“ජීවිතය නොව ආදරය ඉල්ලා” නික්ම ගිය ගේය පදරචකයා නයනසේන වන්නිනායක | සිළුමිණ

“ජීවිතය නොව ආදරය ඉල්ලා” නික්ම ගිය ගේය පදරචකයා නයනසේන වන්නිනායක

 

නයනසේන වන්නිනායක නම් වූ සොඳුරු මිනිසා ඉකුත් දාහතර වැනිදා ජීවන ගමනේ 63 වැනි විය පසුකරමින් සිටියදී දිවිගමන නිමා කළේය. ඒ පිළිකා රෝගී තත්වයකට ගොදුරු වීමේ හේතුවෙනි. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවකු වූ ඔහු කලක් මැදපෙරදිග සේවයේ යෙදී සිටියේය. නමුදු රටේ කවුරුත් ඔහු හඳුනන්නට වුයේ සම්මානනීය අරුත්බර ගී පදරචකයකු මෙන්ම කවියකු ලෙසිනි.

 

විදේශනයන් හී රැකියාව කළ ද යුරෝපා රටවල සංචාරයේ ගිය ද ඔහු ගැමිකම අමතක නොකළ අයෙකි. තමන් උපන් රටට රටේ මිනිසුන්ට අසීමිතව ආදරය කළ අයෙකි.

“මම ගමේ මිනිහෙක් බං“ කුමක් හෝ කතාවක යෙදි සිටින අතර ඔහු පවසයි.

සැබැවින්ම ඔහු ගමේ මිනිහෙකි. උතුරු මැද පළාතට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චයේ ගොවි පවුලක 1957 ඔක්තෝබර් 03 වැනි දින උපන් නයනසේන වන්නිනායක නවදෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය.

“අපේ තාත්තා ටිකිරි බණ්ඩාර වන්නිනායක. අම්මා සුමනාවති දිසානායක මම පවුලේ අටවැනියා. අයියා තමයි අපි හැමෝගෙම අධ්‍යාපනයට පෙර ගමන් කරුවා වුණේ. අපට විතරක් නෙමෙයි ගමටත් ආදර්ශයක් වුණේ අයියා. අයියා මුලින්ම ඉගෙන ගත්තේ මහවිලච්චිය තක්ෂිලා විද්‍යාලයේ. දැන් නම් ඒ පාසල මහා විද්‍යාලයක්. ඉන් පස්සේ අයියා අනුරාධපුර මහා විද්‍යාලයේ ඉගනෙ ගත්තා. ඊට පස්සේ හාර්ඩි තාක්ෂණ විද්‍යාලයට ඇතුළු වුණා. ඉන් පස්සේ අයියා මොරටුව විශ්වවිද්‍යාලයට වැඩිදුර ඉගෙන ගත්තා. අයියා සිවිල් ඉංජිනේරුවකු ලෙස කටයුතු කළා. අයියා හැමවිටම අපි ගැන සොයා බලපු අපේ ජීවිත ගොඩනගා ගන්න හැමවිටම උදව් කළ කෙනෙක්. “

නන්ද සිය සොයුරා පිළිබඳ පවසන්නේ බොහෝ ආඩම්බරයෙනි.

ඉංජිනේරුවකු වූ නයනේ හරි අපූරු නිර්මාණශිල්පියෙකි. ඔහු ආදරය ප්‍රේමය වූවත් දුටුවේ හරි අපූරු විදිහකටය. ඔහු ලියූ හැම ගීයකටම, කවියකටම ඔහුට ඔහුගේම කතාවක් ඇත.

ක්‍රිශාන්ත එරන්දක ගයන “තිසා වැව ළඟ රළපනාවේ“ ගීතය ලියන්නේ ඔහු ඒ පරිසරයට පෙම්බැදි නිසාය. සිය ගමට පමණක් නොව මේ මුළුමහත් පරිසරයටම ආදරය කළ ඔහු ඒ ඒ අත්දැකීම් ඔස්සේ ලියූ අපූරු ගී සංකල්පනා ඇතුළත් තිසා වැව ළඟ රළපනාවේ ගීත සංග්‍රහයට රාජ්‍ය සම්මාන හිමි විය.

“මම උපන්නේ රනෝරාව කියන ගමේ. වැඩිපුරම ජීවත් වුණේ මහ විලච්චියේ. මගේ තාත්තා හොඳ ගොවියෙක්. දුෂ්කර ගමක ඉපඳුන අපට අධ්‍යාපනය කියන එක හීනයක් වූණා. ඒත් දහසක් බාධක මැද්දේ මං මගේ ගමන ආවා.“

අතීතයේ දවසක ඔහු ගැන ලියන්නට තොරතුරු විමසූ විටෙක නයනේ කිව්වේ බොහෝම හැඟිම්බරව.

මැදපෙරදිග රැකියාවෙන් සමු අරන් පැමිණි ඔහු ලේඛන කලාවට වැඩි නැඹූරුවක් දැක්වීය යැයි අපට සිතෙන්නේ ඔහු විසින් ලියූ අපූරු ගී නිර්මාණ කවි ආදිය රසවිඳින විටය. ප්‍රවීණ ගායන වික්ටර් රත්නායක, අමරසිරි පීරිස්, සමන් ලෙනින්, ක්‍රිශාන්ත එරන්දක වැනි ප්‍රවීණ ගායන ශිල්පින්ට මෙන්ම නයනෙ ආධුනික ශිල්පීන්ටද ගීත පද ලියා දුන්නේය.

“මම නයනෙ අයියාව දැකලා තිබුණේ නෑ. බොහෝම කාලෙකට පස්සේ තමයි මම ඔහුව දැක්කේ . ඔහුගේ පෙලඹවීමටයි මම ගී ගයන්න පටන් ගත්තේ කිව්වොත් නිවැරදියි. මා මුලින්ම ගැයූ තුන් මංසලේ හමුවෙනතුරා ගීතයට 2016 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී ප්‍රශස්තම ගායනයට නිර්දේශ වුණා. නයනේ අයියා ලියූ ගීත පහක් මම ගායනා කර තිබෙනවා. ඔහු බොහෝම නිර්ව්‍යාජි මිනිසෙක්.“

ගායන ශිල්පී නිලක්ෂි හැලපිටිය පවසන්නීය.

ඔහු ප්‍රේම ගීත ලිව්වේ බොහෝ සීරු මාරුවට අකුරු තෝරාගෙනය.

අකුරක් හොයමි ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහයය. ගීතයත් කවියත් හැරුණ විට ඔහු තීරු ලීපි ලීවේය. කෙටිකතා ද ලීවේය. කෙටිකතා පොතක් කිරීමේ මහත් ඕනෑකමින් සිටි ඔහු කෙටි කතා ලියමින් එකතු කරමින් සිටියේය. කොළඹ පැමිණි දිනෙක ඔහු ලේක්හවුසියට ගොඩවැදි මිහිර ප්‍රධාන කර්තෘ ජගත් හේවාපන්නයන් හමු වී “වන්නිගේ කොළම“ තීරු ලිපි සංග්‍රහය සඳහා පිටකවරය නිර්මාණය කරන්නට ද බාර දුන්නේය. අප්‍රේල් මාසයේ දිනෙක ඔහු ජගත් හේවාපන්න අමතා පවසා තිබුණේ තමන් අසනීපයෙන් පෙළෙන නිසා පොතේ කවරය ඇඳිම මඳක් ප්‍රමාද කළාට කමක් නැතැයි කියාය.

එහෙත් ඔහු අසනීපයෙන් සිටින්නේ කුමන රෝගී තත්වයෙන් දැයි කියා කිසිවෙක් නොදැන සිටියේය. දුරකථන වලට ඇමතීමද නැවති ගියේය.

ඉකුත් අප්‍රේල් මාසයේ පහළොස්වන දා ඔහු තමන් ගැන මුහුණු පොතේ තැබු සටහනත් සමඟ ඔහු රෝගීව සිටින බව කවුරුත් දැන ගත්හ.

“මසක් පුරා මහේ අසනීප තත්ත්වය ගැන සොයා බලා උදව් උපකාර කළ, කරන හැමෝටම ගොඩක් ස්තූතියි ඉක්මණින් හමුවෙමු.

එතෙක් දුරකතන ඇමතීමෙන් වැළකීම මහේ අසනීපයෙන් ගොඩ ඒමට කරන ලොකුම උපකාරයක්.. අසීරුතා මැද දියණිත්, මිනිබිරියත් මා ළඟ සිටිම මට හුස්ම පවන් පොදකි.

නැවතත් ආදරයෙන් කියමි. දුරකතන ඇමතුම් දෙන්න එපා.

මේ වසර සුබ නව වසරක් කිරීම අපේ අතේ.

මට ඕනේ ජීවිතය නොවේ,

ආදරයයි.....

ආදරෙයි“

ඔහු අවසාන වශයෙන් එසේ ලීවේය.

“අයියා කිසිම දවසක තමන්ගේ දුක ගැන කරදර ගැන කාටවත් කියන්න ගියේ නෑ. ඒ එයාගේ හැටි. අයියාගේ මරණය හීනයක් වගෙයි. අම්මා දැන් පසුවෙන්නේ අසූපස්වැනි වියේ. ඇයට අයියාගේ අවසන් මොහොතට යන්න වුණේ නැහැ. අයියාට ආදරය කරන අය අයියා වෙනුවෙන් දුක් වන බව දන්නවා.“ නන්ද පවසන්නේ දුකෙනි.

අද වන විට මරණය අපට සුලබ දෙයක් වෙමින් තිබේ. එනමුදු මෙවන් හිත හොඳ මිනිසුන්ගේ මරණය වඩාත් තදින් දැනෙන්නේ ඔවුන්ගේ පැවැත්මේ පිළිවෙළ නිසාය.

රජ රටට පමණක් නොව රටටම, ලෝකයටම ආදරය කළ නයන පරිසරයට බොහෝසෙයින් පෙම්බැන්දේය. ඔහුගේ දේශපාලනය අන්තගාමි එකක් නොවීය. ඔහු හැමවිටම ප්‍රගතිශිලී අදහස් දැරු අයෙකුය.

රට යහපත්වනු දැක්ම ඔහුගේ අභිලාශය විය.

කාටත් ආදරය කළ නයනෙ සිය දුව සම්මානි, පුතා අභිෂේක, බිරිඳ සුමේධා මව ආදි වූ නෑදැ පරපුර පමණක් නොව ඔහුට ආදරය කළ හැම නෙතටම කඳුළක් එක්කර යන්නට ගියේය.

ජීවත් වුණ කාලය තුළ ඔහු මේ සමාජයට දායාද කළ නිර්මාණ බොහෝ කාලයක් පවතිනූ ඇත. ඉදින් ජීවත් වූ නයනෙට වඩා මිය ගිය නයනෙට මිනිසුන් තව තවත් ආදරය කරනු ඇත..

මේ ඔහුගේ වදන්ය .

“මං ගිහිං එන්නම් ....

දනී, මා වාගෙම ඔබත් එය

යළිත් අප මෙහි හමු නොවෙන බව

සසර දිනෙකදි යළි දකිනතුරු

මං ගිහින් එන්නම්....“

(ගයන්නේ-පුබුදු සංජීවනී රාජනායක)

 

Comments