සුදු කළු වර්ණ අතර ජීවිතය සොයන නිර්මාණකරුවා | සිළුමිණ

සුදු කළු වර්ණ අතර ජීවිතය සොයන නිර්මාණකරුවා

 

“ප්‍රබන්ධය යනු නිර්මාණාත්මක නව නිපැයුමක් මෙන් ම පිළිගත හැකි විශ්වසනීයත්වයක් ද අවැසි කෘතියකි. එමෙන් ම අසීමිත ප්‍රබන්ධ හැකියාව යනු යථාර්ථයෙන් ප්‍රබන්ධය වෙන් කළ නොහැකි සේ ඉදිරිපත් කිරීම ය. අනෙක් පසින් ගත් විට යථාර්ථයේ ව්‍යුහ මැනීමට නිරණායක ද නැත.” කියා කියන්නේ ජේම්ස් වුඩ් ය. යථාර්ථය එපරිද්දෙන් ම ලියනවා කියා නැඟෙන සමහර චෝදනා ගැන දෙවරක් සිතන්නට සිදු වෙන්නේ ඒ නිසා ය.

 

ප්‍රබන්ධමය කාර්යයේදී ප්‍රබන්ධකරුවා ඇත්ත වශයෙන්ම ස්වකීය හෝ අන්‍ය අත්දැකීම එපරිද්දෙන් ම සටහන් කරනවා යන්න යම් හාස්‍යමය කරුණකි. එය කිසිවිටෙකත් එසේ නොවිය හැකි යැයි අප කියන්නේ පුවත්පත් වාර්තාවක පවා නිර්මාණ කෘතියකට සාපේක්ෂව යම් නිර්මාණීය ලක්ෂණ අන්තර්ගත වෙන බැවිනි. සිදුවීම සිදු වී ඊළඟ තත්ත්පරයේදී මනසේ පවා එකී සිදුවීමට අදාළ පරිකල්පන ගොඩ නැගේ. එවිට අප මතකයේ තිබෙන්නේ ඇත්තටම සිදුවූ සිදුවීමම දැයි සිතා බලන්නට මම ඔබට ඇරයුම් කරන්නෙමි. එය අප නැණ හා විඳි පමණ යම් යම් දෑ එකතු වීම සිතා මතා සිදුවන්නක් නොවෙයි.

නිමැවුම කියන්නේ ම එවන් වූ අපූර්ව දෙයකි. සිදු විය නොහැක්කක් නැති බවට වන එකම සාධකය නිර්මාණයයි. නිර්මාණකරණයේ නිරන්තර අත්හදාබැලීම් කරන ලේඛකයකුගේ නිර්මාණ ගැන මෙවර නිමැවුමක පෙරනිමිති සොයන්නට අප සිතුවේ පෙරකී ලක්ෂණ අත්‍යන්තයෙන්ම ඔහුට අදාළ නිසා ය. “අක් දහර” බෙහෙවින් කතාබහට ලක්වෙන්නට බලපෑම් කළ හේතු සාධක අතර, පවුලක සමාජීය අත්දැකීම් එක පෙළට විදාරණය කෙරෙන, මුල-මැද-අග සහිත කතාවකි. “අක් දහර” ජයසිරි අලවත්ත නිර්මාණකරුවාගේ පළමු ප්‍රබන්ධ කෘතියයි.

‘ “අක් දහර” ප්‍රබන්ධය සඳහා මුඛ්‍ය වශයෙන් ම මා පාදක කරගන්නේ මගේ ම ජීවන අත්දැකීමක්. එය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් මා මවු සෙනෙහස යනු කුමක් ද පවා නොහඳුනන්නෙක්; මතකය දිවෙන අතීතයේ සිට දාහත් වසරක් පමණ යන තුරු හැදී වැඩෙන්නේ “කුඩම්මා” යටතේ. කුඩම්මාවරු සියයක් ගතහොත් ඒ අතුරෙන් අනූනවයක් ම ඇගේ දරුවා නොවන දරුවන්ට සහ ඇගේ දරුවන්ට සලකන්නේ දෙවිදියකට යි. මා මේ කෘතිය ප්‍රබන්ධය රචනා කිරීමේ දී මගේ කුඩම්මා වෙතින් මා ලද කටුක අත්දැකීම් මෙන් ම වෙනත් කුඩම්මාවරුන්ගෙන් වෙනත් දූ පුතුන් ලද අත්දැකීම් ද එකතු කළා. අපට නිරන්තරයෙන් ඇසෙන්නට ලැබෙන්නේ වැඩිහිටි පිරිමින් හෝ තරුණ පිරිමින් විසින් බාල දැරියන් හෝ දරුවන් ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබූ අවස්ථා යි. නමුදු වැඩිහිටි සහ තරුණ කාන්තාවෝ ද බාල දූ පුතුන් ලිංගික අපයෝජනයට ලක් කර ඇති අවස්ථා මා අසා තියෙනවා. එම අත්දැකීම් ද මෙම කෘතියට මුසු කළා.

ඇතැම් පිරිමි අවස්ථාවාදී ලෙස කාන්තාවෝ රවටනවා. හිත හොඳ කාන්තාවෝ ජීවිත කාලයේ දී එක්වරක් නොව කිහිප වරක් ම මෙවන් පිරිමින්ට රැවටෙනවා. රැවටී තමන්ගේ ජීවිත සිය කැමැත්තෙන් ම අඳුරු අගාධයක් වෙත හෙළා ගන්නවා. මෙහි එන “වඳ ගැහැනියක” යැයි සමාජය පිළිගන්නා විමලාවතී ද එවන් චරිතයක්.

දරුවන් අහිමි විමලාවතී, සල්ලාල බෙනට් සහ අනෙකුත් චරිත සියල්ල තුළ ජීවත් වන්නේ මා සැබෑ ලෝකයේ දී දුටු චරිත. නමුදු මෙය ප්‍රබන්ධයක් ලෙස මා හඳුන්වන්නේ ඒ එක් එක් චරිත තුළ ජීවත්වන අනෙක් චරිත සහ ඒ ඒ චරිත විසින් කරනු ලබන ක්‍රියා සියල්ල එක් පුද්ගලයකුගේ ක්‍රියා නොවන බැවිනි; එනම් මා දුටු විවිධ පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ එක් චරිතයක් තුළට බහාලු බැවින්. තව දුරටත් පැහැදිලි කරන්නේ නම් මා මෙතෙක් ඇවිද ආ ජීවන මාවතේ දී හමු වූ විවිධ වර්ණ සහ හැඩවලින් යුත් මිණි මුතු ගොන්නක් එකම හුයකින් ඇමිණීමක්‘

තමා විඳි දෑ හා විඳ වූ දෑ එක් කර ප්‍රබන්ධයක් නිර්මාණය කර තම සිත නිදහස් කරගත් ජයසිරි එය එවන් වූ අත්දැකීම් සහිත සියල්ලන් වෙත තිළිණ කරයි. නිර්මාණකරුවා කියන්නේ එවැන්නකුට ය.

ජයසිරි ලිංගිකත්වයේ අක්මුල් ගැන කතා කරන්නේ ඊනියා සදාචාරාවාදීන්ට අභියෝග කරමිනි. කතුවරයා සදාචාරවාදීන් පිටු දකිනා ලිංගිකත්වය, නොබියව සිය නිර්මාණය හරහා ගෙන එන්නේ බොහෝ දෙනා දන්නා කුණුහරුප ලෙස නොව, සංවර එහෙත් ආකර්ෂණිය භාෂා විලාසයකිනි. ජයසිරි අලවත්ත තම කෘතිය හරහා කුන්නදීලා වෙනුවෙන් සමස්තය දකින්නට, වට්ටෝරුගත ලේඛනයෙන් බැහැරව, තෙවන ඇසක් පාඨකයා හමුවේ විවර කර දෙන්නට උත්සාහ කරයි. “තිත් මල්” බිහිවෙන්නේ මෙකී ප්‍රයත්නයේ ඵලයක් ලෙසිනි.

‘මගේ දෙවන ප්‍රබන්ධය වන “තිත් මල්” හි අන්තර්ගත චරිත ද සමාජයේ විවිධ තැන්හි දී විවිධ අවස්ථාවලි දී හමු වූ, ඇසු දුටු චරිත ය. එහි එන කුන්නදී 87- 89 යුගයේ දී දේශ ප්‍රේමි සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ සොයුරෙකුගේ බිරිඳක්. අරගලයට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ තුනටියෙන් පහළ කොටස අප්‍රාණික වෙනවා. එහෙත් ඔහු අවංකව ම සිය බිරිඳට පවසා ඇත්තේ බිරිඳගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇය කැමති වෙනත් පිරිමියෙකු ඇසුරු කරන ලෙසටයි.

කුන්නදී සහ ලාලිනී ද ඒ ආකාරයෙන් කෘතියට එකතු වන අතර මන්රිසි බඳු චරිතයක් ද මට හමුවී තිබුණා. එනම් සිය පියාගේ නැඟණිය සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන එය ලිංගික සබඳතාවක් දක්වා වර්ධනය කරගත් පුද්ගලයෙක්. රිය අනතුරකට මුහුණ දී, බාහිර තුවාල කිසිවක් ම නොතිබුණ ද ඔහු ලද කම්පනය හේතුවෙන් ඇවිද ගැනීමට නොහැකි වූ සොහොයුරකු වෙනුවෙන් සිය ජීවිත කාලය ම කැප කළ සොයුරියක ද මට මුණ ගැසී තිබෙනවා.

එබඳු කම්පනයකට ලක්ව ශාරීරික අබාධයකට ලක් වන පුද්ගලයකු තවත් එබඳු ම කම්පනයකින් යළි පෙර තත්ත්වය පත්විය හැකි බව විදෙස් සඟරාවක පළවූ ලිපියක පරිවර්තනයක් මීට වසර ගණනකට ඉහත දී මට කියවන්නට ලැබුණා.

මා “තිත් මල්” ප්‍රබන්ධය රචනා කළේ යට සඳහන් කළ සියලු සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් ඒ සිද්ධි අතරට මගේ පරිකල්පනයත් එක් කරමින්.

නිර්මාණයක් බිහි වන්නේ එකම අත්දැකීමක් ගලා යෑමක් ලෙස නොවේ. ඒවා සියල්ල ජීවන ගමනේ තැනින් තැන විවිධ හේතු සාධක මුල් කරගනිමින් ඇති වෙයි. ජීවන ගමන සේම මේවා ද මං සලකුණු ය. ඒ සියල්ල කලතා ජීවන පරිඥානය උදෙසා අප වෙත තිළිණ කරන්නේ නිර්මාණකරුවන් ය.

ජයසිරි නිර්මාණකරුවෙක් ලෙස ස්වකීය අනන්‍යතාව සටහන් කරන නිර්මාණ ඉසව් කිහිපයක් වේ. ඔහු වඩාත් ප්‍රචලිත අදීන විචාරයකයකු සේ ය. එමෙන් ම හේ නව පරපුරේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ වෙනුවෙන් ස්වකීය විචාරාක්ෂිය වැඩිපුර යොමු කිරීමට කැමැත්තේ ය. ප්‍රබන්ධකරණයට ඔහු එළැඹෙන්නේ ඔහුගේ විචාර කලාවේ යම්කිසි ආස්ථානයක් සටහන් වීමෙන් අනතුරුව ය. ඉන් අනතුරුව හේ බහුවිධ කලා නිපුණතාවකට පාර කපා ගන්නේ තියුණු වින්දනය විසින් ඇති කරන ලද දැක්ම නිසාය. හේ නිරන්තර නව අත්හදාබැලීම්වලට කැමැත්තේ ය. භාෂාත්මක ප්‍රයෝග; විශේෂයෙන් පරිගණකයේ යතුරුලියන පහසුව වෙනුවෙන් අකුරු හැඩතල වෙනස් විය යුතුය යන ආස්ථානයේ සිටින්නෙකි. වෙනස් හැඩතල සොයන ඔහුගේ කවි කලාව ද නිර්මාණකරණයේ වර්ණ සෙවීම වෙනුවෙන් උපයුක්ත වූවකි.

‘අරුමැසි ම කවි‘ කාව්‍ය සංග්‍රහයේ මා වඩාත් ප්‍රිය කරන කවියකින් නිමැවුමක පෙරනිමිති සොයන්නට මා උත්සුක වූයේ එබැවිනි.

කළු පැහැය ලස්සන ද?

වර්ණවත් කළෙමි

මා සතු සියලු වර්ණ ගෙන

පිළිවෙළකට

නෙක නෙක පැහැ යොදා

වත්මන ඒ පැහැ සියල්ල සෝදා දමා

ඇය...

තවරා ගන්නට සුදානම් ය

කළු ම කළු වර්ණය

‘මේ කාව්‍ය නිර්මාණය සඳහා පාදක වන්නේ: සරසවි ශිෂ්‍යාවක්, ඇගේ ග්‍රාමීය පෙම්වතා සහ සරසවි ඇදුරෙක්. මේ ශිෂ්‍යාවගේ සියලු අධ්‍යයන කටයුතු සඳහා වියදම් කරන්නේ ගමේ වෙසෙන පෙම්වතා.

පෙම්වතිය සරසවියේ දී ඇයට උගන්වන ආචාර්යවරයකු සමඟ පෙමෙන් බැඳෙනවා. අවසාන විභාගයට පෙනී සිටින තෙක් ගමේ පෙම්වතා මේ කිසිවක් ම දැන සිටියේ නෑ. එය දැනගත් මොහොතේ එම ආචාර්යවරයා පිළිබඳ සොයා බැලීමේ දී ඔහු විවාහකයකු බවත්, බිරිඳ විදෙස් රටක අධ්‍යාපනය ලබන බවත් දැනගන්නට ලැබෙනවා.

ග්‍රාමීය පෙම්වතා මේ පිළිබඳ පෙම්වතිය දැනුවත් කළත් ඇය එය පිළි ගන්නේ නෑ.

එම සිදුවීමයි මේ නිර්මාණයට මා ප්‍රස්තුත කර ගත්තේ‘

ජයසිරි අලවත්ත ලැබූ මේ අත්දැකීම ම සරසවියේ දී අප ද විඳ ඇත්තෙමු. එහෙත් ඒ අවස්ථාවේ ඒ වෙනුවෙන් උපන් වේදනාවක් මිස එතනින් එහාට ඒ සිදුවීම අපි අමතක කළෙමු. නිර්මාණකරුවා අප වැනි නොවේ; ඔහු ඒවා සිය හදවතේ තැන්පත් කරගන්නේ තවකකුගේ කඳුළකට ජීවන පරිඥානයක් එක් කරන්නට ය. ඕනෑම වර්ණයක් සුන්දර වර්ණයක් වන්නේ දකින කෙනා අනුවය.

Comments