කුමක් ද අපගේ සමාජ උරුමය? | සිළුමිණ

කුමක් ද අපගේ සමාජ උරුමය?

 

කෘතිය - සුන්නි

කර්තෘ - සඳුන් ඉරංග රණසිංහ

ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිෂින්

මිල රු. 525

දුරකථනය 071 284 6176

“මහණෙනි බඹයක් පමණ වු මේ ශරීරය තුළ ලෝකයත්, ලෝකයේ හටගැනීමත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ මාර්ගයත් පනවමි.” (අංගුත්තර නිකාය)

නුතන ලංකා සමාජය අඩුම තරමින් සමාජ උරුමයන් තුනක් මත නිර්මාණය වුවක් බවත්, එය ඵෙතිහාසික සමාජ උරුමය, වාර්ගික හා ආගමික සමාජ උරුමයත් හා යටත්විජිත සමාජ උරුමය වශයෙන් ගත හැකි යැයි සුන්නි නව කතාවේ කතුවර සඳුන් ඉරංග රණසිංහ පවසයි.

ඒ අනුව තමන් විසින් මෙහිදී ඉටු කරනුයේ එකී සමාජ අවධි තුනක් තුළ ලංකා සමාජ ඉතිහාසයේ හැසිරීම සාහිත්‍යයික නිර්මාණ කාර්යයක් බවට පත් කර ගැනීමක් යැයි ඔහු විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව යමින් විමසන කළ ඉහත සමාජ ත්‍රිත්වය අඩු වැඩි වශයෙන් ලංකාවේ වර්තමාන කාල වකවානුව නිර්මාණය වීමට බල පා ඇතැයි කිව හැකි වේ. “මෙවැනි සමාජ භාවිතාවන් හැසිරෙන, ක්‍රියාකරන ආකාරයෙන් කාල වකවානුවල දී මෙරට සමාජ හැඩතලයන් ප්‍රති නිර්මාණය වන්නේ ය.”

සුන්නි කෘතිය නවකතාවක් වශයෙන් හඳුනා ගැනීමේ දි විශේෂයෙන් ම යටත්විජිත කාල වකවානුවෙන් පසු නිදහස ලැබුවා යැයි පැවසෙන පශ්චාත් සමාජ පැවැත්ම තුළ දී ආගමික, පොදුවේ ගත් කළ සංස්කෘතික ක්ෂේත්‍රයට අදාළව පුළුල් කියවීමක් අප අත්කර ගත්තේද යන විමසීම නගන සැටි නිරූපණාත්මකව මතුකොට තිබේ. මෙහිදී නිරූපණාත්මකව යනුවෙන් අප ව්‍යවහාර කළේ නව කතාව තුළ ඉහත කරුණට අදාළව හැසිරෙන චරිත හා ඒ ඔස්සේ නිර්මාණය වන සංසිද්ධි අනුව යමිනි. ඒ අනුව අප තවමත් සිටින්නේ මේ ථෙරවාදී ය, මේ මහායාන ය යන මතුපිට විවාදය තුළ නම් පොදුවේ බෞද්ධ දාර්ශනික කියවීම සම්බන්ධයෙන් අප අත් කරගන්නා සැබෑ අවබෝධය කුමක් ද යන විමසීම ඉදිරිපත් කිරීමේ ලා කතුවරයා දක්වන ප්‍රගතිශීලිත්වය පැසසුම් කටයුතු ය.

මෙය අපගේ විහාරස්ථානයන්හි සිදු කෙරෙන බණ දෙසුම් හරහා සමාජ මානසික විලංගු දැමීමක් කරා ඉදිරියට ගෙනවිත් තිබීම ඊට හේතුව යි.

විශේෂයෙන් ම මෙහිදී අපගේ සිත්ගත් කරුණ වන්නේ එක් සීමාවක් විමසීමේ ව්‍යාජයෙන් තවත් සීමාවක් නිර්මාණය කරන නොගැඹුරු තර්ක වාදයෙන් ඔබ්බට ගිය විමසීමක් බවට

“සුන්නි” පත් කර ගැනීමට කතුවරයාට ඇති වුවමනාව යි. ඒ සඳහා ඔහු යොදා ගන්නේ මුලින් ම පෙන්වා දුන් සමාජ ත්‍රිත්වය මුල් කොටගත් වීමංසනය යි.

“පුර්ව සහ පශ්චාත් යටත්විජිත සමාජ පිරික්සන සියුම් අක්ෂි කාචයක් ලෙස ද ඉහත සමාජ භාාවිතාවන් සැලකිය හැකි ය. ඒ අර්ථයෙන් සලකන කළ “සුන්නි” නවකතාව යථෝක්ත සමාජ සංචලනයන් ද ඒ ඇසුරෙන් උපන් මනෝ භාවයන් හා සිතුම් පැතුම් යනාදිය ද අවලෝකනය කිරීමෙහි ලා කියන ලද එක්තරා කතාන්තරයක් වශයෙක් ගිණිය හැක.”

ඇත්ත වශයෙන් ම කියනව නම් මෙරට ආදි වාසි උරුමය හිමි යක් ගොත්තිකයන් එකල සමාජ දේශපාලනය හැසිරවු තැන් සිට ඔවුන්ගේ සහාය ද ඇතිව පණ්ඩුකාභයන් ගොඩ නගාගත් සමාජ සම්මුතිවාදී දේශපාලන ජයග්‍රහනයත් ඉන් පසුව එහි ක්‍රම විකාශන ලෙසින් නිර්මාණය වු දේශපාලන විපර්යාසයන් මෙරට සමාජ සංචලනතාවයේ සමාජ දේශපාලන විවිධත්වය පෙන්වා දෙන ඵෙතිහාසික උදාහරණ වේ.

කෙසේ වෙතත් මෙම නවකතාව එවැනි දීර්ඝ විමසුමක් කරා ගොස් නැති නමුත් මෑත කාලීන සමාජ සංචලනතා මත පදනම් වෙමින් එවැනි විමසුමකට යෑම සාධනීය තත්වයක් වේ. උත්සාහයක් වශයෙන් යහපත් ආරම්භයක් ද වේ.

Comments