මම බැඩ්මින්ටන් ක්‍රීඩාවට කළේ මොනවද කියලා රටම දන්නවා | සිළුමිණ

මම බැඩ්මින්ටන් ක්‍රීඩාවට කළේ මොනවද කියලා රටම දන්නවා

 

නිලූක කරුණාරත්න

 

ක්‍රීඩාවෙන් සෙව්වේ ජයග්‍රහණ මිස මුදල් නොවෙයි

කොරෝනා මැදත් මම දැක්කේ ඔලිම්පික් සිහින විතරයි

මම තව කාලයක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ඉන්නවා 

මම ඉවත් වුණේ ජාතික තලයේ තරගවලින් විතරයි

රට ඇතුළේ බැඩ්මින්ටන් ක්‍රීඩාවට නියම තැනක් ලබා දෙන්න මට හැකි වුණා

ජපානයේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උලෙළ් දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට සුදුසුකම් ලබා ගත් පළමු ක්‍රීඩකයා නිලූක කරුණාරත්න ය. දසක දෙකකට ආසන්න කාලයක් ජාතික බැඩ්මින්ටන් ශූරයා වන ඔහු මේ ගත කරමින් සිටිනුයේ සිය ක්‍රීඩා ජීවිතයේ අවසන් මාස කීපය ය. ‘ක්‍රීඩා’ ඔහු හා සාමිච්ඡියකට යොමු වූයේ එවන් සුවිශේෂී පසුබිමක් ඔහු වටා ගොඩනැඟී තිබියදී ය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝ ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා ඔබ ? පළමුව අපි ඒ අත්දැකීම ගැන කතාකරමු?

ඔව්. මේ මගේ තෙවැනි ඔලිම්පික් සහභාගිත්වය. මීට පෙර 2012, 2016 යන වසරවල දී ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන්න මට අවස්ථාව උදා වුණා. ඊට පසුව 2020 ඔලිම්පික් උලෙළට සුදුසුකම් සපුරාගන්න මම ගත්ත ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ටෝකියෝ ඔලිම්පික් උලෙළ වෙනුවෙන් පසුගිය දා අවස්ථාව සම්පූර්ණ කර ගත්තේ. ඇත්ත වශයෙන්ම රට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට සහභාගි වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම අප වගේ රටක ක්‍රීඩකයකුට වඩා අසීරු කාර්යයක්. විශේෂයෙන් ම ලෝකයේ සිටින විශිෂ්ටම ක්‍රීඩකයන් අතලොස්ස තමයි ඔලිම්පික් එන්නේ. ඒ විශිෂ්ටත්වය හැදෙන්නෙත් තාක්ෂණය, විද්‍යාත්මක පුහුණු ක්‍රමවේද, ස්ථාවර ජීවන තත්ත්වයක් එක්කයි. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටක ක්‍රීඩකයකුට විශේෂයෙන් ම ජානමය ශක්තිය අතින් ජාත්‍යන්තරය දිනන්න අඩු අවස්ථාවක් ඇති ක්‍රීඩකයකුට ඔලිම්පික් අවස්ථා අඩුයි. එවැනි පසුබිමක ඔබ කොහොමද මේ අවස්ථාව අත්පත් කර ගන්නේ?

ජාත්‍යන්තර වශයෙන් අපි ක්‍රීඩා කළ තරග අතුරින් ඔලිම්පික් සුදුසුකම් සපුරන කාල සීමාවේ ක්‍රීඩා කර ඇති හොඳම තරග දහයට පිරිනැමෙන ලකුණු අනුව තමයි ඒ අවස්ථාව තීරණය කරන්නේ. ඒ අනුව මට ඔලිම්පික් තරගාවලියට එක්වන ක්‍රීඩකයන් අතර ස්ථානයක් දිනා ගැනීමට අවස්ථාව හිමි වුණේ අදාළ කාලසීමාව තුළ සහභාගි වූ තරගවලදී ලෝක ශ්‍රේණි සටහනේ ඉදිරියට එන්න හැකි වුණු නිසයි.

කොවිඩ් වසංගතයත් එක්ක ලෝකය යම් ප්‍රමාණයකට අකර්මන්ණ්‍ය වෙලා තිබුණා. ඒ නිසා ඔලිම්පික් පවා වසරකින් කල් දැමුණා. සුදුසුකම් ලබා ගැනීමේ කාල සීමාවන් වෙනස් කරන්න සංවිධායකයන් කටයුතු කළෙත් ඒ නිසයි. එවැනි පසුබිමක ඔබට ඔලිම්පික් සුදුසුකම සම්පූර්ණ කර ගැනීමේ දී අසිරුතා පැන නැඟුණේ නැද්ද?

ඇත්තටම අසීරුතා බොහොමයක් තිබුණා. සංචරණ සීමා නිසා ඇතැම් අවස්ථාවල තරගවලට සහභාගි වෙන්න විදේශයන්ට යන එක ලෙහෙසි වුණේ නෑ. නමුත් මම ඒ හැම අර්බුදයක් ම කළමනාකරණය කර ගනිමින් ඔලිම්පික් සුදුසුකම් සම්පූර්ණ කර ගත්තා.

දැන් ඔබ ඔලිම්පික් සුදුස්සෙක් වෙන්න නිශ්චිත කාල සීමාව තුළ කොපමණ තරග ප්‍රමාණයකට ක්‍රීඩා කළා ද?

මම තරග 13 කට ක්‍රීඩා කළා. බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඔලිම්පික් සුදුස්සකු වෙන්න ලෝකයේ අඩුම තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරලා ඊට සුදුසුකම් සම්පූර්ණ කළ ක්‍රීඩකයා මමයි. බොහොමයක් ක්‍රීඩකයෝ ආසන්න වශයෙන් තරග 20 කට ක්‍රීඩා කරලා ඉන් හොඳටම සමාප්ත කළ තරග දහයේ දී ලැබුණු ප්‍රසාද ලකුණු හිමි කර ගනිමිනුයි ඔලිම්පික් සුදුසුකම් සපුරා ගත්තේ. නමුත් මම තරග 13 කින් තරග 10 කින් ලබාගත් ලකුණු අනුවයි ඔලිම්පික් යන්නේ. එයත් එක්තරා ආකාරයක ජයග්‍රහණයක්.

පසුගිය දා ඔලිම්පික් සුදුසුකම් සම්පූර්ණ කර ගන්න ඔබ ලෝක සිතියම ඇතුළේ බොහෝ දුර ඈත රටවල පවා සංචාරය කළා. කොවිඩ් අර්බුද අස්සේ එවැනි ගමන්වලදී සංචරණ ගැටලුවලට මුහුණ දුන්නේ නැද් ද?

ඔව්. ඒ රටවලට යන්න වීසා ගන්න මට ඉන්දියාවට යන්න සිද්ධ වුණා. එහෙම ඉන්දියාවට යන්න සූදානම් වන විට කොවිඩ් තත්ත්වයත් එක්ක මුළු ඉන්දියාව දැඩි ගැටලුවක වෙළිලා තිබුණු කාලක් ඒක. ඔවුන් රට වසා දමන්න තීරණය කළේ මම ඉන්දියාවට ගිය දවසට පහුවෙනිදායි. කොහොම හරි දුෂ්කරතා මැද මම හිතුව එකම දෙය කොහොම හරි ඔලිම්පික් සුදුසුකම් සම්පූර්ණ කරනවා කියන එක විතරයි. ඒ වෙනුවෙන් මම අධිෂ්ඨානශීලිව කටයුතු කළා. කොටින්ම කියනවා නම් කොවිඩ් මැද මම දැක්ක එකම සිහිනය ඔලිම්පික්. අවසානයේ මට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි සඳහා පෝලන්තයට වගේම පේරු හා පෘතුගලයට යන්න තිබුණා. පේරු රාජ්‍ය ලතින් අමෙරිකානු රටක්. මම ඒ රටට යද්දී එහෙත් කොවිඩ් අර්බුද පැන නැඟිලා තිබුණා.

ඔබ කොහොමද මේ කියන කොවිඩ් තර්ජන එක්ක තරගාවලි සහභාගිත්වය කළමනාකරණය කර ගත්තේ?

මම හා සෙසු ක්‍රීඩකයන් පේරු වෙත ගිය ගමන් අපව පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළා. ඒ වගේම වහාම ජීව බුබුළකට එකතු කළා. එතැන දී යළි පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්වුණා. අවසානයේ තරගාවලිය අවසන් වෙලා එද්දී තවත් අර්බුදයකට මුහුණ දෙන්න වුණේ යුරෝපයේ පැවැත්වෙන තරගාවලියක් ලෙස පෘතුගාල තරගාවලියට සහභාගි වෙන්න නියමිත වෙලා තිබුණු නිසයි. නමුත් පේරු රාජ්‍යයේ ඉඳලා පෘතුගාලයට එන්න අසීරුතා මතු වුණා. විශේෂයෙන්ම යුරෝපීය ජාතිකයකු නොවන ගුවන් මඟියකුට අවස්ථාව ලැබුණේ නැති නිසා තමයි ඒ ගැටලුවට මුහුණ පෑවේ.

ඒ තත්ත්වය උඩ ඔබ ලංකාවට ඇවිත් ද ආපහු යුරෝපයට ගියේ?

නෑ. මට එතැන ඉඳලා තානාපති කාර්යාල, ගුවන් සමාගම් සමඟ තීරණාත්මකව ගනුදෙනු කරන්න සිදුවුණා. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයත් මේ ගැටලුව විසඳාගන්න උදවු කළා. අන්තිමට පේරු ඉඳලා මැඩ්රීඩ්වලට විතරක් යුරෝපීය නොවන මඟීන්ට එන්න තිබුණු ගුවන් ගමන් අවකාශය ප්‍රයෝජනයට අරගෙන තමයි මම පෘතුගාලයට ළඟා වුණේ. ඒක මම ක්‍රීඩා ජීවිතයේ මුහුණ පෑ තවත් අර්බුදයක්.

විදේශීය රටක සංචාරකයෙක් වශයෙන් මේ වගේ ගුවන් ගමන් අර්බුදයක් විසඳාගන්න එක ඇතැම් විට අමාරු වැඩක්. ඔබ ක්‍රීඩකයෙක් වශයෙන් මේ තත්ත්වයට මුහුණ දෙන්න අවශ්‍ය පෞරුෂය ගොඩනඟා ගත්තේ කොහොම ද?

මෙහෙමයි. මම හිතන්නේ ක්‍රීඩකයෝ කියන්නේ විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත, ධෛර්යයක් සහිත කණ්ඩායමකට කියලයි. මම දසක ගණනාවක් තිස්සේ රට නියෝජනය කරන ක්‍රීඩකයෙක්. පුංචිම කාලේ ක්‍රීඩාව පටන් ගනිද් දී විදේශීය සංචාරවලට තනියම ගියා වගේම හුඟාක් වෙලාවට සංචාරය කරලා තිබෙන්නේ තනිවමයි. ඒ නිසා එතැන දී මුහුණ දෙන්න සිදුවන බොහෝ අභියෝගවලට සාර්ථකව පිළිතුරු සොයාගෙන තිබෙනවා. ඉතින් මේ ගැටලුවේදීත් එයම සිදුවුණා.මම ජාත්‍යන්තර නීති රීති, සංචරණ නීති, වීසා නීති, ක්‍රීඩා බලධාරීන්ගේ නීතිවලට අනුගත වෙලා තමයි මේ හැම දෙයක්ම මම දිනා ගත්තෙ. පසුගිය කාලයේ පේරු සිට පෘතුගාලයට ආපු අවස්ථාවේ දී කොහොම හරි තරගාවලිය ආරම්භයට පෙර නියමිත කාලය තුළ දී තරගාවලියට එන්න පුළුවන් වුණා.

දැන් ඔබ ඔලිම්පික් සුදුසුකම් ලැබූවන් අතර ශ්‍රේණි ගත වන්නේ කුමන ස්ථානයට ද?

මම ඔලිම්පික් තරගාවලියට එක්වන බැඩ්මින්ටන් ක්‍රීඩකයන් සිය දෙනා අතර අනූ නව වැනියා. හැබැයි අර ඉස්සෙල්ලා කිව්වා වගේ අඩුම තරග ගණනක් නියෝජනය කරලා ඔලිම්පික් සුදුසුකම් ලබා ගත්ත ක්‍රීඩකයා මම තමයි.

මේ වසරේ පැවැත්වුණු ජාතික ශූරතා බැඩ්මින්ටන් තරගාවලියෙන් අනතුරුව ඔබ ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට නිවේදනය කළා. ඒක වෙනස් කර ගත්ත නිසා ද ඔලිම්පික් නියෝජනය කරන්න නැවත සැලසුම් කළේ?

නෑ මම මගේ රටේ පැවැත්වෙන තරගවලින් සමුගත්තා. නමුත් ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩා කරන්න තවදුරටත් කටයුතු කරන බව මම කියනවා. දැන් මට දේශීය වශයෙන් දිනන්න අභියෝගයක් නෑ. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වගේම, පොදු රාජ්‍ය මණ්ඩලයීය හා ආසියානු ක්‍රීඩා උලෙළ නියෝජනය කරන්න මම උත්සහ කරනවා.

වසර විස්සකට අධික කාලයක් තිස්සේ ජාතික තලයේ බැඩ්මින්ටන් ක්‍රීඩා කරන්න අවශ්‍ය මානසික නැඹුරුව ඇති කර ග‌ත්තේ කොහොම ද? දේශීයව බැඩ්මින්ටන් ක්‍රීඩා කළා කියලා වාණිජ වශයෙන් ලැබෙන දෙයක් නෑ‌ කියලා පසුබෑමක් එහෙම ඇති වුණේ නැද්ද?

ක්‍රීඩාවක නියැළෙන්නේ මානසික සතුට වෙනුවෙන්. එතැන දි මතුවන තවත් මූලික අරමුණක් වන්නේ ජයග්‍රහණයයි. ඒ නිසා ක්‍රීඩා කරද් දී අපි එහි නිරත විය යුත්තේ ජයග්‍රහණයට ඇති දැඩි කැමැත්තෙන් මිස අන් කිසිවක් බලාපොරොත්තුවෙන් නොවෙයි. හැබැයි ඔබ අහන දේ ඇත්ත, ලංකාවේ බැඩ්මින්ටන් ගැහුවා කියලා කිසිවකුට මූල්‍යමය වශයෙන් ලැබෙන දෙයක් නෑ. නමුත් මම නම් මේ ක්‍රීඩාවට හුඟාක් ආදරෙයි. දැන් ඔබ අදහස් කළේ ක්‍රිකට් වගේ ක්‍රීඩාවකට නැඹුරු නොවුණේ ඇයි කියලනේ. මම පාසල් යන සමයේ ක්‍රිකට් ක්‍රීඩා කළා. දැන් මගේ බාල සහෝදරයාත් බැඩ්මින්ටන් වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් කරනවා. නමුත් ක්‍රීඩාවක් කරද් දී එක් එක් ක්‍රීඩාවෙන් ලැබෙන සතුට ගැන සිතිය යුතුයි. ඒ අනුව මට බැඩ්මින්ටන් ක්‍රීඩා කරල ලැබෙන සතුට සියලුම ක්‍රීඩාවලට වඩා දැනෙනවා වැඩියි. අනෙක මම ක්‍රීඩා කළේ ජයග්‍රහණය අරමුණු කරගෙන.වෙන අරමුණු ඉදිරියට දාගෙන මම කටයුතු කළේ නෑ. සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය ඉලක්ක කරගෙන, විවිධ අපහසුතා, අභියෝග ඉදිරියේ රටට ගෞරවයක් ගේන්න හිතාගෙනයි මම බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැළෙන්නේ. ඒ වගේම මම කියන්න කැමතියි බැඩ්මින්ටන් කියන්නේ ලෝකයේ තිබෙන අති සුන්දර ක්‍රීඩාවක් බව. ඒ නිසා තමයි මම මේ ක්‍රීඩාව සමඟ මේතරම් ආකර්ෂණය ව සිටින්නේ.

දැන් ඔබ ඔය විදිහට බැඩ්මින්ටන් ක්‍රීඩා කරලා රටට, ඒ ක්‍රීඩාවට රැගෙන ආපු ගෞරවය මොකක් ද?

දසක දෙකකට අධික කාලයක් මම බැඩ්මින්ටන් ක්‍රීඩා කරලා ඒ ක්‍රීඩාවට ගෞරවය ගෙනාවා

උදාහරණයකට මම පොඩි දේවල් කීපයක් සිහිපත් කරන්නම්. මම මේ ක්‍රීඩාවට එද්දී අපේ රට ඇතුළේ මේ ක්‍රීඩාවට නිසි පිළිගැනීමක් තිබුණේ නෑ. නමුත් මට ඒ පිළිගැනීම නිර්මාණය කරලා දෙන්න මූලික වෙන්න හැකි වුණා. එදා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ජාත්‍යන්තර තරගයකට ගිහින් ඇඟ උණුසුම් කරන ව්‍යායාම පවා නොකර තරගවලට ක්‍රීඩා කළා. මම ඒවා ඇසින් දැක්කා. එදා මට හිතුණා මෙහෙම ක්‍රීඩා කරලා රට නියෝජනය කරලා ඇති වැඩේ මොකක් ද කියලා. ඒ කාලේ අපේ අය ගිහින් රට නියෝජනය කළේ සංචාරයක් ගියා ආවා කියන තැන ඉඳලයි. නමුත් මම ඒ තත්ත්වය වෙනස් කරන්න මූලික වුණා. විනය පිරිහිලා තිබුණු ක්‍රීඩාවක් හැටියට හංවඩු ගැසුණු බැඩ්මින්ටන් ක්‍රීඩාවට නිසි විනයක්, ශික්ෂණයක් ගේන්න මූලික වෙන්න මට හැකියාව ලැබුණා.

මොකක්ද ඔබ රැගෙන ආපු විනය?

මම එද්දී ප්‍රවීණ ක්‍රීඩකයන්, නවක ක්‍රීඩකයන්ට නවක වදය ලබාදෙනවා. ඒ කාලේ අලුතින් එන හැම ක්‍රීඩකයෙකු ම නවක වදයට ලක්විය යුතුමයි. එසේ නවක වදයට මුහුණ නොදී කිසිදු නවක ක්‍රීඩකයකුට ක්‍රීඩාවේ රැඳී ඉන්න බෑ. නමුත් 2001 වසරේ ජාතික ශූරයා වුණායින් පසුව මම පළමුව කළේ මේ නවක වදය නැති කරන එකයි. ඒ අනුව කිසිම ක්‍රීඩකයකුට ජාතික තලයේ බැඩ්මින්ටන් ගහද්දී ගැටලු ඇති නොවෙන්න මම මූලිකත්වය ගත්තා. ඒ වගේම ක්‍රීඩිකාවන්ට නිරුපද්‍රිතව, ගෞරවනීය ව ක්‍රීඩා කරන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න මූලික වුණා. ජාත්‍යන්තර සිතියමේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දී ශ්‍රී ලංකාව නමින් ස්ථානයක්, පිළිගැනීමක් වෙන් කරලා දෙන්න මට මූලික වෙන්න හැකි වුණා. මේ දේවල් ඔබම විමසලා බලන්න. එතකොට ඔබ අහන ප්‍රශ්නයට නිසි පිළිතුර ලැබේවි.

ඔබට වර්තමාන බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා ගෙන් ලොකු පිටුබලයක් ලැබෙනවා. ඒ නිසා තමයි මේ සියලු සාර්ථක වීම් සොයා ගත්තේ කියලා කියන කෙනෙක් සෙසු ක්‍රීඩකයන්ට ඒ සහය නොලැබෙන නිසා ඔවුන්ට මතුව එන්න නොහැකි යැයි කීව හොත් මොකද කියන්නෙ?

සභාපති රොහාන් ද සිල්වා මහතා මට සහයෝග දක්වනවා කියන එක ඇත්ත. ඒත් සෙසු අයට උපකාර නොකරනවා කියලා කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක්. එතුමා මට මගේ ක්‍රීඩාව පවත්වාගෙන යන්න බොහෝ උපකාර කරනවා. ඔහු කාලයකට වරක් ක්‍රීඩාවට පහළ වෙන පරිපාලකයෙක්. නමුත් පෙර කිව් ආකාරයට ඔහු මට විතරක් නොවෙයි සහයෝගය ලබා දෙන්නේ. සෙසු සෑම ක්‍රීඩකයකුටම, පුහුණුකරුවන්ට, විනිසුරුවන් ඇතුළු බැඩ්මින්ටන් පවුලේ සියලු දෙනාට ඔහු සමව උපකාර කරනවා. එහෙම කරන්නෙ නෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක සිදුකරන බවට පෙන්වන්න අවශ්‍ය ඔනෑ තරම් සාක්ෂිත් තිබෙනවා. එතුමා මගේ ක්‍රීඩාවට ශක්තියක් වුණා. ඒ වගේ ම සමස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාවටත් එතුමා ලබා දෙන්නේ මහා ශක්තියක්.

දැන් වෙලාව හොඳයි ඔබට මේ ගමනේ දී සහය ලබා දුන් අය ගැන සිහිපත් කරන්න?

1999 වසරේ ඉඳලා මම බැඩ්මින්ටන් ක්‍රීඩා කරද් දී මේ රටේ ක්‍රීඩා අමාත්‍ය ධුර දැරූ සියලු ඇමැතිවරුනට, ඒ යුගයන් හි බැඩ්මින්ටන් සංගමයේ පරිපාලනය භාරව සිටි නිලධාරී මහත්වරුන්ට, වර්තමාන බැඩ්මින්ටන් පරිපාලනයට, විශේෂයෙන් සභාපති රොහාන් ද සිල්වා මහතා සහ ලේකම් මොහාන් විජේසිංහ මහතාට, ජාතික ඔලිම්පික් කමිටුවට මෙන්ම වර්තමාන ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට පෞද්ගලිකව මම මගේ හදපිරි ප්‍රණාමය පළ කරන්න කැමැතියි.

ඔබ ක්‍රීඩාවෙන් සමු ගත්ත දිනට පසුව ක්‍රීඩා පරිපාලනය සමඟ සම්බන්ධවෙන්න නැඹුරුවක් තිබෙනවා ද කියා විමසුවහොත් දෙන පිළිතුර කුමක් ද?

මගේ එවැනි අදහසක් නම් නෑ. මම ක්‍රීඩකයෙක් වශයෙන් උපරිමව ක්‍රීඩා කළා. තවමත් ක්‍රීඩා කරනවා. නමුත් ක්‍රීඩා පරිපාලනය එක්ක එක් වෙන්න මම හිතුවේම නෑ. ඒත් ක්‍රීඩාව නඟා සිටුවන්න යම් දායකත්වයක් ලබා දීමට හැකියාවක් ලැබෙනවා නම් මම ඊට අකැමැති නෑ. යම් කිසි කෙනෙක් හෝ කණ්ඩායමක් ඒ වෙනුවෙන් මට අවංක ආරාධනයක් කළොත් එය ප්‍රතික්ෂේප නොකරාවි.

අවසන් වශයෙන් මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාව නඟාලීමට ඔබ දෙන ප්‍රධාන යෝජනාවක් තියෙනවා ද?

ඉතා සරලයි. අපි විවිධ කණ්ඩායම් වශයෙන් බෙදිලා ඉන්නවා නම් ඒ සියලු කණ්ඩායම් කොන්දේසි විරහිතව එක් වෙන්න අවශ්‍යයි. අඩුම තරමේ සියලු කරුණු සමඟ එකඟ නොවුණත් අවම මූලික කරුණු එක්ක එකතු වෙන්න හැකියිනෙ. ඒ නිසා මම යෝජනා කරන්නේ ක්‍රීඩාව නඟාලන්න සියලු පාර්ශ්ව එක් කරගෙන කටයුතු කළ යුතුයි.

 

 

Comments