ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය කෝපා අමෙරිකා පාපන්දුව ඇරඹෙයි | සිළුමිණ

ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය කෝපා අමෙරිකා පාපන්දුව ඇරඹෙයි

 

මෙවර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාවයට වඩා ළඟින් සිටින කණ්ඩායම ආර්ජන්ටිනාවයි.

‘ක්‍රීඩාව සහ අධිකරණය අතර සුවිශාල ගැළපීමක් නැත. එහෙත් ක්‍රීඩාව තුළ නීතිමය ගැටුම් විවිධ මුහුණුවරින් පැන නඟින හෙයින් ලොව බේරුම්කරණ අධිකරණයක් ක්‍රීඩාව වෙනුවෙන් පිහිටුවා ඇත. කෙසේ නමුත් ක්‍රීඩාවේ අර්බුදයක් පැන නැඟුණ මොහොතක දී වුව රට තුළ පවතින අධිකරණ පද්ධතියේ පිහිට පතන අවස්ථා නැත්තේ නොවේ. අමෙරිකානු මහාද්වීපය තුළ සුපක්‍රට පාපන්දු තරගාවලියක් වන කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ අනාගතය පිළිබඳ තීරණයක් වෙනුවෙන් පසුගිය දා බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මැදිහත් වීමක් පවා කරනු ලැබුණේ ය. මේ කෝපා අමෙරිකානු පාපන්දු තරගාවලිය සම්බන්ධයෙන් ලියැවෙන විශේෂාංගයකි.’

කෝපා අමෙරිකා පාපන්දු තරගාවලිය අවලංගු කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පිණිස පසුගිය දා බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයක් පැවැත්වුණේ ය. තරගාවලියේ පැවැත්වීම මෙතරම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබුණේ කොරෝනා වයිරසය හේතුවෙනි.

තරගාවලිය නොපැවැත්විය යුතු යැයි අදහස් දක්වන පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණයට දක්වා තිබුණේ එහි සත්කාරකත්වය දැරීම මඟින් සංඛ්‍යාත්මකව විශාල ජනතාවක ගේ ජිවිත අනතුරට ලක්විය හැකි බවටයි.

එය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ තීන්දු කළේ බ්‍රසීලියානු ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලතල ප්‍රකාරව මෙවැනි තරගාවලියක් නැවැත්වීමට අවශ්‍ය පරිහාර තමන්ට ලබා දී නොමැති බවයි. එහෙයින් කෝපා අමෙරිකානු පාපන්දු තරගාවලිය පැවැත්වීමට හෝ අවලංගු කිරීමට නියෝග කර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා දීමට තමන්ට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් ජන ජීවිතය වියවුල් නොවන ආකාරයෙන් තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධ ව තීරණ ලබා ගැනීමේ හැකියාව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයන්ට හා නගරාධිපතිවරුන්ට හිමිව ඇති හෙයින් ඒ ගැන ඔවුන් මීට වඩා සැලකිලිමත් වීම වැදගත් බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ නිගමනය ප්‍රකාශයට පත්කරමින් පවසා තිබුණේ ය. එහිදී සෞඛ්‍ය නිර්නායක අනුගමනය කිරීම වැදගත් බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත.

කෙසේ නමුත් නව නිර්නායකයන්ට අනුව කෝපා අමෙරිකානු පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සෑම පැය හතළිස් අටකට වරක් පරීක්ෂණවලට ලක්විය යුතු ව ඇත. එසේම ඔවුන්ට යම් යම් සංචරණ නීතීන් අනුකූල ව කටයුතු කරන්නට සිදුවන අතර තරග පවත්වන නගර අතර ගමනාගමන කටයුතු සිදුකළ යුත්තේ ගුවන් මඟින් පමණකි.

ඒ අනුව අදාළ තරගාවලිය බ්‍රසීලයේ සංවිධානය කිරීමට තීරණය කර තිබුණේ ය. කෙසේ නමුත් අදාළ තීරණය සම්බන්ධයෙන් බ්‍රසීල ක්‍රීඩකයන් තුළ ද පැවැතුණේ විරෝධයකි.

ඊට ප්‍රබල ලෙස බලපෑම් කළේ කොරෝන වයිරසයේ බලපෑම හේතුවෙන් එරට ජන සමාජය තුළ පුද්ගලයන් හාර ලක්ෂ හැත්තෑ පන්දහසකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව තිබූ හෙයිනි. එය අමෙරිකා එක්සත් ජනපදයට පසුව කොරෝනා වසංගතය හේතුවෙන් ලොව මිය ගිය දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව සේ සැලකෙයි.

ඒ වන විට එරට වාර්තා වී ඇති කොරොනා වයිරසය ආසාදනය වූවන් සංඛ්‍යාව ලෝකයේ තෙවැනි විශාලම සංඛ්‍යාව සේ සැලකෙන අතර එය මිලියන 16 ඉක්මවයි.

මේ අතර බ්‍රසීල ජනපති ජේර් බොල්සොනාරෝ තරගාවලිය සංවිධානය කිරීමේ තීරණය ගැන සඳහන් කරමින්, ‘ආරම්භයේදී මමත් මේ වසංගතය ගැන කිව්වා. ඒ අවස්ථාවේ මම පැහැදිලිව නිවේදනය කළා වාර්තා වූ සියලු මරණ ගැන අතිශය සංතාපයට පත්වන බව. නමුත් අපිට සිද්ධ වෙනවා ජීවත් වෙන්න.’ යැයි පවසා තිබුණේ ය. එයින් ඔහු අරුත් ගන්වා තිබුණේ කෝපා අමෙරිකානු පාපන්දු තරගාවලිය සංවිධානය කරන්නට රටක් වශයෙන් තම රට සූදානමින් සිටින බව යි.

කෝපා අමෙරිකා පාපන්දු තරගාවලිය යනු දකුණු අමෙරිකානු කලාපයේ සංවිධානය කරන ඓතිහාසික පාපන්දු තරගාවලිය ය. එය මෙවර සංවිධානය කෙරෙනුයේ හතළිස් හත්වැනි වතාවට ය. ඒ වෙනුවෙන් දකුණු අමෙරිකානු කලාපය නියෝජනය කරමින් කණ්ඩායම් දහයක් තරග වැදීමට නියමිත ය.

එහි තරග පසුගිය ඉරිදා (13) ආරම්භ වූ අතර එහි පළමු තරගය පැවැත්වුණේ වෙනිසියුලාව සහ බ්‍රසීලය අතරයි. අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි 10 වැනි දා ය. එදිනම යුරොපා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිත ව තිබිණි.

තරගාවලිය බ්‍රසීලයට රැගෙන ගිය ආකාරය

අප පෙර සඳහන් කළාක් මෙන් සිවිල් ජන නොසන්සුන්තාවක් මතු වීම තරගාවලිය සංවිධානයෙන් ඉවත් වීමට කොලොම්බියානු සංවිධායකයන් තීරණය කළේ ය. සිවිල් ජන නොසන්සුන්තාව ඇති වූයේ එම තරගාවලියට සමගාමීව අර්බුදකාරී බදු පනතකට අනුමැතිය ලබා ගැනීමට එරට පාර්ලිමේන්තුව තුළ උත්සාහයක් ක්‍රියාත්මක වීම යැයි කියැවිණි.

අප පෙර දැක්වූවාක් මෙන් තරගාවලිය බ්‍රසීලයේ සංවිධානය කරන්නට තීරණය කළේ තරගාවලියේ සත්කාරකත්වය දැක්වීමෙන් ඉවත්වීමට ආර්ජන්ටිනාව සහ කොලොම්බියා රාජ්‍යයන් තීරණය කිරීමත් සමඟ ය. එම තීරණය හේතුවෙන් දකුණු අමෙරිකාවේ ඓතිහාසික පාපන්දු තරගාවලිය වන කෝපා අමෙරිකා තරගාවලිය රටවල් කීපයක සංවිධානය කිරීමේ විචිත්‍රත්වය අත්විඳීමට නොහැකි වී ගියේ ය.

මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් දොළහක් සහභාගි කරවා ගැනීමට මීට පෙර සැලසුම් කර තිබිණි. ඒ ආරාධිත පාපන්දු කණ්ඩායම් ද්විත්වයක් ආසියාවෙන් හෝ උතුරු අමෙරිකාවෙන් එක් කර ගනිමිනි. ඒ අනුව පසුගිය වතාවන්හි ආසියානු පාපන්දු කුසලානය ජය ගත් ඔස්ට්‍රේලියාව සහ කටාරය මෙවර තරගාවලියට ඉදිරිපත් වන ආරාධිත කණ්ඩායම් වශයෙන් සැලකුණද අවසන් මොහොතේ ඔවුන් ද ඒ සඳහා සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබුණේ ය. ඒ ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග කාලසටහන සමඟ එය පටැලැවෙන බව පවසමිනි.

මෙම තත්ත්වය සමඟ කෝපා අමෙරිකා පාපන්දු තරගාවලිය වෙනුවෙන් ආර්ජන්ටිනාව, බොලිවියා, බ්‍රසීලය, චිලී, කොලොම්බියා, පැරගුවේ, පේරු, උරුගුවේ,ඉක්වදෝර් සහ වෙනිසියුලාව තරග වැද සිටින දකුණු අමෙරිකානු රාජ්‍යයන් සේ දැක්විය හැකි ය. ඒ අනුව මෙම කණ්ඩායම් දහය කාණ්ඩ දෙකක් යටතට බෙදා තරග වැදීමට නියමිත ව තිබේ. එහි දී ඒ එක් කාණ්ඩයේ මුල් ස්ථාන හතරට පත්වන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් සපුරා ගැනීමට නියමිත ය.

මෙහි ඒ කාණ්ඩයට බ්‍රසීලය, කොලොම්බියාව, ඉක්වදෝරය, පේරු සහ වෙනිසියුලාව අයත් වන අතර බී කාණ්ඩය නියෝජනය කරනුයේ ආර්ජන්ටිනාව, බොලිවීයාව, චිලී, පැරගුවේ සහ උරුගුවේ යන කණ්ඩායම් ය. සියලු තරග බ්‍රසීලියා, ගොයනියා, ක්යූබා සහ රියෝ දි ජැනෙරියෝ යන නරගවල පැවැත්වෙන අතර අවසන් මහා තරගය මැරකානා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙවර කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ ශූරතාවයට වඩා ළඟින් සිටින කණ්ඩායම ලෙස සැලකෙන්නේ ආර්ජන්ටිනා කණ්ඩායමයි. ඊට ප්‍රබල හේතුවක් වනුයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ආර්ජන්ටිනා කණ්ඩායමේ සාමාජිකත්වය හිමි කර ගෙන සිටීම ය. තිස්තුන් හැවිරිදි මෙසී ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දී සිව් වතාවක් බාසිලෝනා කණ්ඩායමට ශූරතාව දිනා ගැනීමට උපකාරක කර ඇති අතර La Liga ශූරතා දහයකට හිමිකම් කියා ඇත්තෙකි. එහෙත් තවමත් ඔහුට තම රට වෙනුවෙන් කිරුළක් දිනා දීමට අවස්ථාවක් හිමි ව නොතිබෙන හෙයින් මෙවර තරගාවලියේ දී එකී ඉලක්කය ජය ගැනීමට ඔහු කටයුතු කරනු නැතැයි කිසිවකුටත් සිතන්නට නොහැකි ය. එසේම කෝපා අමෙරිකා අවසන් තරග තුනක දී ආර්ජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු මෑතකදී චිලී රාජ්‍ය සමඟ පැවැති අවසන් තරගයක දී දඬුවම් පහරක් අසාර්ථක කර ගැනීමෙන් දැඩි පීඩනයකට නතු වූයේ ය. ඒ 2016 වසරේ දී සිදුවූවකි.

ඒ ආකාරයෙන් දඬුවම් පහරක් මඟ හැරීම ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුග න්නට තීරණය කරන්නට තරම් මෙසීට බලපෑම් කළ නමුත් පසුව මාස දෙකක් ගතව යෑමෙන් පසු ඔහු එම තීරණයෙන් ඉවත් විණි.

ආර්ජන්ටිනාව ශූරතාවක් ජය ගන්නේ නම් උරුගුවේ සමඟ සම තත්ත්වයේ පැවැතීමට එය ඉවහල් වන අතර අවස්ථා පහළොවක දී ශූරතාව දිනා ගනිමින් ඉදිරියෙන්ම සිටින්නේ උරුගුවේ කණ්ඩායම ය. කෙසේ නමුත් 2011 සිට ඔවුන් නැවත ශූරතාවක් දිනා ගෙන නැත. සත්කාර බ්‍රසීලය ද මෙවර තරගාවලියේ තියුණු තරගකරුවකු ලෙස හැඳින්විය හැකි ය.

2019 වසරේ ඔවුන් ශූරතාව දිනා ගැනීමට උත්ාසහ කළ ද නේමාර්ගේ වළලුකර ආශ්‍රිතව හටගත් ආබාධයක් හේතුවෙන් ඔවුනට එම ඉලක්කය සාධනය කර ගැනීමට හැකියා ව අහිමි විණි.

මෙවර තරගාවලියේ තරු

ලුටාරෝ මාටින්ෂ්, රොබෙටෝ ෆිර්මිනෝ, එඩින්සන් කැවනි සහ ලුයිස් සුආරෙෂ්, මෙසී, නේමාර්, ඔගෙරෝ, ඩිබාලා, රොඩ්රිගූෂ්, සැන්චෙස්, ජේසුස්, එඩර්සන්, කැස්මිරෝ, මාකින්හෝස් යනු මෙවර තරගාවලියේ ප්‍රබල නම් කීපයකි.

ඊට අමතරව තවත් විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබයි. ඉන්ටර් මිලාන් ප්‍රහාරක ආට්රෝ විඩාල් චිලී රාජ්‍ය වෙනුවෙන්ද, කොලොම්බියා ක්‍රීඩක ලුයිස් මුරිල්, රොබර්ටෝ මියුරිල්, කැවානි වැන්නවුන් ද ඒ අතර ඉදිරියෙන්ම සිටිති.

 

 

Comments