රට පුරා ‘සෞභාග්‍යා’ පෙර පාසල් 14,000 ක් | සිළුමිණ

රට පුරා ‘සෞභාග්‍යා’ පෙර පාසල් 14,000 ක්

රටේ සෑම ග්‍රාම නිලධාරි වසමකටම එක් ‘සෞභාග්‍යයේ පෙර පාසල’ බැගින් පෙර පාසල් 14,000 ක් ඉදිකිරීමට රජය සූදානම් වෙයි. ඊට සමගාමීව වත්මන් රජය පෙර පාසල් ක්ෂේත්‍රය සඳහා රුපියල් කෝටි 3,540 ක් වෙන් කිරීමට සූදානම්ව සිටී.

ඒ අනුව සියලු පහසුකම්වලින් යුත් සෞභාග්‍යයේ පෙර පාසල් 150 ක් මුලින් ම දුෂ්කර ප්‍රදේශවල ඉදිකිරීම පිණිස එක පෙර පාසලකට රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදීම අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අරලියගහ මන්දිරයේදී පැවැති ‘පෙර පාසල් ගුරු අභිමානී’ ජාතික උත්සවයට අනුබද්ධව මෙම ප්‍රදානයන් සිදුවිය.

ඊට අමතරව රටේ දැනට පවතින පෙර පාසල් 1,500 ක් සඳහා ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනයට එක් පෙර පාසලකට රුපියල් ලක්ෂ 6 බැගින් ප්‍රදානය කිරීම ද අගමැතිතුමා අතින් සිදු විය.

මීට අමතරව පෙර පාසල් ගුරුවරුන් 25,000 කට අධික පිරිසකට එක් ගුරුවරයකුට රුපියල් 2500 බැගින් විශේෂ දීමනාවක් ලබාදීම ද මෙම උත්සවයේදී අගමැතිවරයා අතින් සංකේතාත්මකව සිදුවිය

Comments