අපවත්වී වදාළ කහතුඩුවේ විමලතිස්ස නා හිමි | සිළුමිණ

අපවත්වී වදාළ කහතුඩුවේ විමලතිස්ස නා හිමි

උඩුගහපත්තුවේ පැවිදි සංවිධානයේ සභාපති වූත් කහතුඩුව ශ්‍රී නන්දනාරාමාධිපති වූත් ශාස්ත්‍රවේදී කහතුඩුවේ විමලතිස්ස හිමිපාණන්ගේ අපවත්වීම කහතුඩුව ගමට පමණක් නොව මුළු උඩුගහපත්තුවටම බලවත් ශෝකයකි. බලවත් පාඩුවකි.

ප්‍රදේශයේ ජනතාවට පින් දහම් කර ගැනීමට නිතරම අවවාද අනුශාසනා කළ සංඝ පීතෘන්වහන්සේ නමක් වන උන්වහන්සේ වසර 30 කට අධික කාලයක් පාසල් හා විද්‍යායතන ගණනාවක දහම් ආචාර්යවරයකු ලෙස දහස් ගණනක් සිසු පිරිසකගේ දහම් දැනුම හා සාරධර්ම ප්‍රවර්ධනයට කටයුතු කළහ.

හොරණ විද්‍යාරතන මහ පිරිවෙන, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය හා වෑතර මහා විද්‍යාලය උන්වහන්සේ සේවය කළ අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛත්වය ගනී. විශේෂයෙන් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ උන්වහන්සේ වසර 10 කට අධික කාලයක් සේවය කරන කාලයේදී ප්‍රදේශයේ ආගමික සාමාජික ජාතික කටයුතු සඳහා ද අනුශාසකත්වය හා නායකත්වය ලබාදී ඇත.

කහතුඩු‍ෙව් විමලතිස්ස මාහිමියන් 1987 දී කහතුඩුව ශ්‍රී නන්දනාරාමයේ විහාරාධිපති ධුරයට පත්වූහ. පසුව උන්වහන්සේ මුලින් ම කළේ එවකට අරඹා තිබූ ශ්‍රී සරණතිස්ස දහම් පාසල සංවර්ධනය කිරීමට කටයුතු කිරීමයි. තම ගුරු වැටුපෙන් ලැබෙන මුදල වැය කොට අලුත් ගොඩනැඟිලි ඉදිකර අලුත් දහම් සිසු සිසුවියන්ට එහි ඉඩ කඩ සැලසූහ. පසුව අලුතින් ගුරු මණ්ඩලය බඳවාගෙන දහම් පාසලේ දහම් අධ්‍යාපනය ප්‍රමිතිගත ඉහළ මට්ටමට පත් කළහ.

උන්වහන්සේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව සිදු කළ වැදගත්ම කාර්යය වන්නේ චෛත්‍ය රාජයාණන්වහන්සේ‍ හා විහාරස්ථානය සුරකිමින් ප්‍රාකාරයක් ඉදිකිරීමයි. මේ සඳහා ගමේ පරිත්‍යාගශීලීහු රුපියල් ලක්ෂ 20 ක් පමණ පරිත්‍යාග කළහ.

ඊට පසු විමලතිස්ස හිමියෝ කළ සුවිශේෂීම කටයුත්ත වූයේ විහාරස්ථ ධර්ම ශාලාව පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමට නායකත්වය ලබාදීමයි.

විහාරස්ථාදායක සභාව කුලඟන සමිතිය, සරණතිස්ස දහම් පාසල හා ප්‍රදේශවාසී පරිත්‍යාගශීලීහු මෙහිදී පෙරමුණ ගෙන කටයුතු කළහ. ඒ යටතේ ධර්මශාලාවේ පියස්සට සම්පූර්ණයෙන් අලුත්වැඩියාව හා බිම විසල් කිරීම ප්‍රධාන ලෙස සිදු කෙරිණි.

මේ මඟින් ඉදිරි වසර 30 – 40 කට ප්‍රදේශවාසීන්ට ධර්මය ශ්‍රවණය කිරීමට හොඳ ධර්මශාලාවක් ලැබී ඇත.

ඊට අමතරව විහාරස්ථානයට නව විදුලි පද්ධතියක් සවිකිරීම, අට විසි බුදු කුටි සහිත නවීන මාදිලියේ බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීම, වැසිකිලි කැසිකිලි පද්ධතියන් ඉදිකිරීම උන්වහන්සේ අනුශාසනා ඇතිව කළ සද්කාර්යයන් අතර වේ.

මේ අයුරින් වසර 30 ක් මෙරට සිසු පරපුරේ නැණැස නංවාලමින් හා තවත් වසර 30 ක් උඩුගහපත්තුව හා කහතුඩුව ප්‍රදේශවල ආගමික සාමාජික කටයුතුවල පෙරමුණ ගත් අපවත්වී වදාළ ශාස්ත්‍රපති දිවයිනටම සාම විනිසුරු කහතුඩුවේ විමලතිස්ස හිමිපාණන්ට නිවන් සැප ලැබේවා’යි අපි ප්‍රාර්ථනා කරමු.

Comments