බොලිවුඩය කලඹමින් හෙළි වුණු කත්‍රිනා-විකී පෙම් පුවත | සිළුමිණ

බොලිවුඩය කලඹමින් හෙළි වුණු කත්‍රිනා-විකී පෙම් පුවත

 

 

ජනප්‍රිය නළු නිළි දෙපළක්වන කත්‍රිනා කායිෆ් සහ විකී කෞෂල් මේ දිනවල බොලිවුඩයේ වඩාත් ම කතාබහට ලක්ව ඇතැයි පැවසෙන ආරංචියෙන් කියැවෙන්නේ කත්‍රිනා සහ විකී අතර ආදර සම්බන්ධයක් ඇති බවයි. 37 හැවිරිදි කත්‍රිනා සහ 33 හැවිරිදි විකී අතර ආදර කතාව උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇත්තේ දැන් වුව ද ඉන්දීය මාධ්‍යවල පළවන තොරතුරුවලට අනුව ඔවුන් ආදරවන්තයන් ලෙස ඇසුරු කිරීමට පටන් ගෙන ඇත්තේ මෙයට වසර දෙකකට කලිනු යි. එහෙත් දෙදෙනා පසුගිය කාලය පුරාම එය රහසක්ව තබා ගැනීමට කටයුතු කර තිබුණා.

 

ඒ නිසා කත්‍රිනා සහ විකී පිළිබඳ ඉදහිට අහන්නට ලැබුණු කටකතාවල ඇත්තක් තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් එකල ඔවුන් ගේ රසික රසිකාවන් තුළ පැවැතියේ කුතුහලයක් සහ අවිනිශ්චිත බවක්.මේ ගැන විමසූ අයට විකී පිළිතුරු දුන්නේ තම පෞද්ගලික ජීවිතය පිළිබඳ කාරණා තමා දැඩි සේ ආරක්‍ෂා කරන බවයි.

කෙසේ වෙතත් තවත් නළුවකු වන හර්ෂ් වර්ධන් කපූර් පසුගිය සතියේ එක්තරා මාධ්‍ය නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී කත්‍රිනා සහ විකී අතර ආදර සම්බන්ධයක් පවතින බව සනාථ කරමින් පැවැසූ කතාවක් නිසා දැන් මෙම සම්බන්ධය තවදුරටත් රහසක් නොවන තත්ත්වයට පත්ව තිබෙනවා. “විකී සහ කත්‍රිනා අතර ඇසුරක් තිබෙනවා. ඒක බොරුවක් නොවෙයි. මම මේක හෙළි කළා කියල දැන් මට ප්‍රශ්නයක් වෙයි ද දන්නෙ නැහැ. ඒත් මම හිතන්නෙ ඔවුන් ඒ ගැන බොහොම විවෘතයි කියලයි“. හර්ෂ් විකි සහ කත්‍රිනා පිළිබඳ පැවසුවේ එවැන්නක්.

විකී - කත්‍රිනා ගේ ආදරය ගැන වූ සැකය තහවුරු කළ තවත් සිද්ධියක් පසුගිය කාලයේ සිදු වුණා. එනම් ඔවුන් දෙදෙනා එකම දිනවල කොරෝනා වයිරස ආසාදිතයන් බවට පත් වීමයි. පසුගිය අප්‍රේල් මාසයේ විකී තමාට වයිරසය ආසාදනය වී ඇති බව මාධ්‍ය හරහා දැනුම් දුන් අතර ඊට දිනකට පසු කත්‍රිනා ද සිය ආසාදිත බව තහවුරු කළා.

රහසක් ලෙස රැකගෙන ආ මේ සම්බන්ධය හර්ෂ් විසින් හෙළිදරව් කිරීම ගැන කත්‍රිනා කෝපයට පත්ව සිටින බවටත් මේවන විට ආරංචි පැතිරෙනවා. හර්ෂ් සහ කත්‍රිනා එතරම් සමීප මිතුරන් නොවන බවත් සඳහන්. කත්‍රිනා ගේ සමීපතමයන් මේ සම්බන්ධයෙන් පැවසූ කතා ද පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වී තිබුණා. “කත්‍රිනා ගේ ආදර සම්බන්ධකම් ගැන මේ විදියට කතා කරන්න හර්ෂ් ට කිසිම අයිතියක් නැහැ. ඔහු කත්‍රිනා ගේ කිට්ටු යාළුවෙකුත් නෙවෙයි. යාළුවෙක් වුණත් පෞද්ගලික කාරණයක් ගැන හෙළි කරන්න කලින් කත්‍රිනා ගෙන් අහන්න තිබුණ නේදැ“යි ඔවුන් පවසා තිබුණා.

මෙයට කලකට පෙර කත්‍රිනා රන්බීර් කපූර් සම්බන්ධය වසර 5 ක පමණ කාලයක් ඇසුරු කිරීමෙන් පසු හදිසියේම අවසන් වුණා. ඊට පසු දිගු කලක් කත්‍රිනා කිසිවකු සමඟ ආදර සම්බන්ධයක් පටන් නොගත්තේ රන්බීර්ගේ සම්බන්ධය බිඳ වැටුණු පසු ඇය විශාල සිත් වේදනාවකින් පසු වු නිසා බව ඇගේ සමීපතමයන් තවදුරටත් සඳහන් කර තිබුණා. “ඒ නිසා මේ අලූත් සම්බන්ධ පුළුවන් තරම් නිස්කලංකව පවත්වාගෙන යන්නයි ඇයට වුවමනා වුණේ ”.

පසුගිය කාලයේ විකී කෞෂාල් ද හාර්ලීන් සෙති නමැති නිළියක සමඟ ආදරයෙන් බැඳී සිටියා. නමුත් 2019 වසරේ එම සම්බන්ධයත් හදිසියේම නතර වුණා. එයට හේතු වූයේ විකී, කත්‍රිනා සහ තවත් ජනප්‍රිය නිළියක වන භූමි පෙද්නෙකාර් ට සමීප වීම බවටත් එකල කටකතා පැතිරුණා.

කත්‍රිනා සහ විකී අතර පවතින සම්බන්ධය ගැන හෙළි කිරීමෙන් අනතුරු හර්ෂ් වර්ධන් ඒ ගැන සමාව ඉල්ලා ඇති බව පැවසෙනවා.

කත්‍රිනාත්, විකීත් දෙදෙනාම ඉතාම කාර්යබහුල නළු නිළි දෙපළක්. ඔවුන් පසුගිය කාලයේ රඟපෑ චිත්‍රපට කිහිපයක් ම ඉදිරි දිනවල තිරගත වීමට නියමිත අතර ඒ බොහොමයක් ප්‍රේක්‍ෂකයන් මහත් කැමැත්තෙන් බලා සිටින නිර්මාණ බව රහසක් නොවෙයි. විකී රඟපාන ‘Sardar Udham Singh‘, ‘The Immortal Ashwatthama‘, ‘Sam Bahadur‘, ‘The Great Indian Family‘, ‘ Mr Lele‘වැනි චිත්‍රපට තිරගත වීමට නියමිතව ඇති අතර කත්‍රිනා රඟ පෑ ‘Sooryavanshi‘, ‘Phone Bhoot‘,‘Tiger 3‘ වැනි චිත්‍රපට ද ඉදිරියේ දී ප්‍රදර්ශනය වීමට නියමිත යි.

 

Comments