දොන් නදිය සේම නිසලව ගලා ගිය මගේ ලේඛක දිවිය | Page 2 | සිළුමිණ

දොන් නදිය සේම නිසලව ගලා ගිය මගේ ලේඛක දිවිය

 

ඔබ සාහිත්‍යකරුවෙකු වීම අහම්බයක් ද?

“මම සාහිත්‍යකරුවෙක් වීම අහම්බයක් නෙමෙයි. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පිවිසුණ ඒ කාලයේ පැවති ඒ වාමවාදී දේශපාලනයට මම බොහෝ සෙයින් යොමු වුණා. ඒ නිසා විවිධ පීඩනවලට ද ගොදුරු වුණා තමයි. ඒත් මේ තත්වය පූර්ණකාලීනව දේශපාලනයේ යෙදෙන්න තරමේ පෙලඹවීමක් මා තුළ ඇති කළා.

නමුත් පසු කාලීනව සිදු වු විවිධ හැල හැප්පීම් පරාජයන් මෙන්ම විවේචන හමුවේ මම මගේ ම දෙයක් කරන්න ඕනෑය කියන තැනට පත් වුණා. එහෙම තමයි මම සාහිත්‍යකරණයට යොමු වුණේ. ඒ විදිහට “දොන් නදිය නිසලව ගලා බසී” කෘතිය මම සිංහලට පරිවර්තනය කළා. ඒ තමයි මගේ ආරම්භය.

 

ඒ කෘතිය විශේෂ තෝරාගැනීමක් ද?

“මිහයිල් ෂෝලහොව්ගේ “පෙරළු නැවුම් පස” කෘතිය කියවලා (සිරිල් සී පෙරේරා පරිවර්තනය) මම ආස්වාදයක් ලැබුවා. නමුත් මට දැනගන්න ඕන වුණා මීට කලින් මේ කෘතිය පරිවර්තනය කරලා තියෙනව ද කියලා. මගේ මිත්‍ර උපාලි ගම්ලත් සමඟ සුගතපාල ද සිල්වා මහතාව හමු වුණේත් ඒ නිසාම යි. සුගතපාල ද සිල්වා ඔහුගේ පොත් රාක්කයෙන් මේ පොත තෝරලා කිව්වා මීට පෙර කවුරුත් මෙහි පරිවර්තනයක් කරලා නැහැයි කියලා. මේ කෘතියෙන් කියවෙන්නේ රුසියානු විප්ලවයෙන් පසු එහි සිදු වු සමාජ විපර්යාසය. කිසියම් ආකාරයකට ස්වයං විවේචනයක් ලෙසින් ද ගත හැකි වුණත් ෂෝලහොව් ඉතා අපක්ෂපාති විදිහට ඒ සමාජ පෙරළිය ඉදිරිපත් කරනවා.

ලෙනින් සම්මානයෙන් වගේ ම නොබෙල් සම්මානයෙන් ද පුද ලබන මේ ධනවාදි හා සමාජවාදි සම්මාන දෙකකට එකවර පාත්‍ර වීමත් විශේෂත්වයක් වෙනවා.

කෘතියක් වශයෙන් එය ඒ සමාජ විපර්යාසය ඉදිරිපත් කරන සම්පුර්ණ බව ඒ විදිහට සම්මානයට පාත්‍ර වීමට හේතු වෙන්න ඇතැයි මා සිතනවා.

ඉන් පසුව චීනයේ විශිෂ්ට ලේඛකයෙකු වන බා ජින්ගේ “කලින් නික්මුණ වසන්තය.” යන කෙටි කතා සංග්‍රහයත් “නිසල උයන” නම් නවකතාවත් සිංහල බසට පරිවර්තනය කරනවා. ඒ නවකතාවෙන් කියවෙන්නේ පූර්ව විප්ලවීය චීන සමාජයේ රදළ පාන්තිකයන්ගේ කඩා වැටීමේ කතාව යි.“

 

වොල්ගා සිට ගංගා තෙක්” ඔබගේ තවත් සුවිශේෂ කෘතියක් යැයි ඔබ පිළිගන්නවා ද?

“රාහුල් සංකෘත්‍යායන නම් ආරූඨ සාහිත්‍ය නමකින් පෙනි සිටි මේ ලේඛකයාගේ ඒ නමේ තේරුමත් හරි විශිෂ්ට යි. රාහුල් කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ පුත්‍රයාගේ නම. සංකෘත්‍යායන යන්නෙහි තේරුම ස්වයං සිතීමක් ඇත්තා යන්න යි. මම පිළිගන්නවා මේ කෘතිය විශේෂයි කියලා. වොල්ගා සිට ගංගා තෙක් ගලා ආ ඉන්දු යුරෝපීය මිනිස් පවුලේ සමාජීය, සංස්කෘතිය, ආගම, කලාව, විද්‍යාව, ඒ වගේ ම දේශපාලන පරිණාමයේ කතව තමයි මෙහි කියවෙන්නෙ. ඒ වගේ සාධාරණත්වය, සමානාත්මතාවය, සහෝදරත්වය, නිදහස සඳහා මිනිසා කළා වු අරගලයේ කතාන්තරය තමයි මේ කතාව.

නමුත් මෙහි ඊටත් වඩා වැදගත් කාරණයක් මම දකිනවා. ඒ තමයි නරක සහ හොඳ වෙන් වෙන් වශයෙන් දකින්නට මිනිසා සමත් වීම. ඒක මෙහෙම යි ඈත අතීතයේ සිද්ධ වුණ විදිහට හොඳ දේ කියා එහෙම පිටින් ම බදා ගැනීමත්, නරකය කියා එය සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමත් යන තැනින් එළියට ඇවිත් හොඳ දේ තුළ ඇති නරක දැකීමත්, නරක දේ තුළ ඇති හොඳ දැකීමත් එදා මිනිසාට නොතිබුණ ඒ සියුම් දැකීම මිනිසා මෙහිදී ලබා ගන්නවා. ඒ අනුව පැතලි ප්‍රාථමික තත්වය වෙනුවට බුද්ධිමය ගැඹුරක් අත් කරගන්නවා. මිනිසා සිය මිනිස් බවේ අසිරිය විඳ ගන්නේත්, සංකීර්ණ වුත් නිර්මාණශීලි වුත් සමාජ පැවැත්මක් නිර්මාණය කරගන්නේත් එතන සිට යි.

 

රසුල් ගම්ස්ටොව්ගේ “මගේ දගෙස්ථානය” කෘතියක් හැටියට විශේෂයි කියා ඔබ හිතනව ද?

“ඔහු කවියෙක්. මේ අවාර් ජාතික කවියාගෙන් එක්තරා පුවත්පත් කලාවේදියෙක් ඉල්ලීමක් කරනවා. ඔහුගේ දගෙස්ථානය නම් ගම ගැන පිටු විස්සක කාව්‍යයක් ලියා එවන්න කියන එකයි ඒ ඉල්ලීම. මගේ දගෙස්ථානය ගැන පිටු විස්සකින් ලියන්න පුළුවන් ද? ඔහු එහෙම හිතනවා. මේ පොත ලියවෙන්නේ එතැන් සිට යි. මෙය ගැදි, පැදි, කතා වස්තූන්ගෙන් නිර්මාණය වු කෘතියක්. ඒ වගේම මේ තමයි ඔහුගේ මුල් ම ගද්‍යය නිර්මාණය. මේ කෘතියේ විශේෂත්වය තමයි ස්වයං නිරීක්ෂණයක පවතිමින් කෘතිය ලියාගෙන යාම. ඒ අන්දමට තමන් සහ තමන්ගේ ම නිර්මාණ සම්බන්ධයෙන් උපන් ස්වයං විවේචනාත්මක බවක් මෙහි දැකිය හැකි යි. රසුල් ගම්ස්ටොව් පවසන්නේ සෝවියට් සමාජ වාතාවරණය තුළ දගෙස්ථාන ජනතාවගේ ජීවිතය හැඩ ගැසුණ ආකාරයයි. එහි එක් තැනක අපුරු කතාවක් තියෙනවා. ඒ අනුව සිය පියා වනය තුළ යන පිය මං ඔස්සේ මේ පුත්‍රයාත් ගමන් කරනවා. එය දකින ගැමියෙක් අහනවා “නුඹ කොහි යන්නෙහි ද?” පිළිතුර තමයි “මම යන්නේ මගේ පියා ගිය මඟ ඔස්සේ ය.” එවිට ගැමියා කියනවා “නුඹ යා යුත්තේ නුඹේ ම මඟක ය. එහෙම නැතුව පියා ගිය මඟෙහි ම නොවේ.”ගම්ස්ටොව් පවසනවා එය ඔහුට කිසිදා අමතක නොවන උපදේශයක් වුණාය කියලා. කෘතියක් විදිහට මෙය ලේඛකයන්ට සිය ලිවීම වෙනුවෙන් අත් පොතක් විය යුතුයි කියා මම විශ්වාස කරනවා.

 

ළමා කතා සහිත්‍යය සම්බන්ධයෙන් ඔබට විශේෂ හැඟීමක් තිබෙනව ද?

අපේ වැඩිහිටි විය සම්පුර්ණ වෙන්නෙ ළමා වියෙන්ය කියන කාරණාව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒත් අපි බොහෝ විට නොසලකා හරින්නේත් ඒ ළමා විය ම තම යි. ලොකුවට ලියන ඇතැම් අය ළමා පොත් ලිවීම එතරම් ලොකුවට ගන්නෙ නෑ. කොහොම නමුත් විදේශ මිත්‍රයෙකුගෙන් මට ලැබුණ අනුග්‍රහයක් මත පසුගිය කාලයේ මට විශාල වශයෙන් මේ කටයුත්තට සම්මාදම් වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගැන විශේෂ උනන්දුවක් ද ඇති වුණා. ඒ විදිහට යොවුන් නවකතා පවා ලියන්න මම යොමු වුණා. මම හිතන්නෙ ළමා පොත් හැත්තෑවකටත් වඩා මම ලියා තිබෙනවා.

 

වර්තමාන සාහිත්‍ය ක්ෂේත්‍රයේ හැසිරීම ඔබ හඳුනාගන්නේ කොහොමද?

“ ඒ ගැන මම හිතන්නෙ මෙහෙම යි. ගණිතය අංශයෙන් අධ්‍යාපනය හදාරපු කෙනෙක් විදිහට සාමාන්‍ය චක්‍රය යන ඒ විග්‍රහයට අනුව ඉහළින්ම පවතින්නේ දශම ගණන යි. පහළින්ම පවතින්නේත් දශම ගණන යි. වැඩිපුරම පවතින්නේ මධ්‍ය කොටස යි. හැම කාලයක දීම තොල්ස්තෝයිලා, මාර්ටින් වික්‍රමසිංහලා බිහිවෙන්නෙ නෑ. අර මධ්‍ය කොටසේ සාමාන්‍ය අය වගේ ම බලාපොරොත්තු තබන්න පුළුවන් වැදගත් චරිතත් හමු වෙනවා. ඒ නිසා වැදගත් ම දේ තමයි සුබවාදී වීම. අතීතයේ සිට සියලු බාධක කම්කටොලු මැදින් ආව මිනිසාගේ මේ ගමනට ශක්තිය සපයා ගත්තේ සුබවාදී බලාපොරොත්තු වලින්ය කියන කරුණ අපි අමතක කරන්න හොඳ නැහැ.

 

Comments