රට වෙනුවෙන් රහස් ලියවිල්ලක් සපත්තුවේ සඟවාගෙන මදුරාසි ගිය අප්‍රකට වීරයා | සිළුමිණ

රට වෙනුවෙන් රහස් ලියවිල්ලක් සපත්තුවේ සඟවාගෙන මදුරාසි ගිය අප්‍රකට වීරයා

 

මෙරට ඇති වූ සිංහල- මුස්ලිම් කෝලාහලයේදී ඉංග්‍රීසි ජාතිකයන් සිංහලයන්ට එල්ල කළ තාඩන පීඩන, වදහිංසා ගැන ඉතිහාසයේ සඳහන් වී තිබෙන්නේ ඉතාමත් අනුවේදනීය අයුරිනි. ඉංග්‍රීසින් විසින් යුද නීතිය පනවා, මුස්ලිම් ජනයාට විරුද්ධව සිංහල ජනතාව උසි ගැන්වී යැයි අසත්‍ය චෝදනා එල්ල කරමින් එදා දේශපාලන හා ජාතික නිදහස් සටනේ නායකයන් ද අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් ද සිරබාරයට ගනු ලැබුවේ අත්තනෝමතික ආකාරයටය. ඇෆ්. ආර්. සේනානායක, ඩී.ඇස්. සේනානායක, ආතර් වී. දියෙස්, ඒ. ඊ. ගුණසිංහ, ඩී.බී. ජයතිලක වැනි ජාතික නායකයන් සිරගත කරන අතරවාරයේ දී හෙන්රි පේද්‍රිස් වෙඩි තබා ඝාතනය කළේ ඉංග්‍රීසි පාලකයන්ගේ අමානුෂිකත්වය නිසා ය. 1915 ඇති වූ සිංහල - මුස්ලිම් කෝලාහලය මුවාවෙන් ඉංග්‍රීසින්ගෙන් සිංහලයන්ට සිදු වන අසාධාරණය සහ අපරාධ ගැන එංගලන්තයේ ආණ්ඩුව ඉදිරියේ තැබීම සඳහා සපත්තුවක් අස්සේ සඟවාගෙන රහස් ලියැවිල්ලක් රැගෙන ගිය සිද්ධියක් ඉතිහාසගත වී ඇත. මෙම අභීත ක්‍රියාව සිදු කළේ කෝට්ටේ සිංහයා ලෙස විරුදාවලිය ලත් ඊ. ඩබ්ලිව්. පෙරේරා ය.

එහෙත් ඉංග්‍රීසි පාලකයන්ගේ උකුසු ඇසට හසු නොවී ජීවිතය පරදුවට තබා මෙම රහස් ලියැවිල්ල ලංකාවෙන් පිට කර මදුරාසියේ සිටින ඊ. ඩබ්ලිව්. පෙරේරාට භාර දුන් අප්‍රකට වීරයෙක් ද සිටියි. ඔහු ජේ. ඊ. ගුණසේකර ය.

“මගේ සීයා ලංකා ජාතික මහා සංගමයේ ක්‍රියාකාරිකයෙක්. ඇෆ්. ආර්. සේනානායක, ඩී. ඇස්. සේනානායක වැනි නායකයන්ගේ ලිපි ලේඛන සකස් කළේ මගේ සීයා. මගේ සීයාට සිංහල, ඉංග්‍රීසි, දෙමළ, පාලි, සංස්කෘත වගේ භාෂා ගණනාවක් පුළුවන්. ඒනිසා තමයි සීයාට ලියුම් ලිවීම භාරදීලා තියෙන්නේ.

1915 සිංහල - මුස්ලිම් කෝලාහලය සමඟ සිංහලයන්ට අත් විඳින්නට සිදු වූ හිරිහැර ගැන ලියපු රහස් ලියැවිල්ල සකස් කරලා තියෙන්නෙත් මගේ සීයා.

ඒත් ඒ කාලේ ලියුම ලංකාවෙන් පන්නා ගන්න එක ලේසි වුණේ නැහැ. මාර්ෂල් ලෝ තිබුණු කාලයක්නේ. ඒ නිසා කුරුණෑගල පැත්තේ සපත්තු මහන කෙනෙකුව අපේ ගෙදරට ගෙනත් රහස් ලියුම සපත්තුවේ අඩියට දාලා මහලා තියෙනවා. සීයා මදුරාසියට ගිහින් ඊ. ඩබ්ලිව්. පෙරේරා එක්ක සපත්තු ජෝඩුව මාරු කරගෙන තියෙනවා. ඒ ලියුම එංගලන්තයට ගිහින් භාරදෙන තුරු සපත්තු මහන මනුස්සයාව අපේ ගෙදර තියාගෙන කන්න බොන්න දුන්නා කියලා අපේ ආච්චි කියලා තියෙනවා.“ යනුවෙන් පැවසුවේ ජේ.ඊ. ගුණසේකරගේ මුනුපුරකු වන ධම්මික ගුණසේකර ය.

ජේ. ඊ. ගුණසේකර හෙවත් ජේම්ස් එඩ්වඩ් ගුණසේකර උපත ලැබුවේ 1885 සැප්තැම්බර් 25 වැනිදා දකුණු පළාතේ ය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පාසලේ සමකාලීන මිතුරකු වූ ඇෆ්. ආර්. සේනානායක සමඟ ජාතික සටනට සම්බන්ධ වී තිබේ. ලංකා ජාතික සංගමයේ ලේකම් තනතුර දැරූ ජේ. ඊ. ගුණසේකර මහතා ලංකා මහජන සභාව, කොළඹ තරුණ බෞද්ධ සංගමය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ලංකා අමද්‍යප ව්‍යාපාරය වැනි සමිති සංගම් රාශියක තනතුරු දරමින් ජාතියට, ආගමට, රටට සුවිශාල මෙහෙවරක් ඉටු කළේය.

“මගේ සීයා ජාතික නිදහස් සටනේ මුල් පෙළේ නෙමෙයි හිටියේ. දෙවැනි පෙළේ හිටියේ. ඒනිසා තමයි 1915 දී සිරබාරයට නොගත්තේ. අනික මගේ සීයා ගුරුවරයෙක්. ඕල්කට්තුමා පිහිටවපු පරම විඥානාර්ථ සංගමයට අයත් ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු හැටියටයි ඒකාලේ සීයා වැඩ කළේ. මුලින්ම සීයා ආනන්ද විද්‍යාලයට සම්බන්ධ කරගෙන තිබුණේ හාමුදුරුවරුන්ට භාෂාව ඉගැන්වීමටයි. පසු කාලයක ආනන්දයේ විදුහල්පති වුණා. මගේ සීයා විවාහ වී තිබෙන්නේ 1920 දී. සීයා භාෂා අටක් දන්න කෙනෙක්. ඒනිසා කොළඹ මියුසියස් විද්‍යාලයටත් භාෂාව උගන්වන්න ගිහින් තියෙනවා.

එතනදි තමයි මගේ ආච්චිව මුණගැහිලා විවාහය සිද්ධ වෙන්නේ. සීයාගේ විවාහය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පුටු 6කුත් ලොකු මේසයකුත් කණ්ණාඩියක් සමඟ ලාච්චු තිබෙන ලොකු අල්මාරියකුත් සීයාට ලියන කියන වැඩ කටයුතු කරන්න ලොකු මේසයක් සමඟ කැරකෙන පුටුවකුත් තෑගි වශයෙන් දීලා තියෙනවා. ඒ බඩු තවමත් අපි ළඟ තියෙනවා. ඒවායේ පිත්තල තහඩුවක කොටලා තියෙනවා සීයාගේ විවාහය වෙනුවෙන් ආනන්ද විදුහලෙන් තෑගි දුන්නා කියලා.“ යනුවෙන් තවදුරටත් විස්තර කළේ ධම්මික ගුණසේකර ය.

1908 වර්ෂයේ සිට කොළඹ ආනන්ද විද්‍යාලයේ සේවය කළ ජේ. ඊ. ගුණසේකර මහතා, 1922 දී එයින් ඉවත් වී අනගාරික ධර්මපාලතුමා පිහිටවූ මරදානේ මහබෝධි විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවයට බැඳෙන්නේ සිංහල බෞද්ධ අධ්‍යාපනයේ පුනරුදය උදෙසා කැපවීමේ උදාර පරමාර්ථයෙනි.

සැබැවින්ම ඔහු ජාතික නිදහස් සටනට දායක වී සිටියද වඩාත් ඇපකැප වූයේ සිංහල බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට ය. ඒ බව ඔහු සහ අනගාරික ධර්මපාලතුමා අතර හුවමාරු වූ ලියුම්වලින් සාක්ෂාත් වේ.

“අපේ ආච්චිගේ ගෙවල් තියෙන්නේ මාතලේ. දැන් ඒ මහගෙදර ගරා වැටිලා. ඒත් මීට මාස කීපයකට ඉස්සෙල්ලා මාතලේ ගිය විටෙක ගරාවැටුණු ගෙදර ඇවිදලා බඩුමුට්ටු එහාමෙහා කරලා බැලුවා. ඒ බලද්දි මේස ලාච්චුවක ප්ලාස්ටික් ෆෝල්ඩරයක් තිබුණා. ඒක අරිනකොට තමයි දැක්කේ අනගාරික ධර්මපාලතුමා මගේ සීයාට එවපු ලියුම් 14ක් තිබෙන බව. ඒ ලියුම් අල්ලන විට කෑලි කෑලිවලට කැඩෙනවා.

අවුරුදු 100 කටත් වැඩිය පරණයිනේ. ඒ ලියුම්වල තිබෙන්නේ සිංහල බෞද්ධ දරුවන්ට කළු සුද්දන්ගේ අධ්‍යාපනය නැතිව සිංහල බෞද්ධ අධ්‍යාපනය දිය යුතු ආකාරය ගැන. සිංහල සිරිත් විරිත් ඉගැන්වීම ගැන දරුවන්ගේ ඇඳුම් පැළඳුම් ගැන මගේ සීයාට උපදෙස් දීලා තිබෙනවා.

මේ ලියුම් සංරක්ෂණය කිරීමට අපි කටයුතු කරගෙන යනවා. ඒ එක්කම මේ ලියුම් ටිකත් අරගෙන මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස හාමුදුරුවන්ව මුණගැහෙන්න අපි ගියා. බානගල උපතිස්ස හාමුදුරුවෝ අනගාරික ධර්මපාලතුමාගේ දිනපොත් ටික පරීක්ෂා කරලා බලන්නත් අපිට ඉඩප්‍රස්ථා හදලා දුන්නා. එතුමාගේ දිනපොත්වලත් මගේ සීයා ගැන සටහන් වී තිබෙනවා. සීයාගේ පිළිරුවක් ඉදි කිරීමටත් සීයාගේ ඡායාරූපයට මල්මාලාවක් දැමීමටත් උන්වහන්සේ කටයුතු කරන බව අපිට දැනුම් දුන්නා.“ යනුවෙන් ධම්මික ගුණසේකර සඳහන් කළේය.

ඇත්ත වශයෙන්ම ජේ. ඊ. ගුණසේකර නායකයා ගැන එතරම් කතාබහට හෝ අවධානයට ලක්වී නොමැති බව කනගාටුවෙන් වුවද සටහන් කළ යුතුමය. ඔහු සිය ජීවිතය පරදුවට තබා සපත්තුව අස්සේ රහස් ලියැවිල්ල ගෙන ගියද එම සිද්ධියෙන් මතු වූයේ එය එංගලන්තයේ යටත්විජිත භාර ලේකම්ට දුන් ඊ. ඩබ්ලිව්. පෙරේරාගේ නාමය පමණි. 1915 දී මෙරට පාලනය කළ චාමර්ස් ආණ්ඩුකාරයා සහ හමුදාපති නැවතත් එංගලන්තයට කැඳවා ගනු ලබන්නේ මෙකී ලියැවිල්ලෙන් අනතුරුවය.

1928 දී ඩොනමෝර් කොමිසම පිහිටුවනු ලබන්නේත් එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඩොනමෝර් කොමිසමේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලංකා මහජන සභාවේ නියෝජිතයකු ලෙස ජේ. ඊ. ගුණසේකර මහතා සහභාගි වී ඇත.

අනගාරික ධර්මපාලතුමාගේ මඟ යමින් සිංහල බෞද්ධ අධ්‍යාපනයට අනුපමේය සේවයක් කළ ජේ. ඊ. ගුණසේකර පිළිබඳව වැළලී ගිය අතීතය යළි මතු වූයේ 1962 දී සිංහල බෞද්ධයා පත්‍රයේ පළ වූ ලිපියකිනි.

ඉන් අනතුරුව 1966 ඔක්තෝබර් මාසයේ පළවූ ටිකිරි ළමා පත්‍රයේ ද ජේ. ඊ. ගුණසේකර මහතාගේ සේවය ගැන පළකර තිබේ. 1966 වසරේ නොවැම්බර් 10 වැනි දින ජේ. ඊ. ගුණසේකර මහතා ජීවත් වූ මරදාන ටිචිබොන් මාවත ජේ. ඊ. ගුණසේකර මාවත ලෙස නම් කෙරුණේ ඔහුගේ මහඟු සේවය අගය කරනු පිණිසය.

නමුදු අදටත් මහාබෝධි විද්‍යාලයේ ජේ. ඊ. ගුණසේකර නාමයට හිමි වී තිබෙන්නේ මෙතෙක් සේවය කළ විදුහල්පතිවරුන්ගේ නාම පුවරුවේ හිමි ස්ථානය පමණි.

“මගේ සීයාව 1924 දී එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට යවන්න උනන්දු වුණේ ඇෆ්. ආර්. සේනානායක මහත්මයා. මගේ සීයා එංගලන්තයේ ගිහින් උපාධිය අරං එනතුරු මහබෝධි විදුහලේ විදුහල්පති ලෙස වෙනත් කෙනෙක් වැඩ බැලුවා.

සීයා 1928 දී ලංකාවට පැමිණියාට පසුව මිය යන තුරුම සේවය කළේ මහාබෝධි විද්‍යාලයේ විදුහල්පති හැටියට. සීයා ලංකාවට එන විට තට්ටය පෑදිලා වයසට ගිය පෙනුමක් තිබුණ කියලා අනගාරික ධර්මපාලතුමාගේ දිනපොතේ සඳහන් වී තිබෙනවා.“ යනුවෙන් ජේ. ඊ. ගුණසේකර මහතාගේ මුනුපුරු ධම්මික ගුණසේකර පැවසීය.

ජේ. ඊ. ගුණසේකර මහතා මිය ගියේ 1931 නොවැම්බර් 02 වැනිදා ය. ඒ වන විට ඔහු 46 වැනි වියේ පසු විය. ඔහු පුතුන් තිදෙනකුගේත් දියණියන් තිදෙනකුගේත් පියෙකි. ජේ. ඊ. ගුණසේකර මහතා මිය යන විට ධම්මිකගේ පියාගේ වයස අවුරුද්දකි. හෙතෙම මිය යන විට ධම්මිකගේ බාල නැන්දනිය (පියාගේ බාල නැඟණිය) සිටියේ මව්කුසේ බව ධම්මික සඳහන් කළේය.

“මගේ සීයා නැති වුණාට පස්සේ මගේ ආච්චි දරුවන් එක්ක ටිචිබොන් පාරේ ගෙදර ඉඳලා තියෙනවා. ඒත් ඒ කාලයේ ඉංග්‍රීසි හමුදාව යටතේ හිටපු කාපරි සොල්දාදුවන්

නිතරම ගෙදරට ඇවිත් ගෙයි හැමතැනම ඇද ඇද බලනවාලු. කොටින්ම කිව්වොත් කොට්ට මෙට්ට පවා අදිනවාලු. ආච්චිට කරදර නිසා ආච්චි ළමයිනුත් අරගෙන මාතලේ ආච්චිලෑ මහගෙදර ගිහින් තියෙනවා. අපේ තාත්තා ඇතුළු දරුවන්ව හොස්ටල් දාලා උගන්වලා පස්සේ කාලෙක තමයි කොළඹට ඇවිත් තියෙන්නේ.“ යනුවෙන් විස්තර කළේ ධම්මික ගුණසේකර ය.

රටේ නිදහස, ආගමික පුනරුදය උදෙසා දිවි හිමියෙන් කටයුතු කළ ජේ. ඊ. ගුණසේකර මහතාට ශ්‍රී ලංකාවට ලැබුණු ඩොමීනියන් නිදහසවත් භුක්ති විඳින්නට වරම් නොලැබීම කනගාටුදායකය. නිදහස ලබන විට ඔහු ජීවතුන් අතර නොසිටියත් ඔහුගේ නාමය සහ ඔහුගෙන් රට - ජාතිය - ආගම වෙනුවෙන් ඉටු වූ සේවය අමතක කළ යුතු නැත.

Comments