ලොව පහළවුණු වේගවත්ම අම්මා | Page 2 | සිළුමිණ

ලොව පහළවුණු වේගවත්ම අම්මා

 

ජැමෙයිකන් මමී රොකට්

 

SHELLY ann fraser

'ලෝකයේ වේග ශක්ති බලාගාරය ඇත්තේ කොහේ ද? ඇතැමුන්ට එය ප්‍රශ්නයක් නොවනු ඇත්තේ එය උසේන් බෝල්ට් ගේ රාජ්‍යය බව හැඟෙන නිසා ය. උසේන් බෝල්ට් උපන්නේ ජැමෙයිකාවේ ය. ඒත් ඒ වීරයා ලෝක වාර්තා පිහිටුවා දැන් ක්‍රීඩාවෙන් සමු ගෙන බොහෝ කලකි. එහෙත් ජැමෙයිකාව යළි චිර ප්‍රසිද්ධ විය. බෝල්ට් ගෙන් පසු ජැ‍මෙයිකාව යළි ලෝ ප්‍රකට වේග බලාගාරය බවට සිහි කර වීමට සමත් වූ සිදුවීමක් සිදුවිය. මේ ඒ සිදුවීම ගැන ය.'

වේගයෙන් දුවන්නන්ට ජැමෙයිකාව තරම් ප්‍රසිද්ධ රටක් තවත් නැත. මෑතක දී අන්තර්ජාතික ධාවන වළල්ලෙන් සමු ගත් ජැමෙයිකානු ධාවන ශූර උසේන් බොල්ට් දුවපු දිවිල්ල එයට ප්‍රධාන සාක්ෂියකි. ලොව වේගවත්ම මිනිසා ලෙස ලෝකාභිෂේකයෙන් පිදුම් ලත් බෝල්ට් විශ්‍රාම ගෙන සිව් වසරක් ගත වන්නටත් පෙර ජැමෙයිකා‍වෙන් තවත් වේගවත් රොකට් එන්ජිමක් ඉස්මතු විය. ඒ ලෝකය හොඳින් හඳුනන තිස් හතර හැවිරිදි ෂෙලී ඈන් ෆේර්සර් ප්‍රයිස් ය.

ඈ වසර 33 ක ට පසුව කාන්තාවකට දිවිය හැකි උපරිම වේගය සිය නාමය ඉදිරියෙන් සටහන් කර ගැනීමට පසුගිය දා සමත් වූවා ය. ඒ ජැමෙයිකාවේ කිංස්ටන් හි පැවැති මීටර් 100 ධාවන තරගයක දී ය. එහිදී මීටර් 100 තරග ඉසව්ව තත්පර 10.63 කාලයකින් නිම කරන්නට ඕ සමත් වූවා ය. එය දෙවැනි වූයේ අමෙරිකානු ක්‍රීඩිකා ෆ්ලෝරන්ස් ග්‍රිෆීත් මීටර් 100 ඉසව්ව නිම කළ කාලයට පමණි. ඒ ග්‍රිෆිත් විසින් 1988 වසරේ දී මීටර් 100 දුර තත්පර 10.49 ක ධාවන කාලයකින් නිමා කරමින් දක්වා තිබූ දක්ෂතාවයට ය.

ෆ්ලෝරන්ස් ග්‍රීෆීත් 1998 සැප්තැම්බර් 21 වන දින හදිසියේ මෙලොවින් සමු ගත්තේ වයස අවුරුදු 38 දී ය. ඈ ලොව වේගවත්ම කාන්තාව ලෙස වාර්තාව පිහිටුවූයේ වයස අවුරුදු 28 දී ය. ඒ අනුව ලොව වේගවත්ම කාන්තාව මේ වන විටත් මෙලොවින් සමුගෙන තිබීම නිසාම ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆේර්සර් වර්තමාන ලෝකයේ ජීවත් වන වේගවත්ම කාන්තාවන් අතර ජීවමාන සලකුණ ලෙස හැඳින්වූවාට වරදක් නැත. ෆ්ලෝරන්ස් ලොව වේගවත්ම කාන්තාව වන විට ඇය 28 වන වියේ පසු වීමත් ෆේර්සර් ඇයට දෙවැනි වන විට 34 වැනි විය ගෙවා දමමින් සිටින එක් දරු මවක් වීමත් වඩාත් සුවි‍ශේෂී වෙයි.

ෆේර්සර් මෙම වාර්තාව පිහිටුවන්නට පෙර ධාවන පථය තුළ සුවිශේෂී දස්කම් පෑ චරිතයකැයි කිව යුතු ය. ඇය තම මවුබිම වූ ජැමෙයිකානු නාමය සය වතාක් ම ඔලිම්පික් පදක්කමින් සරසවනු ලැබුවා ය. එහි දී ඔලිම්පික් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් තුනක් සහ එක් ලෝකඩ පදක්කමක් ලබා ගන්නට ඈ සමත් විය. 2008 බීජීං ඔලිම්පික් උලෙළේ මීටර් 100 රන් පදක්කමත්, 2012 ලන්ඩන් ඔලිම්පික් හි මීටර් 100 රන් පදක්කම සහ මීටර් 200 රිදී පදක්කම මෙන්ම මීටර් 100 x 4 සහය දිවීම රිදී පදක්කම ද ඇය විසින් දිනා ගත්තා ය. 2016 රියෝ දි ජැනෙයිරෝ නුවර පැවැති ඔලිම්පික් උලෙළෙ හි 100 x 4 සහය දිවීම රිදී පදක්කම ත්, මීටර් 100 ලෝකඩ පදක්කමත් ඇය ජයග්‍රහණය කරනු ලැබුවා ය. 2008 සහ 2012 වසරවල ඔලිම්පික් උලෙළෙවල පිට පිටම මීටර් 100 රන් පදක්කම දිනා ගත් ෆේර්සර්ට 2016 වසරේ දී සිදුවූයේ ලෝකඩ පදක්කමෙන් සැන‍සීමට ය. ඒ ඇගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙනි.

ඊට අමතරව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි රැසක් නියෝජනය කළ ෆේර්සර් රන් පදක්කම් 9 ක් සහ රිදී පදක්කම් 2 ක් ජයග්‍රහණය කර තිබේ. තවත් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි කිහිපයක දී ම ඇය රන් පදක්කම් 5 ක් මෙන්ම රිදී සහ ලෝකඩ පදක්කම් 1 බැගින් ජය ගෙන ඇත.

ධාවනයෙන් ලොවක් වසඟ කර ගත් ෆේසර්ගේ ළමා කාලය, එතරම් සුන්දර නොවූ කටුක අත්දැකීම්වලින් සමන්විත වූවකි. ජැමයිකාවේ කිංස්ටන්හි 1986 දෙසැම්බර් 27 දින උපන් ෆ්‍රේසර්ගේ මව වීදි වෙළෙන්දියක වූවා ය. ප්‍රාථමික පාසල් සමයේ සිටම දුවන්නට හපන්කම් කී ෆේර්සර් හට එකල ධාවන ඉසව්වලදී පලඳින්නට සුදුසු සපත්තු ජෝඩුවක් මිල දී ගැනීමට තරම්වත් ඇගේ මවට වත්කමක් නොවී ය. ප්‍රාථමික පාසලේ ධාවන තරගවලදී ඇය ඉහළ ජයග්‍රහණ සහ සම්මාන ලැබුවේ සපත්තු රහිතව දිව යමිනි.

ජාත්‍යන්තර ධාවන පථයක් මත ෆේර්සර් අවධානයට ලක් වන්නේ 2007 වසරෙන් පසුව ය. 2007 ජපානයේ ඔසාකා ලෝක ශූරතාවලියේ දී මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම ඇයට හිමි විණි. නමුත් 2008 බීජිං ඔලිම්පික් සඳහා ජාතික මට්ටමේ සුදුසුකම ලබා ගැනීමට ඇය අපොහොසත් වූවා ය. ජැමෙයිකානුවන් අතර මීටර් 100 ඉසව්ව වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරගයේ දී ඇයට හිමි වුණේ දෙවැනි ස්ථානය යි.

2007 ඔසාකා හිදී ෆේර්සර් දැක් වූ දක්ෂතා සලකා ඇයට ඔලිම්පික් වරම් හිමි වුවත් ඒ අතරතුර ඇයගේ තේරීමට එරෙහි ව ජැමෙයිකානු මලල ක්‍රීඩා පරිපාලනය වෙත පෙත්සමක් ඉදිරිපත් විණි. කෙසේ නමුත් අර්බුද මැද 2008 ඔලිම්පික් තරග කළ ෆේර්සර් එහිදී මීටර් 100 රන් පදක්කම දිනා ගත්තේ එම දස්කම පෑ පළමු ජැමෙයිකානු ක්‍රීඩිකාව ලෙස අබිසෙස් ලබමිනි.

බාධාවලට මුහුණ ‍‍දෙමින් දිගින් දිගටම ජාත්‍යන්තර මට්ටමේ දස්කම් පෙන් වූ ෆේර්සර් හට 2010 ජුනි මාසයේ දී නැවතත් නරක කාලයක් උදා විය. ඒ ඇය දතේ අමාරුවකට ගත් ඖෂධයක් හේතුවෙනි. එම ඖෂධය ඇගේ ගමනට හරස් විණි. ඇය ඇගේ පුහුණුකරුගේ අධීක්ෂණයෙන් ලබා ගත් ඖෂධයේ ඔක්සිකෝඩෝන් නම් මත්ද්‍රව්‍ය අන්තර්ගතව තිබීම නිසා මාස 6ක තරග තහනමක් පැනවිණි. මාස 6 කින් නැවතත් ධාවන පථයට පිවිසි ඇය 2012 ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර තරගාවලි රැසකින්ම ජැමයිකානු නාමය බැබළෙව්වාය. 2013 අයි.ඒ.ඒ.එෆ්. ලෝක මලල ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලත් ෆේර්සර් එම අභිෂේකය හිමි කර ගත් දෙවැනි ජැමයිකානු කාන්තාව ලෙස සැලකෙයි.

2017 වසරේ දී ෆේර්සර් තාවකාලිකාව ක්‍රීඩාවට සමු දෙන බව නිවේදනය කරනු ලැබිණි. කාන්තාවක් ලබන උතුම් සම්මානයක් වන මාතෘත්වයට හිමිකම් කියා තිබූ හෙයින් ඇය නැවතත් ධාවන පථයට ‍ගොඩ වූයේ 2018 මැයි මාසයේ සිට ය. මෙ වන විට ෆේර්සර්, තුරුණු විය පසු කරමින් සිටින මවක් වන නමුත්, ඇගේ වේගයේ තාරුණ්‍යය පසු කර වියපත්ව අඩාළව තිබුණේ නැත.

මවක් වීමෙන් පසුව ද ඇගේ වේග‍‍යේ අඩුවක් නො‍පෙනෙන නිසා රසික පිරිස් ඇයව හඳුන්වන්නේ 'මමී රොකට්' යන අන්වර්ථ නාම‍යෙනි. 2022 ලෝක ශූරතාවලියෙන් පසුව ඇය ක්‍රීඩා‍වෙන් සමු ගන්නට මේ වන විට තීරණය කර ඇත. නමුත් ඊට ‍මත්තෙන් ‍‍‍ලොව ‍වේගවත්ම කාන්තාව ‍‍ලෙස ඉතිහාසයට එක් වීම සඳහා ඇයට අරමුණක් ඇත. එ‍සේම 2016 දී අබාධයක් නිසා ඇයට අහිමි ව ගිය ඔලිම්පික් රන් කිරුළ ‍මෙවර ‍ටෝකියෝ ඔලිම්පික් හි දී නැවතත් තමන් සතු කර ගැනීමේ අධිෂ්ඨානයෙන් ද ඈ මේ වන විට ප්‍රතිබද්ධ ය.

 

Comments