කඩල දන්සල | Page 2 | සිළුමිණ

කඩල දන්සල

 

“ජගතො අපි මේ පාර පොසොන් එකටත් මොනා හරි කරමු නේද බං”

යසිරු ගෙපිළෙහි වූ මිටි බංකුව මත වාඩි වූයේ බටලියක් හීන් තීරුවලට කපමින් සිටි ජගත් දෙස නොබලාමය.

“මේ පාරත් දන්සැලක් දෙමු. හැබැයි අයිස්ක්‍රීම් නම් එපා බං. වහිනවත් එක්කනෙ.”

“මාත් ඕක හිතුවා. අපි මේ ගමන කඩල දන් සැලක් දාමු”

“ඒක නම් නරක නෑ. කැන්ද කොළවල ගොටු ගහලා බෙදන්නත් ලේසියි”

“අපිට දාවිත් මාමගෙ කඩෙන් කඩල ගතෑකි”

“එහෙනම් ජගතො අපි අද හවස ම ගමේ ඇවිදලා වැඩේට බහිමු”

“හරි හරි මාලකයි සරතුයි චින්තකයි එකතු කර ගත්තම ඇති නේද?”

“ඔව් ඔව් කට්ටිය වැඩි උනාමත් වැඩේ හබක්”

කතිකා කර ගත් පරිදි ම සවස් යාමයේ එකතු වූ කොලු නඩය කඩල දන්සලට ආධාර එකතු කර ගැනීමට ගම පුරා ඇවිදින්නට වූහ. ඒ හොඳින් හිරු පායා තිබූ දවසකි. එහෙත් ඔවුනට හිරු රැසින් විඩාවක් නොදැනිණ.

“අනේ පුතේ මං ළඟ කොයින්ද ඕවට දෙන්න සල්ලි. මං එදා උදේට පුතාලට පොල් ටිකක් ගාලා ගෙනත් දෙන්නංකො. කඩල කන්න පොලුත් එපායැ”

කාත් කවුරුත් නැතිව ජීවත්වන මැගිලින් ආච්චි දන්සලට සම්මාදම් වූයේ එලෙසිනි.

“උඹලා ගිය පාර අයිස්ක්‍රීම් කෑවා. මේ පාර කඩල කන්නද හදන්නෙ. කාරි නෑ කාරි නෑ ගනිල්ලකො එහෙනං මගෙනුත් රුපියල් පනහක්”

මාළු විකුණන සෝමෙ මමා යසිරුගේ හිස අත ගාමින් කීවේය.

“අපි දාවිත් මාමගෙ කඩේටත් යං”

කඩයට ආසන්න වන විට යසිරු කීවේය.

“අපි කඩල ගන්නෙත් ඒ කඩෙන් නං දාවිත් මාමා මේ වැඩේට සම්මාදම් වෙන්නම එපායැ” ජගත් කීවේ කල්පනාකාරී ‍හඬකිනි.

‍කඩේ වැඩ කරන මහීපාල මේ වේලාවේ සිටියේ රාක්කයක සබන් කැට වගයක් අසුරමිනි. ඔහු කොලු නඩය දුටුවේ අහම්බෙන් මිදුල දෙස බලද්දීය.

“ආ... මල්ලිලා. මේ ගමන කඩල දන්සැලක් දෙනවලු නේද? හොඳයි හොඳයි මාත් කීයක් හරි දෙන්නංකො”

ගෙතුළ සිට කඩය දෙසට එමින් සිටි දාවිත් මුදලාලිට මහීපාලගේ උස් හඬ ඇසිණ.

“මූ කාටද මේ දන් දෙන්ඩ හදන්නෙ”

ඒ සිතුවිල්ලෙන්ම කඩයට ආ ඔහුට දක්නට ලැබුණේ කඩ ඉස්තෝප්පුවට ගොඩ වී සිටි කොලු නඩයයි.

“මොකද... මොකද උඹල මේ රෑන පිටින්”

“දාවිත් මාමෙ අපි මේ පාර පොසොන් එකට කඩල දන්සැලක් දෙන්න කියල”

“අප්පච්චියේ විනාසෙයි. සම්මාදං කාරයො” දාවිත් මුදලාලිගේ සිත තුළ අකුණක් පුපුරා ගියේය. එහෙත් ඔහු මොහොතක් කල්පනාවට වැටිණ.

“හරි.... කඩලනෙ... මං දෙන්නං කඩල කිලෝ එකක්. හැබැයි පුතෝ උඹල ඉතුරු කඩල ටිකත් සල්ලි දීලා මෙහෙන් ගන්න ඕනැ”

කොලු නඩය එක්වරම එකිනෙකාගේ මුහුණ දෙස බැලූහ. මෙය ඔවුන් අපේක්ෂා නොකළ තරම් පරිත්‍යාගයකි.

“හරි හරි මාමෙ අපි එකතු වෙන සල්ලි වලින් ඔක්කොම කඩල ටික මෙහෙන් ගන්නං”

“එහෙනං උඹලා සල්ලි එකතු කරගෙන වරෙල්ලකො. මං උඹලට කීයක් හරි අඩු කරලා දෙන්නංකො”

දාවිත් මුදලාලිගේ හ‍ෙඬ් කවදාවත් නැති කරුණාවක් තැවරී ඇත්තේ මන්දැයි මහීපාල මවිතයට පත්විය. ඔහුට තමා කරමින් සිටි කාර්යය පවා එක මොහොතකට අමතක විය.

“තොට උතුර දකුණ මාරු වෙලාද යකෝ. ඔය රෙදි හෝදන සබන් සුවඳ සබන් ගොඩේ අහුරන්නෙ”

මුදලාලි මහීපාලගේ කන ළඟ ම රතිඤ්ඤයක් පුපුරුවා හැරියේය. ඔහු සැණින් රාක්කය දෙසට හැරුණේය. මුදලාලිගේ කතාව ඇත්ත බව ඔහුගේ දෑසට පෙනිණ.

“මේ මහියො ඕං බොල මං පුංචි ඉල්ලමක් පාදා ගත්තා. උඹ ඒකට උදව් කරන්නෝනැ”

ස්විචයක් නිවා දැමුවාක් සේ කෝපය නිවා ගත් දාවිත් මුදලාලි කාරුණික හඬින් මහීපාල ඇමතුවේය.

‘මහියො’ යනුවෙන් මුදලාලි තමා අමතන්නේ ඉතා කලාතුරකිනි. ඒ කුමක් හෝ යටිකූට්ටු වැඩකට තමා නම්මා ගැනීමට බව මහීපාල මැනවින් දනී. එහෙත් මෙවර මුදලාලි කුරුමානම් අල්ලන්නේ කවර නම් ගොදුරකටදැයි ඔහු කල්පනා කළේය.

“මොනව වුණත් අර පොඩි උන් ටික ගසාකන්න නං මං ඉඩ තියන්නෙ නෑ”

මහීපාල අවසාන සුවඳ සබන් කැටයත් රාක්කයෙහි නියමිත තැන තැබුවේය.

“මේ ගමේ උන්ට ගිල්ලවන්ඩ කඩල නිකං දෙන්ඩ මොකෝ මං වෙස්සන්තරද?”

මුදලාලි තමාට ම කියා ගත්තේය.

“අර පිටිපස්සෙ ගබඩා කාමරේ තියෙනව ටිකක් පරණ වෙච්ච කඩල ගෝනි භාගයක් විතර. ඒක හාල් ගෝනියකට වැහිලා තිබිලා. අපරාදෙනවැ. සල්ලි කජු ඇටද කොස් ඇටද?“

මහත් කම්පාවූ හඬකින් එසේ කී මුදලාලි මහීපාල දෙසට හැරුණේය.

“ඒක පොඩ්ඩක් ඔය ගෝනියක් දෙකක් බිම එළලා අතුරලා දාපං. එතකොට ගුල්ලො යයි. දන් සැලට විකුණගන්ඩ පංකාදුයි.“

මුදලාලිගේ දෙනෙතෙහි රැඳි ගිජු බැල්ම කඩේ ඉස්තෝප්පුව ද ඉක්මවා ඈතක රැඳී තිබිණ.

“මොකෝ නිකං කඩල ගිලින්ඩ බලාන එන ඔවුන්ට ඕවයෙ ගුල්ලො පේනවයැ“

එසේ කී ඔහු හක හක ගා අවිනීත සිනාවක් පෑවේය. කඩ බක්කියේ වූ ගඳ ගහන කට්ට කරවල කූරියෙක් උස්සා මුදලාලිගේ ඔළු කට්ට මතට අත හරින්නට තරම් ආවේගයක් මහීපාලගේ සිත තුළ පුපුරු ගසන්නට විය. එහෙත් ඔහු එය වෑයමෙන් වළකා ගත්තේය.

“දැන් රුපියල් හයසිය හැටක් එකතු වෙලා තියනව“

යසිරු කීවේ මාලකලාගේ ගෙපිළෙහි වාඩි ගනිමිනි.

“කඩල කිලෝ එකක් රුපියල් දෙසීයක්වත් වෙයි කියල අම්ම කිව්ව. දාවිත් මාමා අපිට ටිකක් අඩු කරලා දුන්නොත් හරි“

චින්තක කීවේය.

“දැන් ඉතිං තේ කහට ඩිංගක් බීලා හිටපල්ලා“ මාලකගේ අම්මා ගෙපිළට ආවේ තේ ජෝගුවකුත් කෝප්ප කීපයකුත් රැගෙනය.

“මං අහන් උන්නෙ උඹලයෙ කතාව. ඇත්තටම මුදලාලි කඩල කිලෝ එකක් නිකං දෙනව කිව්වද පුතේ“

ඈ කෝප්පවලට තේ වත් කරන ගමන් ජගත් දෙසට හැරී ඇසුවාය.

“ඔව් නැන්දෙ එහෙම කිව්වා“

“අනේ සාදු මේ වෙසක් එකටවත් උන්දැට පිනක් දහමක් කර ගන්ඩ හිතුණ“

මහීපාල ගෝනි කිහිපයක් බිම අතුරා පරණ කඩල ගෝනි බාගය ඒ මත හැලුවේය. අනපේක්ෂිත සිදු වීමෙන් කලබල වූ ගුල්ලෝ කූඹි රෑනක් සේ දසත විසිරී යන්නට වූහ. උන් කා දමන ලද බොහෝ කඩල ඇට මුළුමනින් ම පිටි බවට පත්ව තිබිණ.

“දෙයියනේ කීයකටවත් විකුණන්න බැරි මේවද මේ දන්සැලට දීලා සල්ලි හම්බ කර ගන්න හදන්නෙ“

මහීපාල කම්පා වූ සිතින් එදෙස බලා සිටියේය.

“ආං හරි මහියො. ටික වෙලාවකින් ඔය ටික අව්වට දමලා ගනිං“

“ඒ වුණාට මුදලාලි මේව නං කන්න බැරි තරමටම ගුල්ලො ගහලා. මේ පේනවද කුඩු ගොඩ“

මහීපාල කියා සිටියේ ඉවසා සිටිය නොහැකි විටය.

“පොඩ්ඩක් අර කුල්ලකට දාලා පොළලා ගනිං බං. ඕවා අහක දාලා බෑ. උඹලා දන්නෙ නෑ සල්ලි හම්බ කෙරිල්ලෙ අමාරුව“

මුදලාලි වචන අහුරකින් මහීපාලට දමා ගැසුවේය. අනතුරුව ඔහු ගෙබිම පුරා දුවන ගුල්ලන් පොකුරු පිටින් පාගමින් කඩය දෙසට හැරුණේය. මහීපාල ගුල්ලන් බොහෝ දුරට ඉවත් වූ කඩල ටික ටික කුල්ලකට දමා පෙළුවේය. කඩල ගොඩෙන් සෑහෙන ප්‍රමාණයක් කුල්ලෙන් ඉවත යන විට ඔහුගේ හිත ද බොහෝ දුරට සන්සුන් විය. ඉතිරි කඩල ටික අව්වේ වරුවක් වියළා ගත් මහීපාල ඒවා ගෝනියකට දැමුවේය.

“ආං හරි. දැන් ඕකත් ගිහින් තියපං කඩෙන්. මතක ඇතුව අනිත් ඒවත් එක්ක කලවං නොකර තියාපං“

මුදලාලි තෘප්තිමත් සිනාවක් මුවගට නගා ගත්තේය. සියුම් දුකඳුරකින් වැසී ගත් සිතින් යුතුව මහීපාල කඩල ගෝනිය කඩයට රැගෙන ගියේය.

ගම පුරා දන් සැල් සම්මාදම අහවර වන විට කොලු නඩය බොහෝ හෙම්බත්ව සිටියෝය. ඇතැම් ගෙදරකින් දෙන්නට පොරොන්දු වූ සුළු මුදල පවා ගැනීමට ඇතැම් විට ඔවුනට දෙතුන් වතාවක් යන්නට සිදු විය.

“අපි අද එහෙනං කඩල අරන් එමු. පෙඟෙන්න දාන්නත් ඕන කියලා අම්මා කිව්වා“

යසිරු කීවේය. කඩල තැම්බීම ජගත්ගේත් යසිරුගේත් සරත්ගේත් ගෙවල්වලින් භාර ගත්තේය. පොල් ගෑම භාර වූයේ චින්තකගේත් මාලකගේත් ගෙවල්වලටය.

“දැන් උඹලට කඩල කිලෝ කීයක් ඕනැද?“ කඩපිළිට ගොඩ වූ කොලු නඩය දැක මුදලාලි ඇසුවේය.

“සල්ලිවලට කිලෝ හතරයි. දාවිත් මාමා දෙන කිලෝ එකත් එක්ක ඔක්කොම පහයි“

“උඹලා දන්නවද කඩලවල ගණං. කිලෝ එකක් රුපියල් දෙසිය පණහක් වෙනව“

චින්තක උඩට අල්ලා ගත් හුස්ම පහළ නොදමා ජගත් දෙස බැලුවේය. යසිරු කඩේ වහලෙහි සිට රාක්කයකට බැඳ ඇති මකුළු දැලක් දෙස බලා සිටියේය. එහි පැටළුණු බත් කූරෙක් ජීවිතය ඉල්ලා කරන පොර බැදීම ඔහුට පෙනිණ. ලොකු මකුළුවෙක් කඩිනමින් ඌ වටා දැල් එළමින් සිටියේය. යසිරුගේ සිත බත්කූරා පිළිබඳ මහත් දුකකින් පිරී ගියේය.

මහීපාල විපිළිසර වූ සිතින් සබන් රාක්කය අසල ගල් පිළිමයක් බවට පත්ව සිටියේය. ඔහු පිටුපස සබන් රාක්කයෙහි රැඳී සිටි සුරූපී නිළිය පමණක් සිනාමුසු මුහුණින් මේ දර්ශනය නරඹමින් සිටියාය. වතුර මලක් යට දිය නාමින් සිටි ඇගේ දෑසින් පවා දිය බේරෙමින් තිබිණ. මාලකට ඒවා පෙනුණේ ලොකු කඳුළු බින්දු මෙනි.

“මොකෝ උඹලා ගොළු වෙලා. දැං කීයක් විතර එකතු වෙලා තියෙනවද?“

දාවිත් මුදලාලිගේ වචන නිහඬ බව බිඳගෙන සුළඟක් සේ හමා ගියේය.

“රුපියල් හයසිය අසූවයි මාමෙ“

යසිරු ගොත ගැසුවේය. මකුළුවා කඩිනමින් ගොදුර වටා දැළ එළන ආකාරය ඔහු දිගටම බලා සිටියේය.

“මොකක් හයසිය අසූවයි. ඕකටද දැං උඹල කඩල කිලෝ හතරක් ගන්න ආවෙ“

මුදලාලි හක හක ගා අවිනීත හිනාවක් පෑවේය. එහෙත් ඒ හිනාවට වැඩි ආයුෂක් නොවීය. කඩේ මිදුලෙන් පාවී ආ ගැහැනු රුව දුටු සැණින් හීලෑ වූ බලු පැටියකු මෙන් ඔහු සීරුවෙන් සිටියේය.

“යසෝ බොහොම දවසකින්නවැ. මේ පැත්තෙ උඹට මොනවද ඉතිං ඕනැ. මේ අපූරු කට්ට කරවල වගේකුත් ඇවිල්ල තියනව“

මහීපාල වහා ගල් පිළිම දැහැන බිඳ ගත්තේය. කොලු නඩය කඩේ මිදුලට බැස කඩල කිලෝ පහක දුෂ්කර ඉනිම ජය ගන්නා විදිහක් ගැන සාකච්ඡා කරන්නට වූහ.

“එහෙනං දාන්නකො මුදලාලි කරවල සීයකුයි හාල් මැස්සො දෙසිය පණහකුයි“

යසෝ මැණිකා එසේ කියමින්ම කරවල කෑල්ලක් ගෙන නැහැයට ළං කර බැලුවාය.

“පුසුඹයි නේද?“

දාවිත් මුදලාලි වම් ඇස නටවමින් ඇසුවේය.

“හ්ම්, තව ඔය සීනි පන්සීයකුයි හොඳ තේ කොළ දෙසිය පණහකුයි දාන්න මුදලාලි“

නිතඹ එළවළු බක්කියේ හැපෙන තරමට නළවමින් යසෝ මැණිකා කීවේ යටැසින් දාවිත් මුදලාලි දෙස බලමිනි.

“මහීපාල ඔය සුවඳ සබන් කැට දෙකකුත් ගනිංකො මෙහාට“

යසෝගේ යටැසේ බැල්ම වහා සුවඳ සබන් කැට දෙකකට හුවමාරු විය. මහීපාල සබන් රාක්කය දෙසට හැරුණේය. රාක්කයේ සුරූපිනිය පුරුදු සුන්දර සිනාවෙන්ම ඔහු පිළිගත්තාය. මහීපාල ඈ අත රැඳි වර්ගයෙන්ම සබන් කැට දෙකක් ගෙන කවුන්ටරය මත තැබීය.

දාවිත් මුදලාලිට දැන් කඩල දන්සැල ගැන කියාගෙන ආ කොලු නඩය ගැන මතක නැත. යසෝ මැණිකාට නම් පෙනෙන්නේ කඩ රාක්ක පුරා අසුරා ඇති බඩු භාණ්ඩ පමණි. ඒ සියල්ල තමන් සතු කර ගැනීමේ තෘෂ්ණාවෙන් ඈ පෙළෙයි.

“ආ... මුදලාලි මට කඩල කිලෝ එකකුත් දෙන්නකො“

යසෝ නැවතත් සිය ගීතවත් හඬ අවදි කළාය.

“එච්චර කඩල මොකටද යසෝ. උඹත් අර කොල්ලන්ගෙ දන් සැලටවත් කඩල තම්බන්නද?“

‘කඩල‘ යන වචනය ඇසුණු සැණින් මුදලාලිට කොලු නඩය මතක් විය.

“ඇත්ත නේන්නං මුදලාලි මට ඒකටත් සම්මාදන් වෙන්ඩ පුළුවන්නෙ. අනේ එහෙනං කඩල කිලෝ දෙකක්ම දාන්නකො. අනේ ඉතිං පිං අතේ වැඩක්නෙ“

යසෝ මැණිකා කොලු නඩය දෙස බලා යළි දාවිත් මුදලාලි දෙසට හැරුණාය.

“ඇයි වදේ නිකං දෙන එක ගත්තම මොකද? මං නං තම්බන එකක් නෑ ඔය දන් සැල්වලට කඩල“ ඇගේ යටි සිත මුරු ගෑවාය.

“මේ ගෑනි නං තම්බලම දෙයි මුන්ට කඩල. අම්මපල්ල මගෙ කට වැරදුණානෙ. දැං ඉතිං දීපල්ලකො කඩල කිලෝ දෙකක්“

ඔහු තම යටි සිතෙහි ගෝරනාඩුව අසමින් ම මහීපාල දෙසට හැරුණේය.

“මහීපාල ඔය හොඳවයින් කඩල කිලෝ දෙකක් දාපං“

මහීපාල සැණින් අවදි විය. ගුල්ලන් විද තිබූ කඩලවලින් කිලෝ දෙකක් ලෝභ නැතුව කිරුවේය. සිලි උරයකට කඩල ටික දැමූ ඔහු උරයේ කට තදින් ගැට ගසා යසෝ මැණිකේ ළඟ තිබූ මල්ලටම දැමුවේය.

“යසෝ කඩල තම්බල දුන්නම මටත් ඉතිං ඒ පිනෙන් කොටහක් ලැබෙනවනෙ“ දාවිත් මුදලාලි සිත සනසා ගත්තේය.

“මේ මහීපාල ආං අර කොල්ලන්ටත් ඔය තියන ගානක් අරං කඩල කිලෝ පහක් දාලා දීපං. නැත්තං තව වරුවක් මෙතන ලගියි.“

මුදලාලි හදිසියේ යමක් මතක් වූ කලෙක මෙන් මහීපාල දෙස බලා ඇසක් ඉඟි මැරුවේය. ඒ ඉඟිය ගුල්ලන් ගැසූ කඩල පිළිබඳ සිහි කිරීමක් බව මහීපාලට වහා වැටහිණ.

“කඩල කිලෝ පහක් නිකං දෙනවද මුදලාලි“ යසෝ මැණිකේ ඇසුවේ විස්මය නගාගත් දැසිනි.

“ගම පුරාම සම්මාදමේ ගිහිල්ලත් තියෙන්නෙ රුපියල් හයසිය අසූවලු. ඉතිං නිකං දුන්න වගේ තමා“

මුදලාලි තැවුල්පත් හඬින් කීවේය.

“ඒකනෙ මුදලාලිගෙ අගේ ඉතිං මේ ගමේ උන්ට තේරෙන්නෙ නෑනෙ. මේ අපට මිසක්“

යසෝගේ වර්ණනාවෙන් දාවිත් මුදලාලිගේ සිත බැලුම් බෝලයක් මෙන් පිම්බිණ. ඔහු ඇය දෙස හෙලුවේ ප්‍රේමාන්විත බැල්මකි.

“මට අල පන්සීයකුයි සැමන් ටින් එකකුයිත් ඕනැ මුදලාලි‘

යසෝ මැණිකා වහ වහා ගලා යන දියෙන් තව දෝතක් ඩැහැ ගත්තාය.

“කොල්ලනේ වරෙල්ලා. ඔය සල්ලි ටික මෙහෙට දීලා අරන් පලයල්ලා මේ කඩල මල්ල“ මුදලාලි ගිගුරුවේ කෝපය මුසු හඬකිනි.

ඒ වන විටත් මහීපාල අලුත්ම කඩලවලින් කිලෝ පහක් කවරයකට දමා හොඳින් අසුරා තිබිණ.

“මේවා ඉතිං පින් තකා කරන වැඩනවැ යසෝ“ මුදලාලි කඩ මිදුලෙන් පිටමං වී යන කොලු නඩය දෙස බලා කීවේය.

“එතකොට යසෝට දෙන ඒවා පෙම් තකා වෙන්නැති“ මහීපාල සබන් රාක්කයේ සිටින සුරූපිනිය දෙස බලා තොල් මැතිරුවේය.

කොලු නඩයේ දන්සල පොසොන් පොහෝ දින උදය වරුවෙහි ඉතා සාර්ථකව පැවැත්විණ.

දන්සැල පටන් ගන්නා හෝරාවෙහි එහි වැඩම කළ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ දරුවන්ගේ එකමුතුකමත් උත්සාහයත් ගැන මහ ඉහළින් වර්ණනා කළේය. උදව් උපකාර කළ ගමේ සියලු වැඩිහිටියන් ගැනද උන්වහන්සේ කතා කළේ උදම් සිතිනි. මේ අතර ලොකු හාමුදුරුවන් විශේෂයෙන්ම අවධාරණය කළේ දාවිත් මුදලාලිගේ පරිත්‍යාගශීලී ගුණයයි.

මට මේ ළමයි කිව්වා දාවිත් මුදලාලි ගණං මිමි බලන්නෙ නැතුව කඩල කිලෝ පහක්ම දුන්නා කියල.

පිනට යමක් දෙනව කියන්නෙ අත් හරිනව කියන එක. බලන්න ඒ උපාසක මහත්තය කරගෙන තියෙන්නෙ බොහොම වටින පින්කමක්. ගමකට ඕන කරන්නෙ අන්න ඒ වගේ සත් ගුණවත් උපාසක මහත්තුරු.

 

Comments