මම අඳුරු මතක හකුළා අළු මතින් නැඟි ෆීනික්ස් කිරිල්ලියක් | සිළුමිණ

මම අඳුරු මතක හකුළා අළු මතින් නැඟි ෆීනික්ස් කිරිල්ලියක්

රංගනයකදී නම් චරිතවලට හුස්ම ගන්න හැකිය. ගායනයක දී නම් ස්වරවලට ද හුස්ම ගන්නට හැකිය. ලේඛනයක දී අකුරුවලට හුස්ම ගන්නට හැකි වන්නේ ලියන්නා එයට ජීවය කවන විට ය. හුස්ම ගන්න අකුරුවලින් යොවුන් හදවත්වලට ආමන්ත්‍රණය කරන දිල්හානි වික්‍රමරත්න අද හද බැඳි ගීයත් සමඟ එකතු වන්නේ ඇගේ ජීවිතයට මුසු වූ ගීතයක් ද රැගෙනය.

 

මේ ගීතය මුලින් ම ඇසුණේ කවදාදැයි මගේ මතකයේ නැතත් අද මේ ගීතය ජීවිතයට කා වැදී ඇති බව දැන් මට දැනෙනවා. නන්දා මාලිනියගේ මධුර මනෝහර සුගායනයෙන් ඇසෙන මේ ගීතය මගේ ජීවිතයේ මං වඩාත්ම විඳින.. විඳවන ගීතයක්.

මීට වසර බොහෝ ගණනාවකට ඈත අතීතයේ මේ ගීතය ඇසෙනකොට ඒ ගීතය හා සම්බන්ධව මට පෞද්ගලික බැඳියාවක් තිබුණේ නෑ. මුල් යුගයේ මේ ගීතය ඇහෙනකොට මට තිබුණේ කලා කෘතියක් කෙරෙහි බැඳෙන පොදු රසිකත්වයක් පමණයි. අනෙකකුගේ අත්දැකීමක් විඳීමේදී අපට දැනෙන්නා වූ සහ කම්පනය තමයි එතැනදී මේ ගීතය හා සම්බන්ධයෙන් මට තිබුණෙත්.

සුළං කපොල්ලේ

තැනූ කැදැල්ලේ

කෑලි කැඩී බිඳී වැටේ

නිල් කඳුරැල්ලේ..

එය ඉතා මිහිරි පද වැලක්. ඉමිහිරි වචන එකතුවක්. එවැනි අපූරු වචන අහුරක් මනෝහරණීය වූ හඬකට මුසුව සවන් සිප ගනිද්දි දැනෙන්නේ අපූර්ව වින්දනයක්. ඒ කාලයේ ඒක සැබෑවටම වින්දනීය හැඟීමක්. ඒත්..මේ විඳීම එක්ක කාලය ගත වෙලා යනවා. ජීවිතය වියපත් වෙනවා. අත්දැකීම්වල හැඩය වෙනස් වෙනවා.විඳීම රහසේම විඳවීමක් බවට පත් වෙනවා.

ඒ අවුරුද්ද 2012 දී තමයි සුළං කපොල්ලේ ගීතයේ විඳීම විඳවීමක් බවට පත් වෙන්න පාර හැදෙන්න පටන් ගත්තේ. බාධක අනන්තයක් මැද හරි අහිංසක කිරිල්ලියක් තමන්ගෙ කැදැල්ල හදනවා. අනන්ත වූ අපේක්ෂා දල්වා ගෙන, අටෝරාසියක් බාධක, කම්කටොලු, දුෂ්කරතා, කරදර, හිරිහැර විඳගෙන ඇය තමන්ගෙ කූඩුව හදා ගන්නවා.

අන්න ඒ කූඩුව; කැදැල්ල හදන්න පෝරුවට නගින පළවෙනි තත්පරේ ඉඳන්ම මේ කිරිල්ලියගෙ කැදැල්ල වෙත කුණාටුව හමන්න පටන් ගන්නවා. එතැන ඉඳන් දිගම දිග අවුරුදු හතරක් මේ කිරිල්ලි තමන්ගෙ පුංචි අත්තටු අස්සෙ හැංගුන යෝධ ආත්මය එක්ක මේ සුළං කපොල්ලේ හැදූ කූඩුව පරෙස්සම් කරගන්න මහ වෙහෙසක් දරනවා.

එක දවසක අකුණු කුණාටු වරුසා මැද රාජාලි ජෝඩුවක් මේ පුංචි කිරිල්ලිව කැදැල්ලෙන් එළියට ඇද දමලා කුරුල්ලා ඉගිළිලා ගිහින් වෙන කිරිල්ලියක් එක්ක අලුත් කූඩුවක් හදා ගන්නවා. මේ පුංචි කිරිල්ලී තනියම නෙවෙයි. තමන්ගෙ පුංචිම විහඟ පැටික්කිවත් තුරුලු කරන් අර මොරගසං වරුසාවේ පාරට බහිනවා.

සදාකාලිකව රිදුම් දෙන ආත්මය අසීරුවෙන් වාරු කරගෙන මේ අවතැන් කිරිල්ලී විසල් අවකාශයක තනිව පියාසර කරනවා. ජීවිතේ වැරදුණු තැන දි, පැටලුණු තැනදි, පැරදුණු තැන දී ඇයට කාගෙවත් හවුහරණක් නැතිව අවතැන් වූ කිරිල්ලී ජීවිත වාලුකාවේ අතරමං වෙනවා.

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී....

පිළිගනු ඈ කොයි යන්නද නැවත ඉගිල්ලී.....

කූඩුව කැඩුණු කිරිල්ලියකට වුණත් දුකම විතරක් ලබා දෙන්න තරම් දෛවය අකාරුණික නොවෙන නිසාම ද කොහෙද

එක දවසක දී මේ අතරමං වෙලා අවතැන් වුණ කිරිල්ලී එක තෙත හිතක් ළඟ නවතිනවා. අහම්බෙන් මුණ ගැහෙන ඒ තෙත හිත කූඩු කැඩුණු කිරිල්ලිට පිළිසරණ වෙනවා.

ඇයට මවක් පියෙක් නොමැත....................

ඇයට ලැගුම් දෙන්න සබඳ..

මේ තමයි ඇගේ ආත්මීය විලාපය..!

ඒ විලාපය එක්ක ඇය දවසක් අර තනිකඩ කුරුලු රජුන් ළඟ තමාගේ ජීවිතය අයදිනවා. මේ " ඈ " කවුද..?

ඇය.. වෙන කවුරුවත් ම නෙවෙයි. ඈ..මේ ඔබට කතා කරන මම යි. පළමු විවාහයේ අඳුරු වසර ගණනාවක මතක පොත අකුළා පසෙකටම විසි කොට දෙවන විවාහයකින් මතු අළු මතින් නැඟී සිටින්නට ආයාස දරනා ඒ ෆීනික්ස් කිරිල්ලිය මමම මිස අන් කිසිවෙක් නොවෙයි.

සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ කෑලි කැඩී බිඳී විසිරී ගිය පසුවත් තටු හයිය කිරිල්ලියන්ට ආයෙමත් පියාඹන්න පුළුවන්.

සුළං කපොල්ලේ

තැනූ කැදැල්ලේ

කෑලි කැඩි බිඳී වැටෙයි

නිල් කඳු රැල්ලේ

සුළං කපොල්ලේ

තැනූ කැදැල්ලේ

කෑලි කැඩි බිඳී වැටෙයි

නිල් කඳු රැල්ලේ

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී

දැන් ඔබ ළඟ සිටියි රුවක් විලස නොසෙල්ලී

යොදුන් ගණන් ඔබම සොයා ආ සියුමැල්ලී

පිළිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී

සුළං කපොල්ලේ

තැනූ කැදැල්ලේ

කෑලි කැඩි බිඳී වැටෙයි

නිල් කඳු රැල්ලේ

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ

කඳුළු පමණි ඇයට උරුම දවස මුළුල්ලේ

ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ

ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

සුළං කපොල්ලේ

තැනූ කැදැල්ලේ

කෑලි කැඩි බිඳී වැටෙයි

නිල් කඳු රැල්ලේ

 

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය - විශාරද නන්දා මාලිනී

 

 

Comments