මහා සිනමාවට යන්න නම් මේ කොදෙවු මානසිකත්වයෙන් ඉවත් විය යුතුයි | සිළුමිණ

මහා සිනමාවට යන්න නම් මේ කොදෙවු මානසිකත්වයෙන් ඉවත් විය යුතුයි

 

 

ඉරිතැළී ගිය නිස්සාර පොළොවක සාර බිජුවට පූදින්නේ නැත. එහෙත් බලාපොරොත්තු සහගත ගොවිහු ඒ බිම් අස්වද්දති. සා පිපාසාවෙන් පීඩිතව ඔත්පළවන මොහොතක මිය යන්නට නොදී කැඳ පතක් හෝ ලබන්නේ ඒ මිනිසුන්ගේ අරගලයේ ප්‍රතිඵල ලෙසය. මහැදුරු ආරියරත්න ඇතුගලයන් පිළිබඳ වන සෑම සිතිවිල්ලක් තුළම ඒ නිස්සාර බිම් බලාපොරොත්තු සහගතව අස්වද්දන අපේ ගම්වල ජීවත් වූ නිහඬ පෞරුෂවත් ගොවියකු පිළිබඳ උපදින ගෞරවනීය හැඟීම ඉපදෙයි. ඒ හැඟීම ඇත්තේ බරසාර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු පිළිබඳ උපදින සාටෝප සහිත උත්කර්ෂවත් හැඟීමට බොහෝ එපිටිනි. එය මිනිසකු පිළිබඳ ඉපදිය හැකි මහා ගෞරවනීය මානුෂික ගැඹුරක් සහිත සිතුවමක පිළිබිඹුවකි.

 

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. තමන් ශාස්ත්‍රීය ලෝකයෙන් ලබාගත් ගැඹුරු න්‍යායික දැනුම පමණක් සාඩම්බරව පන්තිකාමරවල වගුරුවන මහේශාඛ්‍ය මහාචාර්ය භූමිකාවෙන් එළියට පැමිණ සරසවි ශිෂ්‍යයන් සමඟ නිර්මාණකරණයේ යෙදෙන, ප්‍රායෝගික පර්යේෂණ පවත්වන, වියපත් නොවන මේ සිරිමත් මිනිසා සමඟ පිළිසඳරට මෙවර රසඳුන ඉඩ හසර වෙන් කෙරිණි. නිමිත්ත බෙහෙවින්ම බරසාරය. ඔහුගේ මුල්ම සිනමා කෘතිය ප්‍රංශයේ කාන්ස් සිනමා උලෙළේ අතිශය තරගකාරී වෘත්තාන්ත සිනමා අංශයේ දෙවන වටයට නිල වශයෙන් තේරුණේය.

මීට පෙර කාන්ස් සිනමා උලෙළවලදී අපේ රටේ නිර්මාණකරුවෝ තිදෙනෙක් අවස්ථානුරූපීව ඇගයීම් ලබා තිබුණහ. නමුත් සිංහල සිනමා කෘතියක් කාන්ස් අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී වෘත්තාන්ත සිනමා අංශයේ දෙවන වටයට නිල වශයෙන් තේරුණු මුල්ම අවස්ථාව මෙයය.

කුරුණෑගල ඈත එපිට දුගී ගොවිගෙදරක ඉපදී දැනට සජීවීව ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ලාංකේය කලාවේ ප්‍රභූ භූමිකාව නියෝජනය කරන්නා වූ කලාකාර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වීම තෙක් ඔහු පැමිණි ගමනේ සංක්ෂිප්තය මෙතැන් සිට දිග හැරෙන්නේය.

ආරියරත්න ඇතුගලයන් මුල්ම වරට ස්වකීය ජීවිත පවතේ මතක බෙදා ගනිමින් සංවාදයට එක් විය.

“මා උපදින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැමි පරිසරයක. බමුණාකොටුව තමයි මගෙ ගම. පවුලෙ සහෝදරයො තුන්දෙනයි. සහෝදරියො දෙන්නයි. අම්මා ගෘහණියක්. තාත්තා ගොවියෙක්. ඒ වගේම හසුරු කුසලතා ගණනාවක් සහිත ගැමියෙක්.

ඈත ගම්වල ඉන්නෙ ලොකු ආර්ථික හැකියා තිබෙන මිනිස්සු නෙමෙයි. ඒ සමාජයෙ මුදල් ගැවසෙන්නෙ නෑ. දුගී ගැමි දරුවෙක් විදිහට විඳින්න පුළුවන් හැම අත්දැකීමක්ම ළමා කාලයෙ මා විඳ තිබෙනවා.

මගෙ අම්මා අතිශයන්ම ධෛර්යවන්ත කාන්තාවක්. තාත්තා බොහෝ වෙලාවට ගෙදර රැඳුණේ නෑ. ගෙදර ට්‍රැක්ටරයක් තිබුණා. ඔහු ගොයම් වැඩ කාලෙට කුඹුරු හාන්න වන්නියට යනවා. ආයෙ එන්නෙ මාස ගණනකින්. අම්මා ගෙදර කළමනාකරණය කළා හරිම අපූරු විදිහට. අපේ ගෙවල්වල හය හත් දෙනෙක් හිටියට කෑම වෙලාවෙදී ගෙදරට යන එන අය එක්ක ගණන දහයක් පහළොවක් වෙනවා. ඒත් කවදාවත් කෑම මදි වුණේ නෑ. ඒකට අපි කිවුවේ අම්මගෙ අත් ගුණය කියලා. “

ඒ වකවානුවේ ඈත ගැමි පරිසරයේ පාසල් අධ්‍යාපනය දරුවන් විචක්ෂණ අරමුණු කරා යොමු කළේ නැත. එවැනි විචාර හෝ සංවාද පාසල තුළ ඇති නොවුණු තරම්ය. පුරුද්දට පාසල් යන දරුවන්ගේ කුසලතා හඳුනාගෙන වර්ධනය කිරීමට හැකි දැනුමක් තිබු ගුරුවරු සිටියේ නම් ඒ විරලවය. ඇතුගලයන් ස්වකීය පාසල් සමය ගැන කියන කතාව ඒ අමිහිරි ඇත්ත තහවුරු කරන බව අපට සිතෙන්නේය.

“මුලින්ම ගියෙ ගමේ ඉස්කෝලෙට. මූණමලේ කනිෂ්ඨ විද්‍යාලයට. බොහොම ගැමි ඉස්කෝලයක්. මම පොඩි කාලෙ සරම ඇඳගෙනත් ඉස්කෝලෙ ගිහින් තියෙනවා. ඉස්කෝලෙ කාලෙදී මං කැපී පෙනෙන දක්ෂ දරුවෙක් නෙමෙයි. ගුරුවරු එදිනෙදා පාඩම් වැඩ කළා. හැබැයි ඔවුන් අපට අපේක්ෂා දෙන්න තරම් අපට ළංවෙලා හිටියේ නෑ.

ඈත ගම්වල දරිද්‍රතාවේ පත්ල ස්පර්ෂ කරන මිනිස්සුන්ට හීන නැත. ඒ සමාජ ආර්ථික වටපිටාව විසින් මිනිසුන්ගේ හීනත් මරා දමා තිබිණි. ඇතුගලයන් ඒ කටුක ඇත්ත අත්විඳි අයෙකි. ඔබේ ජීවිතයේ ළමා කල තිබූ අනාගත සිහිනය කුමක් දැයි මා ඇසූ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර මා වික්ෂිප්ත කළේය.

“මට හීන තිබුණෙ නෑ. මුල් කාලේ ඉගෙන ගත්තෙ අවබෝධයකින් නෙමෙයි. එය සහජයකින් පාඩම් කටයුතු පූර්ණ කරගෙන ඔහේ ආපු ගමනක්. පාසලේදි වෙන දේවල් දරාගන්න අපහසු වුණ වෙලාවල් තිබුණා. ඒ දේම පොඩි අතපසු වීමකින් නිවෙසින් වෙද්දි එය හරිම පීඩාකාරී වුණා. මම පොඩි කාලෙ එක් දවසක් ගෙදර දි ඇති වුණු සිදුවීමකින් පසු එක් නොසලකා හැරීමක් දරාගන්න බැරිව මම ගෙදරින් නොකියාම ආවා. කුරුණෑගල නගරයට ඇවිත් කොළඹ යන්න ඕන කියන අදහස විතරමයි මට තිබුණේ. එදා මගෙ පුංචි මාමා ඇවිත් කුරුණෑගල බස් නැවතුමේ දී මාව හොයාගත්තෙ නැතිනම් ඇත්තටම මගේ ජීවිතය එදා සහමුලින්ම වෙනස් වෙන්න තිබුණා.

සාමාන්‍ය පෙළ විභාගයට ලියලා ප්‍රතිඵල ආපු දවස මතකයි. එදා මිස් කිවුවා “ඔයා පාස්නෙ“ කියලා. ඒ පාස්වීම මොකක් ද කියලවත් මට තේරුණෙ නෑ. අපේ පරිසරය තුළ විභාග මානසිකත්වයක් තිබුණෙ නෑ. මම දැනගෙන හිටියෙ නෑ මම පාස් වෙලා ඉන්නෙ උසස් පෙළ කරන්න ද කියලාවත්. “

ඇතුගලයන්ගේ ජීවිත ප්‍රවෘත්තිය වෙනස් වන්නේ උසස් පෙළ හැදෑරීම සඳහා බමුණකොටුම මධ්‍ය මහා විද්‍යාලයට පැමිණීමත් සමඟිනි.

“ඒක හරිම සුන්දර අත්දැකීමක්. විදුහල්පතිතුමා මට තමයි වැඩිපුරම කැමති. ඔහුත් එක්ක එකතුවෙලා මම ගොඩක් වැඩ කළා. කුමාරගුරු කියලා සර් කෙනෙක් හිටියා. සර් ආර්ථික විද්‍යාව ඉගැන්නුවෙ. ඔහුත් මට කැමතියි. අපි පාසලේ බිත්ති පුවත්පත කළා. සාහිත්‍ය වැඩ කළා. .“

“මගෙ වැඩ දිහා බලලා කුමාරගුරු සර් තමයි මට කියව්වෙ “තමුසෙ වෙන මොනවත් කරන් එපා. කැලණිය විශ්විද්‍යාලයෙ තියෙනවා ජනසන්නිවේදනය කියලා අංශයක්. ඒකට තමයි යන්න ඕන“කියලා. උසස්පෙළ විභාගෙ සමත් වෙලා සරසවි ප්‍රවේශයට අයදුම් කරද්දි මම ඉල්ලුවේ කැලණිය විශ්විද්‍යාලය විතරයි. “

බමුණාකොටුව මධ්‍යමහා විද්‍යාලයෙන් සරසවියට එන ඇතුගලයන් සරසවිය තුළ දී සිය ජීවිතයෙන් ලද අසීමිත අත්දැකීම් නිර්මාණ ලෙස මුදා හරින්නේ. මුල්ම වසරේදීම සරසවි නිර්මාණ ඇගයුමේ හොඳම කෙටි කතාව ඔහුගේය. ඔහුගේ අධ්‍යාපනය සඳහා ඇති කැපවීමට වඩා නිර්මාණාත්මක වුවමනා එළි දකින්නේය. ඔහු දෙසතිය සඟරාවට ටෙලි නාට්‍යය ගැන විචාර ලිපි පෙළක් සපයන්නේය. දිනමිණ පුවත්පතට ලියන්නේය. තරුණසේවා සභාව හා එක්ව වැඩ කරන්නේය. ඡායාරූප ශිල්පය හදාරන්නේය.

සරසවි ඉතිහාසයේ මුල්ම ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ ඔහුය. වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිත මේ තරුණ නිර්මාණකරුවා ඉතිහාසගත ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමට උපකුලපතිවරයාගේ විරෝධය මගහරිමින් සරසවියට ගෙන්වන්නේ විජය කුමාරතුංගයන්ය.

“කොළඹට ආවම ජීවිතය ගොඩක් වෙනස් වුණා. මම නැවතිලා හිටියේ දළුගම. මට මතකයි ඒ දූවිල්ල. ඒ දූවිල්ල අපේ ගම්වල තිබුණු දූවිල්ල නොවෙයි.“ඔහු ඒ පරිවර්තනය ගැන කියන්නේ ඒ ලෙසය.

උසස් සාමාර්ථ සහිතව විභාග සමත් වූ නමුත් සරසවි ජීවිතයෙන් අනතුරුව යළිත් එකල තරුණ ජීවිත පෙළන්නේ විරැකියාවය. කලා විෂය හැදෑරූ තරුණ උපාධිධාරියකුගේ ජීවිත ඛේදවාචකයට ඇතුගලයන් ද මුහුණ දුන්නේය.

“යුනිවර්සිටි අවුට් වුණා. ඒත් රස්සාවක් නෑ... රස්සාවක් නැති නිසා ගෙදර යන්නත් බෑ. ඒ කාලෙ අපි කීප දෙනෙක් යාළුවකුගෙ ගරාජ් එකක නැවතිලා හිටියා. නිදාගන්න බූරු ඇඳන් තිබුණා. ඔය අතරෙ මං ලියපු ලිපියක් දැකලා තරුණසේවා සභාවෙන් කතා කළා. මාව තරුණසේවා නිලධාරියෙක් විදිහට බඳවා ගත්තා. අවුරුදු පහක් එතැන වැඩ කළා. එතනින් විදේශ අත්දැකීම් ලබාගන්න අවස්ථා ලැබුණා. නිස්කෝ වීඩියෝ එකේ වැඩ කළා.“

දැනුම හා විශාල අවස්ථා විවර කළ මේ රැකියාව අත්හැර ඇතුගලයන් එක් මොහොතකින් එළියට බසින්නේ ප්‍රධානීන් සමඟ ඇතිවුණු මත ගැටුමක ප්‍රතිඵලයක් ලෙසිනි. අනතුරුව විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ඒකකයේ ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශයේ තාක්ෂණ ශිල්පියෙක් ලෙස රැකියාවට එක් වෙමින් හේ පශ්චාත් උපාධිය කරන්නේය. විදේශ අත්දැකීම් සහිතව සන්නිවේදන හැකියා ප්‍රගුණ කරන්නේය. ඒ අතරතුර කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන්නේය.

ඔහු සරසවි කථිකාචාර්ය මණ්ඩලයවෙත පත්වන්නේ මේ අතරය. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මොනතරම් ඉහළ සුදුසුකම් සපුරා තිබුණත් ඔහු ඒ තනතුර ලබාගන්නේ සමකාලීන සරසවි ආචාර්ය මණ්ඩලයේ විරෝධතා මැදය.

එතැන් සිට සරසවියේ යෞවනියන් ආකර්ෂණය කළ යොවුන් විද්වත් ඇදුරිඳු ඔහුය. අප අසා ඇත්තේ කාන්තා නේවාසිකාගාර අසලින් පැමිණෙන ඔහු දකින්නට සැදී පැහැදී සිටිනා යෞවනියන් ගැනය. ඔහුගේ දේශනවලට විද්‍යාපීඨයෙනුත් පැමිණෙන යෞවනියන් ගැනය. ඇතුගලයන් ජනසන්නිවේදන අංශයේ අංශ ප්‍රධානී තනතුරට පත්වන විට එම පීඨය මහා සිසුන් කන්දරාවකින් පිරී ගියේය.

ඒ රසවත් වූත් ආකාර්ෂණීය වූත් ඉතිහාසය ගැන ඔහුව විමසන්නට ගියේ නැත. එහෙත් එතුමන්ගේ ප්‍රිය බිරිය සචී දෞපදී හා දෙදරුවන් ගැන විමසුවෙමි.

“මම කැලණියෙ. ඇය කොළඹ සරසවියේ සමාජ විද්‍යාව කළේ. ඇගේ තාත්තා තමයි එකල කැලණිය විශ්විද්‍යාලයෙ උපකුලපති තුමා. උපකුලපති තුමා නාට්‍යයක් ලිව්වා. ජනසන්නිවේදන අංශයෙන් එය නිෂ්පාදනය කළා. පුහුණුවීම් කළේ ජනසන්නිවේදන අංශයේ. ඇය පුහුණුවීම් බලන්න තාත්තා එක්ක ආවා. දවස් දෙකක්. ඒ බැඳීම විවාහයෙන් කෙළවර වුණා.“ඔහු සුපුරුදු සිනහව සඟවන්නට උත්සාහ කළේ නැත.

“දැන් අපිට පුතාල දෙන්නෙක් ඉන්නවා. රේනුෂ ඇතුගල, යසස්වී ඇතුගල. ලොකු පුතා තොරතුරු තාක්ෂණය විෂයෙන් පී.එච්.ඩී කළා. ඔහුට අවුරුදු තිහයි. ඒක ලොකු ජයග්‍රහණයක්. පොඩි පුතාට අවුරුදු විසි පහයි. එයා පී.එච්.ඩී කරමින් ඉන්නවා.“

ඇතුගලයන් මේ තරම් ප්‍රිය මනාප ගුරුවරයෙක් වන්නේ ආකර්ෂණීය පෙනුම ඉක්මවා ගිය අනන්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිසාය“

“මා විෂය ඉගැන්නුවට අමතරව විෂය කේන්ද්‍රීය ප්‍රායෝගික වැඩ කිරීමේ පරමාර්ථයෙන් ටෙලි නාට්‍යය කළා. සරසවියෙ රැකියාවට ආවට පස්සේ තමයි ‘සිත්තර ගුරුන්නාන්සෙ‘, ‘තුන්බිය‘, ‘සූසැට මායම්‘, ‘රම්‍ය නගරය‘වැනි ටෙලි නාට්‍යය කරන්නේ. ඒ හැම වැඩටම තරුණ සිසුන් සහභාගී වුණා. සෞම්‍ය ලියනගේ නළුවෙක් විදිහට එළි දකින්නෙත් ‘සිත්තර ගුරුන්නාන්සෙ‘ ටෙලි නාට්‍යයෙන්.

ඒ එක්කම ලබපු දේශීය විදේශීය අත්දැකීම් එක්ක පන්ති කාමරයේ කරන්න පුළුවන් පර්යේෂණාත්මක වැඩ කළා. ‘මහා සමයම‘, ‘මහාසුපින‘වේදිකා නාට්‍යය එහි නිර්මාණාත්මක ප්‍රතිඵල. කාන්ස් සිනමා උලෙළ නිසා දැන් කතාබහට ලක්වෙන ‘සහෝ‘ චිත්‍රපටයත් කළේ විශ්විද්‍යාල ශිෂ්‍යයා එක්ක කරන ප්‍රායෝගික අධ්‍යයන ක්‍රියාවලියක් විදිහට.“

මහාචාර්ය ඇතුගලයන් විශිෂ්ටයෙක් වන විශේෂ හේතුවක් තිබේ. ඔහු යම් කලා ක්ෂේත්‍රයක මුල් වරට කරන නිර්මාණයම කැපී පෙනෙන සේ සාර්ථක වේ.

“හේතුව මා කවුරුත් අනුකරණය නොකිරීම වෙන්න ඇති. වේදිකා නාට්‍යය කළේ කාගෙවත් ආකෘතියකට නෙමෙයි. චිත්‍රපටය කළෙත් එහෙමයි. ඒ නිර්මාණවලට අභිලාෂයක් තිබුණා. නිශ්චිත අරමුණ වුණේ සබුද්ධික නිර්මාණශීලී සරසවි ශිෂ්‍යයෙක් බිහි කිරීම. ඒ කටයුත්තෙ දී සම්ප්‍රදායික ගුරු භූමිකාවෙන් බැහැර වෙන්න සිද්ධ වුණා. ගුරුවරයෙක් වෙලා ඒ ඇතුළෙම ඉන්න හරි පහසුයි. ඒ වගේ ආකල්පයක ඉඳගෙන නම් ලංකාව වගේ රටවල ගැඹුරු ශාස්ත්‍රීය ඥානයක් ලබන්න බෑ. පරණවිතානලා, සරච්චන්ද්‍රලා පුදුමාකාර උගත්තු. මේ වෙළෙඳ ලෝකය ඇතුළෙ ඒ ආකාරයේ ශාස්ත්‍රීය උගත්තු බිහි වෙන්නෙ නෑ. උගතුන් බිහි වෙන්නෙ තාක්ෂණික ලෝකය ඇතුළෙ. “

“කෙසේ වෙතත් එහෙම ශාස්ත්‍රීය ගමනක යෙදෙන මහාචාර්ය සුනන්ද මහෙන්ද්‍ර, මහාචාර්ය විමල් දිසානායක වගේ විද්වත්තු මා දැක්කා. මම ලබන ආභාසය එයයි.

ඒ ආභාසය ලබන මේ නිර්මාණකාර මහාචාර්යවරයා සිය මුල්ම සිනමා කෘතියෙන්ම අපව ලෝකයට රැගෙන ගොස් තිබේ. අවසාන වශයෙන් ඒ පිළිබඳ විමසුවෙමි.

‘සහෝ‘හදන්නෙ මම හෙම්බත් වෙලා හිටිය පන්ති කාමර අත්දැකීමෙන් අයින් වෙන්න. ළමයින් සමඟ මගේ දැනුම බෙදා ගන්න. අවසාන වශයෙන් මේ විශ්වවිද්‍යාල තරුණයා ගැන ගැඹුරු නිර්මාණකරනයක යෙදෙන්න

මේ වැඩේ කළේම අවබෝධයකින්. අප නිර්මාණකරණයෙ යෙදෙන්නේ දියුණු නොවුණු රටක. අපිට මහා කලාවන් එකක්වත් නෑ. සම්භාවිත කලා විචාරයක් නෑ. මනුෂ්‍යයෙක් රසවින්දනයට හුරු කරන සංස්කෘතියක් අධ්‍යාපන විෂය ධාරා තුළත් නෑ. කලාව මිනිසුන්ට තේරෙන්නෙ නැතිවම මිනිස්සු කලාවෙන් ඈත් වෙලා යනවා.රටේ රසවින්දනය තීන්දු කරන්නෙ මාධ්‍ය නාළිකා කීපයක් නම් ඒ දුබලතාව බරපතළ තත්ත්වඇති කරන්නෙ රටට. එහෙම වටපිටාවක් මහා කලාව පෝෂණය කරන්නෙ නෑ.

ඒ පසුබිමේ දී අපි කරන කලාව මේ රටේ මහා සමාජයට ග්‍රහණය වෙන්නෙ නෑ. ඔවුන්ට එය වැඩකුත් නෑ. ඔවුන් බහුතරයක් දරිද්‍රතාවේ පත්ලෙ ඉන්න මිනිස්සු. රූපවාහිනයෙන් මිදෙන්න බැරි මිනිස්සු ඉන්න රටකට ඔපෙරා සිම්පනි කරලා වැඩක් නෑ. කේමදාස වගේ කෙනෙක් අපට වැටහුණේ නැත්තේ ඒකයි. ‘සහෝ‘ චිත්‍රපටය කරන්නෙ ඒ අවබෝධයෙන්.

කාන්ස් සිනමා උලෙළට මේ සිනමා කෘතිය තේරීම නිර්මාණකරුවන් විදිහට අපේ සිනමාව තේරුම් ගන්න අපට බල කරනවා. ඇයි අපට ඒ මහා සිනමා සංස්කෘතියට යන්න බැරි? මුලින්ම අපි මේ කොදෙවු මානසිකත්වයෙන් මිදිය යුතුයි.

මා සිනමා කරුවෙක් නෙමෙයි. හැබැයි මම නිර්මාණයක් කරලා එය උලෙළකට දාපුවාම මට තේරෙනවා අපේ රටේ තාක්ෂණය නොදියුණුකම. නිර්මාණකරුවන්ගේ නිර්මාණවේදය, නිර්මාණ දර්ශනයේ දුප්පත්කම. මහා උලෙළවල තිබෙන චිත්‍රපටවල මතවාද එක්ක ඒවා ගැලපෙන්නෙම නෑ. යහපත් සිනමා සංස්කෘතියක් වෙනුවෙන් අපි සංවාදයක් ඇතිකර ගනිමු කියන යෝජනාව අවසාන වශයෙන් මම මේ රට ඉදිරියේ තබනවා.“

සංවාදය නිමාවන මොහොත වනවිට හිතන්නට බොහෝ දේ එතුමන් අප ඉදිරියේ ඉතිරි කර තිබිණි. ඒ යෝජනාව මේ රට පිළිගනීදැයි අපට වැටහෙන්නේ නැත. එය පිළිගැනීම හෝ නොගැනීම සම්බන්ධව ඇතුගලයන්ට ගැටලුවක් ද නැත. කර්කෂ මහපොළොව අස්වද්දන බලාපොරොත්තු සහගත ගොවියෙක් සේ නිහඬව හෙටත් ඔහු මහා සරුසාර නිර්මාණ කරන බව පමණක් විශ්වාසය.

 

ඡායාරූප - තිලක් පෙරේරා

Comments