අවුරුදු අසූවේ මැහැල්ලට රඟපෑවේ දහඅටේදී | සිළුමිණ

අවුරුදු අසූවේ මැහැල්ලට රඟපෑවේ දහඅටේදී

 

ග්‍රේස් තෙන්නකෝන් අපේ වේදිකාවේ, සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය කලාව තුළ පෞරුෂවත් රංගනයක් සහිතව තමන්ගේ මුද්‍රාව සලකුණු කිරීමට සමත් වූ ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක්. වේදිකාවේ ස්වර්ණමය අවධිය සටහන් කළ වකවානුවක ‘මනරංජන වැඩවර්ජන‘, ‘අහස් මාලිගා‘, ‘හුණුවටයේ කතාව‘, ‘දුන්න දුනුගමුවේ‘, ‘දෑවැද්දෝ‘ වැනි සම්මානිත වේදිකා නාට්‍යවල ඇය රූපණය කළ කාන්තා භූමිකාව මේ මොහොතෙත් සංවාදයට ලක්වනවා.

 

ටෙලි නාට්‍ය කලාව ඇරඹුණු වකවානුවේ ලෙස්ටර් ජේම්ස් පීරීස් මහත්මයගෙ ‘ගිරය‘, ටයිටස් තොටවත්තයන්ගේ ‘රන් කහවණු‘, දැන් මැදිවිය ගෙවා දමන අප නව යෞවනයන් සේ අසීමිතව වින්දනය කළ නිර්මාණ. ග්‍රේස් එහි කළ රූපණ වික්‍රමය තවමත් බොහෝ දෙනකුට අමතක නෑ. ඒ විශිෂ්ට ප්‍රභාව යුග දෙකක සහෘද රසිකයන් ඇඳ බැඳ තබා ගන්න සමත් වුණු බව කිව යුතුමයි.

ගුවන් විදුලිය හා රූපවාහිනිය තුළ සුවිශේෂ මෙහෙවරකට දායක වුණු ග්‍රේස් තෙන්නකෝන් වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ලැබුවත් තවමත් සක්‍රීයව කලා කටයුතුවල යෙදෙනවා.

මේ දිනවලත් ග්‍රේස් තෙන්නකෝන් අපට පුංචි තිරයේ දකින්න පුළුවන්. ඒ ෂර්ලි පී.දෙලංකාවල අධ්‍යක්ෂණය කළ ‘ඕලු‘ටෙලිනාට්‍ය මේ දිනවල නැවත විකාශනය වෙනවා. ඇය රඟ පෑ අලුත්ම ටෙලි නාට්‍යවන ‘හදවිල අරණ‘ත් පුංචි තිරයේ දිගහැරෙනවා. ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන‘සකුණ පියාපත්‘,ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කරන ‘කොඩි ගහ යට‘ටෙලි නිර්මාණයටත් ඇය සම්බන්ධව සිටිනවා.

කාලෙකට පස්සේ ජීවිතයේ මතක සටහන් සමඟ මියුරු පිළිඳරක යෙදෙන්න යුග දෙකක් පුරා සම්මානිත රංගනය යෙදෙන මේ ජ්‍යෙෂ්ඨ ශිල්පිනිය අප හා එක් වුණා.

"මම උපන්නෙ රාජගිරිය මොරගස්මුල්ල කියන ගමේ. අපි කතෝලික පවුලක්. මට සහෝදර සහෝදරියො හය දෙනෙක් හිටියා. සහෝදරයො තුන්දෙනෙයි. සහෝදරියො දෙන්නයි. පවුලේ මද්දුමයා වුණේ මම.

මම ඉස්කෝලෙ ගියෙ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. පුංචි කාලේ ඉදලම පල්ලියේ ගීතිකා ගායනා කරන්න නාට්‍යවල රඟපාන්න මම ආසයි. මගේ මල්ලිලා ඉගෙන ගත්තෙ කොළඹ වෙස්ලි විද්‍යාලයේ. ඒ නිසාම අම්මත් එක්ක වෙස්ලි විදුහලට මම යනවා.

රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂකවරයෙක් වන ෆිලික්ස් ප්‍රේමවර්ධන එවකට ගුරුවරයෙක් විදිහට එම විද්‍යාලයේ කටයුතු කළා. අම්මාගේත් අනුදැනුම මත ඔහුගේ "දේව වරම"වේදිකා නාට්‍යයට මාව සම්බන්ධ කර ගන්නේ පිටපත යතුරු ලියනය කරන්න. පස්සෙ ඒ නාට්‍යයේ පෙළ මතක් කරන්න මට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. හෙන්රි ජයසේන මහත්මයාට මාව හඳුන්වලා දෙන්නේ එතුමා.“

වේදිකාවේ මං මුලින්ම රඟපෑවේ හෙන්රි ජයසේන අධ්‍යක්ෂණය කළ‘මනරංජන වැඩ වර්ජන‘නාට්‍යයෙ. ඉන් අනතුරුව ඔහුගේම ‘අහස් මාලිගා‘නාට්‍යයේ රඟපානවා. ඒ 1966 දී. ඒ වසරේ ජාතික නාට්‍ය උළෙලෙ රංගනය උදෙසා ජූරියේ විශේෂ සම්මානයක් මට ලැබෙනවා.

පසුව හෙන්රි ජයසේන ‘හුණුවටයේ කතාව‘වේදිකාවට ගෙන එනවා. එවකට මගේ වයස අවුරුදු දහ අටක් විතර ඇති. මම රඟපෑවේ මාලිගාවේ සේවිකාවකගේ චරිතයක්. නාට්‍ය පෙර පුහුණුවීම්වන එක්තරා දවසක ධර්මදාස කුරුප්පු සමඟ රඟපෑ දෙනවක හාමිනේට පුහුණුවීම්වලට එන්න ලැබුණේ නෑ.. හෙන්රි ජයසේන කවුරුහරි ඒ චරිතය අදට පුහුණු වෙන්න කියලා කීවා. මම කළා. එදාම අවුරුදු 80ක චරිතයක් මට බාර ගන්න සිද්ධ වුණා. හිතුවේ නැති හොඳ ප්‍රතිචාර ලැබුණා.

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ‘හොටබරි යුද්දේ‘සහ උපාලි අත්තනායක අධ්‍යක්ෂණය කළ ‘තහංචි‘ නාට්‍ය සුගතපාල ද සිල්වාගේ ‘දෑවැද්දෝ‘සහ ‘සත සහ සත‘නාට්‍යවලත්, ‘දුන්න දුනුගමුවේ‘වේදිකා නාට්‍යයටත් මා සම්බන්ධ වුණා. ඒ වකවානුව වේදිකාවේ ස්වර්ණමය යුගයක්.

 

ග්‍රේස් තෙන්කෝන්ට ගුවන් විදුලියේ පත්වීමක් ලැබෙන්නේ වර්ෂ 1970දීය. ඒ පටිගත කිරීම් සහ සජීවි වැඩසටහන් මෙහෙයවීමේ වගකීම සහිතවයි. දශක දෙකකට පසු ඇය ස්වදේශීය සේවය නාට්‍ය නිෂ්පාදිකාවක ලෙස ගුවන් විදුලි රඟමඬල, නවක රඟමඩල, විශ්ව සාහිත්‍යයෙන්, වැනි වැඩසටහන් කරනවා. පාන්දර පහට නැඟිට ගුවන් විදුලියේ වැඩට එමින් සති අන්තයේ වේදිකා නාට්‍යය සඳහා රටවටා ඇවිදිමින් ඇය ගත කරන ජීවිතය අතිශයින්ම රසවත් එකක්. රූපවාහිනී සංස්ථාව ආරම්භ කරන මුල් අවධියේ සිටම ඇය රූපවාහිනී නාට්‍යයවලට සම්බන්ධ වෙනවා. ඒ වකවානුවේ බෙහෙවින්ම ජනාදරයට පත් විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ‘සමන් තැන්න‘ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ‘රන් කහවනු‘බර්ටන් නිහාල් අධ්‍යක්ෂණය කළ ‘රුපියල් සත‘සහ ‘දඩබිම‘වැනි නිර්මාණවල ග්‍රේස් රඟපෑ භූමිකා තවමත් රසික සිත්තුළ රැඳී තියනවා. ඒ වගේම ඔෂින් ඇතුළු බෙහෙවින්ම ජනප්‍රසාදයට පත්වුණු සිංහල හඬ කැවූ නාට්‍ය ගණනාවකට ඇය හඬකැවීම් ශිල්පිනියක් ලෙස එකතු වෙනවා.

“ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගිරය‘ටෙලි නාට්‍යයට සම්බන්ධ වීම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ චරිතය අයිරාංගනී සේරසිංහ මහත්මිය රඟපාන්න ආරම්භ කරලා තිබුණේ. හදිසියේ ඇතිවූ රෝගාතුර තත්ත්වයක් නිසා ඇයට කෙටි කලක් විවේකයෙන් ඉන්න වෛද්‍ය උපදෙස් ලැබෙනවා. ඔය අතරතුරයි සහාය අධ්‍යක්ෂකවරයකු මා පිළිබඳ ලෙස්ටර් මහත්මයාට යෝජනා කරලා තියෙන්නේ. එතුමා මුණ ගැහුණු පසු රට තොට, රැකියාව, දේශපාලනය වැනි බොහෝ දේවල් ගැන සුහදව මා සමඟ කතා කළා. චරිතය ගැන කතා නොකරන්නේ මාව එයට සුදුසු නැතිව ඇති කියලා මම හිතුවා. මම එතුමාට කිව්වා සර් මේ චරිතයට මාව ගැළපෙන්න නැත්නම් නොගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා මා එතුමගෙන් සුහදව සමුගෙන ආවා. නංගිත් එක්ක හවස ගෙදර ඉන්නකොට ‘ගිරය‘සහාය අධ්‍යක්ෂකවරයා පිටපත සමඟ අත්තිකාරම් මුදලක් මට දීලා රූගත කරන දින සාකච්ඡා කළා.“

“මේ චරිතය කීපදෙනෙක්ම බලාපොරොත්තු වෙලා තිබුණත් අලුත් කෙනෙක් ගන්නයි ලෙස්ටර් මහත්තයාට අවශ්‍ය වුණේ. ඒ නාට්‍යය අපිට සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න අවුරුදු දෙකක් විතර ගියා. ඒ 88 -89 කාලයේ රටේ පැවති දේශපාලන අස්ථාවරවීම් එක්ක ඇතැම් ඇඳිරි නීති දවස්වලත් ගල්ගමුවේ ‘ගිරය‘රූගත කිරීම් කළා.“

“ඒ අතරෙ වසන්ති චතුරාණි සහ මා එක්ව විහිළු තහළු කරගන්නවා. අපි අංගුලිමාල දමනය කියලා හාස්‍ය නාට්‍යයක් පැත්තකට වෙලා කරනවා. ලෙස්ටර් මහත්තයා ඒක දැකලා මොනවද දෙන්නා කරන්නෙ කියලා ඇහුවා. නාට්‍යයක් කරනවා කියලා අපි අතර හිටිය කෙනෙක් කීවා. එහෙනම් අපිටත් බලන්න රඟපාන්න කියලා ලෙස්ටර් මහත්තයා කිවුවාම අපිට කර කියා කියාගන්න දෙයක් නෑ. ඒක ලෙස්ටර් මහත්තයාට බලන්න පුළුවන් නාට්‍යයක් නෙවෙයි. කට්ටිය හිනා වෙවී හිටියා. ට්‍රිලීෂියා බොතේජු සුවිශේෂ චරිතයක්. ඇයයි මමයි එකම කාමරයක නතර වෙලා හිටියේ. කොච්චර රෑ වූණත් ටික වේලාවක් හෝ පොතක් කියවලයි ඇය නින්දට යන්නේ. ඇය මගෙන් කාරුණාවෙන් කතා කරලා ඒ සඳහා අවසර ඉල්ලනවා. ඇය ඒ තරම් උසස් ගතිගුණ තිබුණු ජේෂ්ඨ රංගන ශිල්පිනියක්."

ග්‍රේස් ගුවන් විදුලියෙන් නික්මෙන්නෙ විශ්‍රාම යන්නටත් කලින්. වෘත්තීය ජීවිතයට සිදුවන දේශපාලන බලපෑම් එක්ක ඇය මේ තීන්දුව ගෙන දශක දෙකකට වැඩි කාලයක් සේවය කළ ගුවන් විදුලියෙන් ඉවත් වෙන්න තීරණය කරනවා. එතැන් සිට ඇගේ ජීවිතය පූර්ණය කරන්නෙ කලාව. ග්‍රේස් සිය සිනමා ජීවිතයේ මතක හා යළි කතා බහට එක් වන්නේ අපෙන් ඒ පිළිබඳ කළ විමසීමකින් අනතුරුවයි.

"සිනමාවට මුලින්ම සම්බන්ධ වුණේ සරත් කැල්ලපත අධ්‍යක්ෂණය කළ ‘සිහින සිතුවම්‘චිත්‍රපටයෙන් ඒ වගේම චන්දන සිල්වා අධ්‍යක්ෂණය කළ‘කවුළුවෙන් එහා‘චිත්‍රපටයේ මම රඟපෑවා. නමුත් ඒ චිත්‍රපට දෙකම තිරගත කරන්න ඔවුන්ට ඉඩක් ලැබෙන්නේ නෑ. මාව සිනමා ප්‍රේක්ෂකයන් අතරට රැගෙන ගියේ එච්. ඩී.ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘විසිදැල‘චිත්‍රපටයෙන්. එහි රංගනය වෙනුවෙන් සිනමා සම්මාන උලෙළ තුනක මට සම්මාන හිමි වෙනවා. පසුව ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද ගේ ‘සුලං කිරිල්ලී‘', මිල්ටන් ජයවර්ධන ගේ ‘බිතු සිතුවම්‘ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑවා. සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ‘ගිනි කිරිල්ලි‘,චිත්‍රපටය වෙනුවෙන් ජනාධිපති සම්මානය සහ හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි වුණා."

ඇය යුග දෙකක් තුළ අත්දැකීම් ලබපු ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක්. කතා බහ නිමාකරමින් අප ඇයගෙන් විමසුවේ අපේ තරුණ නිර්මාණකරුවන් ගැන.

" අප නිර්මාණකරණයට පිවිසුණු වකවානුවේ බොහෝ ඇසූ පිරූ තැන් තියෙන දැන උගත් තැන් ඇසුරු කරන්න ලැබුණා. ඇසුරු කළ හැකි හොඳ නිර්මාණ සාහිත්‍යයක් තිබුණා. නිර්මාණයක් එළිදක්වන්නට කලින් ඒ පිළිබඳ බොහෝ කතාබහ, හමුවීම්, පෙර පුහුණුවීම් සිදු වුණා. ඒත් අද ගොඩක් නිර්මාණ ඉතාමත් හදිස්සියකින් කරන බවක් දකිනවා. සංයමයෙන් කරන නිර්මාණයක් හමුවෙන්නෙ කලාතුරකින්.

මේ සියල්ල අතරෙ තිබෙන සතුට තමයි අලුත් පරපුරේ හොඳ නිර්මාණ ශක්තියක් තියෙන දරුවන් මුණගැහෙන එක. තරගකාරී නිෂ්පාදන එදා තිබුණු විනය සංයමය ගිලිහිලා ගියත් අප උපේක්ෂා සහගත විය යුතුයි. හොඳ හැදෑරීමකින් සහ කලාව ගැන විශ්වාසයකින් ක්ෂේත්‍රයට එනව නම් අපේ රටේ හොඳ නිර්මාණ ටිකක් අනාගතයේ බිහි කරන්න හැකි වේවි. අපේ මිනිසුන් අතර තවමත් අමතක නොවන කෙනෙක් වෙන්න මට ලැබුණේ අපි මේ ක්ෂේත්‍රයට දක්වපු ගෞරවය නිසා කියලා මට හිතෙනවා. ඇය කතාව නිමා කළේ සුපුරුදු ළගන්නා සිනාවෙන්.

 

ඡායාරූප -

දයාන් විතාරණ

 

Comments