මංගල ගමනේ ද්විත්ව ශතක වැඩකාරයන් අතර | සිළුමිණ

මංගල ගමනේ ද්විත්ව ශතක වැඩකාරයන් අතර

 

නවසීලන්ත - කොදෙව් කරට කර සටන

ශ්‍රී ලංකාවේ බ්‍රෙන්ඩන් කුරුප්පුත් ද්විත්ව ශතක හත් හවුලට

ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තා පොත ඉතා දිගු ය. ක්‍රීඩා ජීවිතයේ එක් අවස්ථාවක පමණක් පිහිටු විය හැකි වාර්තා ද එම ‍පොතෙහි වෙයි. එවන් වාර්තාවක් පිහිටුවීමට ක්‍රීඩකයාගේ දක්ෂතාවය පමණක් නොසෑහේ. ඒ ඊට ක්‍රීඩකයා සතුව යම් වාසනා ගුණයක් ද තිබිය යුතු යැයි සැලකිය හැකි හෙයිනි. ක්‍රීඩකයෙක් මංගල තරගයක දී පිහිටුවන වාර්තා ද එබඳු ගණයේ ලා සැලකීමට පිළිවන. පසුගිය දා නිමා වුණු එංගලන්ත - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර එබඳු වාර්තාවක අලුත් වීමක් සිදු විය. ඒ නවසීලන්තය නියෝජනය කරමින් ඩෙවොන් කොන්වේ පිහිටු වනු ලැබූ වාර්තාවකි.

මංගල ටෙස්ට් ගමනේ දී ඔහු දර්ශනීය ලෙස පිත්ත හසුරුවමින් පළමු ඉනිමේ දී ම ද්විත්ව ශතකයක් වාර්තා කරන්නට සමත් වීම එම වාර්තාවයි. මේ ආකාරයෙන් සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ක්‍රීඩකයකු ද්විත්ව ශතකයක් ලබා ගත් සත් වැනි අවස්ථාව ලෙස එය සටහන් විණි. මෙහි ඇති ප්‍රධානම කාරණය වනුයේ එම වාර්තාව තුළ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු ද සිටීම ය. එහි ඇති අනෙක් සුවිශේෂත්වය වනුයේ මෙම වාර්තාව යළි සිහපත් කළ කොන්වේ නවසීලන්තය නියෝජනය කිරීමත් ශ්‍රී ලංකාවේ බ්‍රෙන්ඩන් කුරුප්පු එකී වාර්තාව නවසීලන්තයට එරෙහිව පිහිටුවීමත් ය.

ටිප් ෆෝස්ටර්

මංගල ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා ටිප් ෆෝස්ටර් ය. එංගලන්තය නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාව ට එරෙහිව මංගල ටෙස්ට් තරගය ට සහභාගි වූ ටිප් ෆෝස්ටර් පළමු ඉනිමේ දී ම ලකුණු 287 ක් රැස් කළේ ය. ඒ 1903 වසරේ දී ය. වසර 150 ක් පැරැණි ‍ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ මංගල ටෙස්ට් තරගයේ දී ඉනිමක රැස් කළ ඉහළ ම ලකුණු සංඛ්‍යා‍වේ වාර්තාවට හිමිකම් කියන්නේ ද ටිප් ෆෝස්ටර් ය. 1903 සිට 1907 දක්වා ජාත්‍යන්තර පිටියේ රැඳී සිටි ෆෝස්ටර් ටෙස්ට් තරග 8 ක දී ලකුණු 602ක් ලබා ‍ගෙන ඇත.

ලෝරන්ස් රෝවේ

1972 බටහිර ඉන්දිය කොදෙව් පිල නියෝජනය කරමින් ටෙස්ට් පිටියට පිවිසි ලෝරන්ස් රෝවේ සිය පළමු ඉනිමේ දී ම ලකුණු 214 ක් රැස් කළේ ය. වසර 69 ක් ම ෆෝස්ටර් අත පැවැති වාර්තාවට 

ඒ අයුරින් ලෝරන්ස් ද සම හිමිකම් කීම ආරම්භ වූයේ එසේ ය.

සිය මංගල තරග‍යේ පළමු ඉනිමේ ද්විත්ව ශතකයක් ලබා ගත් ලෝරන්ස් ඉන් නොනැවතී දෙවැනි ඉනිමේ දී ද නොදැවී ලකුණු 100 ක් රැස් කිරීමට සමත් විණි. මංගල තරගයේ ඉනිම දෙකෙහිම ද්විත්ව ශතකයක් සහ ශතකයක් ලබා ගත් ලොව පළමු සහ එක ම ක්‍රීඩකයා ලෙස ද රෝවේ සැලකෙන්නේ ය. ලෝරන්ස් රෝවේ පසු කලෙක එංගලන්තයට එරෙහිව ත්‍රිත්ව ශතකයක් (302) ලබා ගන්නට ද සමත් වූ පිතිකරුවෙකි.

බ්‍රෙන්ඩන් කුරුප්පු

1987 වසරේ ජාත්‍යන්තර ‍ටෙස්ට් වරම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 201 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තරයේ ටෙස්ට් වරම් දිනා වසර 5 ක් ගත වීමටත් මත්තෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයකු මෙම දුර්ලභ වාර්තාවට සම හිමිකම් කීම වඩාත් සුවිශේෂී කරුණකි. 1987 සිට 1991 දක්වා ටෙස්ට් තරග 4 ක ට පමණක් ක්‍රීඩා කළ කුරුප්පු එහි දී ලකුණු 320 ක් රැස් කළේ ය.

මැතිව් සින්ක්ලෙයර්

1999 බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත් නවසීලන්ත ක්‍රීඩක මැතිව් ද කුලුඳුල් ටෙස්ට් ඉනිමේ දී ම ලකුණු 214 ක් ලබා ගත්තේ ය. 2010 වසර ‍තෙක් ටෙස්ට් තරග 33 ක් ක්‍රීඩා කළ මැතිව් එහිදී ලකුණු 1635 ක් ලබා ගෙන ඇති අතර 2001 වසරේ දී පකිස්තානයට එරෙහිව තවත් ද්විත්ව ශතකයක් (204) ලබා ගත්තේය.

ජැක්ස් රුඩොල්ෆ්

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් වූ ජැක්ස් රුඩොල්ෆ් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් පිටිය ඉඳුල් කළේ 2003 වසරේ දී ය. රුඩොල්ෆ් ද සිය පළමු තරගයේ පළමු ඉනිමේ දී ම නොදැවී ලකුණු 222 ක් ලබා ගත්තේ ය. මෙම ද්විත්ව ශතක වාර්තාවට නොදැවී සිටිමින් ඉතිහාසයට එක්වූ පළමු ක්‍රීඩකයා රුඩොල්ෆ් ය.

කේල් මේයර්ස්

බටහිර ඉන්දිය කො‍දෙව් ක්‍රීඩකයෙක් වන කේල් මේයර්ස් බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත්තේ මේ වසරේ පෙබරවාරී මාසයේ දී ය. සිය පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී මේයර්ස් නොදැවී ලකුණු 210 ක් රැස් කළ අතර මංගල තරගයේ දෙවැනි ඉනිමේ දී මෙය සිදු කළ ලොව පළමු සහ එකම ක්‍රීඩකයා මේයර්ස් ය.

ඩෙවොන් ‍කොන්වේ

මේ වාර්තාව නුදුරේදීම අලුත් කළේ නවසීලන්ත ක්‍රීඩක ඩෙවොන් කොන්වේ ය. පසුගිය දා එංගලන්තය සමඟ තරගයකදී ටෙස්ට් වරම් ලද කොන්වේ සිය පළමු ඉනිමේ දී ම ලකුණු 200 ක් ලබා ගන්නට සමත් විණි. 2021 වසරේ දී මෙම වාර්තා පොතට ක්‍රීඩකයන් දෙදෙනකු එක්වීම ද සුවිශේෂී තත්ත්වයකි.

 

 

Comments