ඔසු ගුණයෙන් මියුරු රසින් සපිරි කහ | සිළුමිණ

ඔසු ගුණයෙන් මියුරු රසින් සපිරි කහ

 

 

විෂබිජ නාශක ගුණයෙන් යුතු කහ බෝගය අතීතයේ සිටම ආයුර්වේදයේ සහ හෙළ වෙදකමෙහි ඖෂධයක් ලෙස මෙන්ම ආහාර පිසීමට එකතු කර ගන්නා කුළු බඩු අතරද ප්‍රධාන තැනක් ගන්නා අමුද්‍රව්‍යයකි. ආයුර්වේදයේදි ඒකීය ඖෂධයක් ලෙස ද ඖෂධ සංයෝගයක් ලෙස ද භාවිත කෙරෙන කහ හිසේ සිට පාදන්තය දක්වාම රෝග නිවාරණයට භාවිත කළ හැකියි. විවිධ ආගමික වත් පිළිවෙත් හා බැඳුණු සංස්කෘතික පැවැත්මක් ඇති ඉන්දීයාව මෙන්ම අප රටේද සිදුකරන සෑම දේව පූජා, ශාන්ති කර්මවලදී ද ප්‍රධානම අමුද්‍රව්‍යක් ලෙස කහ භාවිතයට ගැනෙයි.

ලොව පුරා කහ ඖෂධයකට අමතරව ආහාර වර්ණ ගැන්වීමට වර්ණකාරකයක් ලෙසද භාවිත කෙරේ. ආහාර සඳහා භාවිත වන්නේ කහ ශාකයේ අල සහ මල් ය. ඖෂධ සඳහා කහ ශාකයේ කොළ, මල්, අල සහ ගොබ යොදා ගැනෙයි.

වත්මනේ මිල අධික බෝගයක් බවට පත්ව ඇති නිසාම ඉවුම් පිහුම් සඳහා මෙන්ම විවිධ ප්‍රතිකර්ම සඳහා ද කහ සොයා ගැනීම ඉතා අපහසුය. එනිසාම පුංචි ඉඩ කඩක් හෝ තිබෙන ගෙවත්තක කහ පැළ කිහිපයක් පැළ කිරීමෙන් ඔබේ නිවෙසේ භාවිතයට හෝ සපුරා ගත හැකිය.

 

අත්බෙහෙත්

 

ශරිරයේ ඇතිවන ආසත්මිකතා සඳහා අමු පොල් කොළ දුමට කහ කුඩු දමා දුම ඇල්ලීමෙන් ගුණය ලැබේ.

සියඹලා කොළ, අමුකහ සමව ගෙන තම්බා හෝ කොටා ශරිරයේ ගැල්වීමෙන් ආසත්මිකතා අවම කරගත හැකි බව ආයුර්වේදයේ පෙන්වා දෙයි.

ඇදුම රෝගීන්ට ඇතිවන ආසත්මිකතාවලදී තැඹිලි කොළ සමඟ කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ඉක්මන් සුවය ලැබේ.

ගංසුරිය කොළ, පොතු, අමුකහ එකට දමා තැම්බු ජලය තුවාල සේදීම සඳහා භාවිත කෙරේ. සමේ තුවාල ඇති වූ විට කහ සමඟ කොහොඹ හෝ නිදිකුම්බා තම්බාගත් ජලයෙන් සිරුර සේදීමෙන් ගුණ ලැබේ. තදින් ලේ ගලන තුවාලයක කැපුමට කහ ආලේප කිරීමෙන් තුවාලය පැසවීමකින් තොරව වියළි යයි.

කහකුඩු, වියළි ඉඟුරු සමඟ මිශ්‍රකර විනාකිරෙන් අනා ශරීරයේ වේදනා සහිත ඉදිමුන ස්ථානයට පැලැස්තර යෙදිය හැකිය.

සමේ මේද ගැටිති ඇති විට අහු ගැට, අමු කහ, හාල් සේදූ වතුරෙන් තම්බා අඹරා ගැල්වීම යෝග්‍යය.

පෙනහළු පිළිකාවලදී කහ, ඉඟුරු, කුරුඳුපොතු සමඟ ගැනීම යෝග්‍ය අතර සමේ ඇතිවන පිළිකා තත්ත්ව වලදී කහ කුඩු කෝමාරිකා සමඟ මිශ්‍රකර ආලේප කෙරේ.

ඖෂධීය ගුණ

 

ආමාශගත තුවාල ඇති කරවන බැක්ටීරියා විනාශ කරයි.

මධුමේහය රෝගීන්ට ගුණදායක කහ කොලොස්ට්‍රෝල් රෝගීන්ගේ එල්. ඩී. එල්. කොලෙස්ට්‍රෝල් ප්‍රතිශතය අඩු කිරීමට උපකාරී වේ.

පොතු කබර රෝගයෙන් පෙළෙන්නන්ට කහ භාවිතයෙන් රෝග පාලනය වෙයි.

ආහාර රුචිය ඇති කරයි.

පණුරෝග සමනය කරයි.

අක්මාවේ ඇතිවන විෂ තත්ත්ව ඉවත්කර රුධිරය පිරිසුදු කරයි.

කහවල ඇති කර්කියුමින් (curcumin) මඟින් BDNF හෙවත් (Brain Derived Neurotrophic Factor) ස්නායු පෝෂී වර්ධක හෝර්මෝන වර්ධනය වීම නිසා අල්ෂයිමර්, විශාදය (Depression) වැනි මානසික රෝගවලින් පූර්ව ආරක්ෂාව සලසයි.

ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති කහ තරුණ බව රැකීමට, මැරුණු සම ඉවත් කිරීමට සේම සම පැහැපත් කිරීමට මහඟු ඖෂධයකි.

 

 

අමුකහ පානය

හොඳින් සෝදා පොතු ඉවත් කර ගත් අඟලක හෝ අඟල් දෙකක පමණ අමුකහ කැබැල්ලක්, කෝමාරිකා කැබැල්ලක මදය බ්ලෙන්ඩරයට දමා එයට ලෙමන් හෝ දෙහි යුෂ ස්වල්පයක්, ලුණු සහ සීනී අවශ්‍ය පමණට යොදා වතුර වීදුරුවක් පමණ එක් කොට හොඳින් බ්ලෙන්ඩ් කර පෙරා ගැනීමෙන් පසු පානය කරන්න.

උපදෙස්

වී.ජී. ස්වර්ණලතා

උමංදාව දේශීය ආහාර පර්යේෂණ ව්‍යාපෘතිය

 

ඡායාරූප -

තිලක් පෙරේරා

 

Comments