබිළි ඇති වෙන්න පුළුවන්. නමුත් මෙවැනි බිබිළි තිබෙන අය ඒ පිළිබඳ ඕනෑවට වඩා වඳ වෙමින්, ළතැවෙමින් සිටීමෙන් ද මෙම තත්ත්වය වර්ධනය වෙන බව බොහෝ අය නොදන්නා කරුණක්. ඒ පිළිබඳ ළතැවෙමින් සිටිනවාට වඩා අප ක්‍රියා කළ යුත්තේ එවැනි ගැටලු මතු වෙන්න හේතු සොයා විසඳා ගැනීමටයි.

ආයුර්වේදයේ අප එය හඳුන්වන්නේ නිධාන පරිවර්ජනය යනුවෙන්. එයින් අදහස් වෙන්නේ යම් ගැටලුවකට නිධාන වෙන හේතුවෙන් ඉවත් වීමයි. මුහුණේ ඇති වන මෙවැනි බිබිළි නිට්ටාවට සුව කළ හැකි වුවත් සමහරු ප්‍රතිකාරවලට යොමු වී සුව වීගෙන එන විටම නැවත කිසිදු පාලනයකින් තොරව වැඩ කටයුතු කරනවා. එයින් සිදුවෙන්නේ කාලයක් සුවපත් වුණත් කාලේකින් නැවත එවැනි බිබිළි මතු වීමයි. අද මා මේ සඳහන් කරන ප්‍රතිකර්ම කිහිපය නිවසෙදීම අත්හදා බලන්න.

දෙහි ගෙඩියක් දෙකට කපා එයින් එක බෑයක් ගෙන හොඳින් මුහුණ සහ කුරුලෑ ඇති ස්ථානයේ කුරුලෑ නොකැඩෙන සේ ආලේප කරන්න. එයින් දෙහි ඉස්ම හොඳින් සමට අවශෝෂණය වී මුහුණේ විෂබීජ ඉවත් කරනවා.

හොඳින් උදෑසන සහ රාත්‍රියේ මුහුණ පිරිසුදු කරගන්න.

බිබිළි හටගත් පසු එය පැසවීමට කලින් සුදුහඳුන්, සැවැන්දරා, වෙනිවැල්ගැට, රත් හඳුන් මිශ්‍ර කර පැක් එකක් සාදා මුහුණේ ආලේප කර මඳ වේලාවකින් සෝදා හරින්න.

හැකි තරම් කොමඩු, පිපිඤ්ඤා වැනි දේවල් ආහාරයට ගන්න.

හොඳින් දුම අල්ලන්න (දුම අල්ලන විට ඇස් දෙකට පුළුන් තබන්න නැතිනම් රෙදි පටියකින් හෝ ගැට ගසා ගන්න.එයට හේතුව ඇස් වටා ඇති තුනී කේෂ නාළිකාවලට හානි විය හැකි නිසා)

කොහොඹ කොළ සහ වෙනිවැල්ගැට තම්බා එම වතුරෙන් මුහුණ සෝදන්න.

Comments