පාන් කාලෙන් පරිප්පු දීසියෙන් වීරයෙක් හැදෙයි | සිළුමිණ

පාන් කාලෙන් පරිප්පු දීසියෙන් වීරයෙක් හැදෙයි

 

විමලේ 06

අලුත් අවුරුද්දේ ජනවාරි පළමු වැනිදා මම උදෙන් ම විදුහලට ගිහිල්ලා පිට්ටනිය වටේට ම හඳුන්කූරු පත්තු කරලා පිට්ටනියට වැඳලා, ඒ කාර්යයට උදවු කරන්න එන මගේ පුංචි යහළුවොත් එක්ක වට කිහිපයක් දුවනවා.

'මිශ්‍ර පාසල් අධ්‍යාපනය අපූරු ය. ඒ සොහොයුරු, සොහොයුරියන් වැනි වූ මිතුරු මිතුරියන් කැළක ගේ ආදරය දිනා ගැනීමට හිමි වන හෙයිනි. පිරිමි පාසලක නිර්මාණය වන පුද්ගල පෞරුෂයට වඩා මිශ්‍ර පාසලක සමස්ත සමාජය නියෝජනය වන්නේ යැයි පිළිගැනීමක් ඇත්තේ එකී විශ්වාසය හේතුවෙනි. විමලේ මිශ්‍ර පාසලක හැදී වැඩුණු පෞරුෂයකි. ඔහු සමාජයට උපරිමයෙන් ආදරය කරන චරිතයක් වූයේ ඒ හේතුවෙන් විය හැකි ය. එලෙසින් ම විමලේ දැන් වීරයෙකි. ඔහුට ඒ වීරත්වයට පාර කැපුවේ ද මිශ්‍ර පාසලේ දී හිමි වූ ධෛර්යය හේතුවෙනැයි පවසන්නට පිළිවන. මේ ඔහුගේ ජීවිතයේ තවත් එක් සිදුවීම් පෙළක උණුසුම් මතකයකි.'

වසර ගණනක් පුහුණු වීම්වල නිරත වූවන්, තරග අත්දැකීම් රැසක් ලබා දක්ෂතා වැඩි වර්ධනය කරගත් ක්‍රීඩකයන්, අභිබවන්නට විමලේට හැකියාව ලැබෙමින් තිබුණේ ය. එය වැඩිදියුණු වූයේ ජාතික මලල ක්‍රීඩා සංගමයේ තරගාවලියකට සහභාගි වන්නට ඔහුට අවස්ථාව උදා වීමෙන් පසුව ය.

කෙටි කලක් තුළ විමලසේන දුර ධාවකයකු වශයෙන් දක්ෂතා දක්වන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ හේ මැරතන් ධාවකයකු ලෙස පෙරට පැමිණෙමින් නමක් දිනා ගැනීම ය. ඒ අතර වාරයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හා සම්බන්ධ වෙමින් එමඟින් සංවිධානය කරන තරගවලට එක්වීමට ඔහු සමත් වූයේ පාසල් සිසුවකු වශයෙන් ම වීම ද විශේෂත්වයක් විණි. එලෙස ළාබාල වියේ දී ජාතික තලයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට හැකි වීම ඔහු ලද භාග්‍යයකි. එම අවස්ථාවන් බොහෝ දෙනකුගේ දැඩි කතාබහට ලක්විණි. වෙනදා මෙන් නොව මඟතොටේ දී හමුවන්නන් පවා විමලේ වෙත දැක්වූයේ සුහද ප්‍රතිචාරයන් ය. එය ඔහු තුළ ස්වයං ආඩම්බරයක් වර්ධනය කරවීමක් විය. මේ අතර ඔහුට අන්වර්ථ නාමයක් පටබැඳුණි. ඒ දැන් විමලසේන පෙරේරා නොව ඔහු බොහෝ දෙනකු හැඳින් වූයේ ''මැරතන් විමලේ’ කියා ය. ඒ ඔහුට ගමෙන් ලැබුණු සම්මානනීය නාමය විණි. එය එසේ වුවද ඔහු කෙදිනකවත් ආඩම්බරයෙන් හිස උදුම්මවා ගත්තේ නැත. සියලු දෙනා අතර තව තවත් නිහතමානී තරුණයකුම වූයේ ය.

“ධර්මාලෝක විදුහල මිශ්‍ර පාසලක්. අපේ විද්‍යාලයේ හිටපු හැම කෙනෙක්ම මට පුදුම විදිහට සහයෝගය දැක්වූවා. ඒ සහයෝගය ක්‍රීඩා ජීවිතය වැඩිදියුණු කර ගන්න මට විශාල පිටිවහලක් වුණා. ඒ පිරිස අතරින් කලා ලෝකයේ අද ඉහළ ම තැනක ඉන්න සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සුනිල් එදිරිසිංහ, විල්සන් ගුණරත්න ඒ වගේම වෛද්‍යවරයකු ලෙස අද කටයුතු කරන සරත් රුද්‍රිගූ හා ඩෝසන් පෙරේරා, මුනිදාස පෙරේරා, සිරිසේන අල්විස් අදටත් මා සමඟ සම්බන්ධතා පවත්වනවා. ඒ කාලේ මම පුහුණුවීම් කරන කොට මට පිරිවරෙන් අඩුවක් නෑ. මගේ පොඩි පංතිවල කොල්ලො කුරුට්ටෝ මගේ පස්සෙන් දුවන්න එනවා. ඒක හරිම සතුට පිරුණු කාලයක්. අපි කාගෙවත් අතේ එච්චර සල්ලි ගැවසුණේ නෑ. තාත්තා මට හැමදාම ශත විසිපහක් දුන්නා. ඒ ඉස්කෝලේ යනකොට දිවා ආහාරය ගන්න කියලයි.

ඒ කාලේ පාන් කාලක් ශත හත යි. පරිප්පු දීසියක් ශත පහ යි. ප්ලේන්ටියක් ශත පහ යි. අපේ පංතියේ යාළුවෝ ටික විවේක කාලයට සල්ලි එකතු කර ගෙන ඉස්කෝලේ ඉස්සරහ තිබුණ ඩබ්ලිව්. සී. පෙරේරා කඩේට ගිහින් පානුයි, පරිප්පුයි කාල ප්ලේන්ටි බොනවා. ඒක හවස් වෙනකම්ම අපේ දිව්‍ය භෝජනය. ඇත්තට ම කියනවා නම් අද වගේ නෙවෙයි එදා පාන් කාලක් කියන්නේ හරියටම පාන් රාත්තලකින් කාලක් නිසා බඩ පිරෙන්න කන්න පිළිවන්. පරිප්පු වෑංජනයත් හොඳට ඇට තියෙන්න උයලා තියෙන්නේ කිරි දාලා. ඒ ටික කෑවම දවල්ට හොඳටම ඇති. ඒ නිසා පාසල් වෙලාවෙන් පස්සේ අපි හුඟ දෙනෙක් ක්‍රීඩා පුහුණුවීම් කළේ කුසගින්නකින් තොරවයි.'

විමලේ සිය ක්‍රීඩා පුහුණුවීම් හි අල්පේච්ඡ භාවය ගැන කියන්නේ සතුටිනි.

එහෙත් ඔහු මොන සෙල්ලම කළ ද නිවසට පැමිණය යුතු වේලාවක් තිබුණි. කොතරම් පුහුණුවීම් කළ ද ඒ වේලාවට නොවරදවා නිවසට ඒමට විමලේ සැමවිටම කටයුතු කළේ ය. 'අප්පේ ඒ කාලේ අපිට හිතෙන හිතෙන වෙලාවට එන්න ගෙදර ඇරලා තිබුණේ නෑ. කොයිතරම් කාලයක් පුහුණු වුණත් නිවසේ එල්ලපු ඔරලෝසුවේ හයේ කණිසම වදිද් දී ගෙදර ඉන්න ඕනෑ. ඒක දිව්‍ය අණක් වගේ. මොකද ඒක දාලා තිබුණේ තාත්තා. ඒක තාත්තගේ නීතියක් වුණ නිසා ඒ වෙලාවට ගෙදරට එන එක මම කවදාවත් පැහැර හැරියේ නැහැ.‘

එකළ පාසල් දිවියේ සොඳුරු බවක් පිරී තිබිණි. එය අද මෙන් තරගකාරී යාන්ත්‍රික කරණයට මැදි වූ පාසල් ජීවිතයක් නොවී ය. විශේෂයෙන් ජීවිතයේ කේන්ද්‍රීය භූමිය ලෙස සැලකෙන පාසල තුළ එකිනෙකා පරයා ඉහළට යෑමේ කුහක මානසිකත්වයක් කිසිවකු තුළ එදා තිබුණේ නැත. ''සබඳ අප කඳු නොවෙමු යැයි' ගුණදාස කපුගේ ගයා නොතිබුණේ ද එහෙයිනි. ඒ එවැනි එකිනෙකා පරයා යෑමක් මෙන්ම බාලක, බාලිකා සියලු දෙනා ම එකම සහෝදර බැඳීමකින් නිබඳවම එක් රොක්ව සිටි නිසා ය. එබැවින් එකළ සිසු සිසුවියන්ට නිවසටත් වඩා පියකරුම ස්ථානය පාසල වූයේ යැයි කිව හැකි ය. එබැවින් විමලේ එය සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

'ධර්මාලෝකේ මට කවදාවත් අමතක කරන්න පුළුවන් පාසලක් නොවෙයි. ඒ පාසලේ හිටපු කාලෙදි මගේ පුරුද්දක් තිබුණා. ඒ හැම දෙසැම්බර් 31 වැනිදාවකම මාත් එක්ක සහයට දුවන්න එක්වුණු පොඩි කට්ටියත් එකතු කර ගෙන ඉස්කෝලෙට ගිහින් මුළු පිට්ටනියම අතුගාල හොඳට පිරිසිදු කරනවා. පහුවෙනිදා ඒ කියන්නේ අලුත් අවුරුද්දේ ජනවාරි පළමු වැනිදා මම උදෙන් ම විදුහලට ගිහිල්ලා පිට්ටනිය වටේට ම හඳුන්කූරු පත්තු කරලා පිට්ටනියට වැඳලා, ඒ කාර්යයට උදවු කරන්න එන මගේ පුංචි යහළුවොත් එක්ක වට කිහිපයක් දුවනවා. ඇත්තෙන්ම ඒ සත්කාරය අද වගේ මගේ මතකයේ තියෙනවා.ජීවිතය දිහා භෞතිකවාදීව පමණක් සිතන අයට විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් මම ඒ කරන්නේ කලගුණ සැලකීමක්. බුදුහාමුදුරුවෝ අපට මුලින්ම උගන්නපු පාඩම අපි අමතක කරන්න හොඳ නැහැ.' ඔහු පවසන්නේ ජීවිතාදර්ශයක් ලෙස ය.

විමලසේනගේ දිවියට ආලෝකයක් වූ ධර්මාලෝකයට ඔහු දැක් වූ ඒ උත්තරීතර සෙනෙහස ධර්මාලෝක විදුහල ද අමතක නොකළේ ය. ඒ පසුගිය 2012 වසරේ දී පවත්වන්නට යෙදුන එම විදුහලේ හැත්තෑ පස් වැනි සංවත්සරයේ දී පාසලේ ක්‍රීඩා පිටියට මුහුණලා ඇති ගොඩනැඟිල්ල විමලසේන පෙරේරා නමින් නම් කරමිනි. එමෙන්ම ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් නමින් ද ධර්මාලෝකයේ එවැනිම තවත් ගොඩනැඟිල්ලක් නම් කර ඇත.

'දවසක් උදේ විදුහල්පතිතුමා මාව කැඳෙව්වා. ඊට පස්සේ ඔහු කිව්වා යාපනේ විවෘත මැරතන් එකක් තියන්න යන බව. එතුමා කීවේ ඒකට ධර්මාලෝක විදුහල නියෝජනය කරමින් මගේ නම ඉදිරිපත් කරන්න තීරණය කරලා තියෙනවා කියලයි. ඔහු ඒ මැරතන් තරගයට යන්න ලෑස්ති වෙන්න කියලා මට කිව්වා. ඇත්තටම ඒ ආරංචිය අහපුවාම මටත් හරිම සතුටුයි. ලංකාවේ උතුරු කෙළවරටත් ගිහින් ධර්මාලෝක විදුහලේ නමට ජයග්‍රහණයක් අරන් දෙන්න හැකි වෙනවා නම් ඒක මම මගේ විදුහල වෙනුවෙන් කරන යුතුකමක් බව මට දැනුණා. එදා හවස තාත්තා ගෙදර ආපු ගමන් ම මම ඒ ගැන තාත්තට කිව්වා. ඒ වෙනකොට මගේ ලොකු අක්කා හිටියේ විවාහ වෙලා. අක්කා හා විවාහ වුණු අයියා දුම්රිය දෙපාර්තමේතුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ ලිපිකරුවෙක් වශයෙනුයි සේවය කළේ. ඒ නිසා යාපනේ ගමනට යන්න මස්සිනාත් මා එක්ක එකතු වුණා. ඔහු මේ ගමන යන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ නිසා තාත්තටයි අම්මටයි ඒක ලොකු සහනයක් වුණු බව මට පෙනුණා.' විමලේ කිව්වේ තීරණාත්මක යාපනයේ සංචාරයේ අත්දැකීම් සිහිපත් කරමිනි.

යාපනේ ගමනට පෙර දිනයේ විදුහල්පතිතුමා විමලසේනව කාර්යාලයට කැඳවූයේය.

‘විමලසේන යාපනේ ගිහිල්ල අපේ විදුහලේ ගෞරවයට තවත් ලකුණක් එකතු කර ගෙන එන්න ඕනෑ. ඒකට අපි ඔක්කොම ඔයාට ආශිර්වාද කරනවා.’ යනුවෙන් පවසමින් තරගයට සහභාගි වීමේ ලියවිලි සමඟ තවත් පුංචි ත්‍යාගයක් ඔහු අත තැබීය. එය විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය එකතු කරන ලද මුදලකි. විමලසේන එය ගෞරවයෙන් අතට ගෙන පසෙක තබා ප්‍රධානාචාර්යවරයාට වැඳ ආශිර්වාදය ලබා ගත්තේ ය.

'එදා හවස සෙල්ලම් කරන්න මම හිටියේ නෑ. කෙළින්ම ගෙදර ගියා. මොකද යාපනයේ ගමනට පෙර අම්මා සමඟ පන්සල් යන්න තිබුණා. ඒත් ගෙදර ගිය ගමන් ම මම මගේ තෑග්ග අම්මාට දුන්නා. ඒ කවරේ රුපියල් එකසිය පනහක්ම තිබුණා. අම්මටත් හරිම සතුටුයි. ඒ කාලේ හැටියට ඒක ලොකු ගණනක්.' විමලේ කියන්නේ දෙනෙත් විසල් කරමිනි.

පසුදා කුකුළා හඬලන තුරු ඉන්නට විමලේට ඉවසිල්ලක් නැත. රාත්‍රියේ වරින් වර අවදි වී ඔරලෝසුව දෙස බැලූ වාර ගණන ද මතක් කරන්නට නොහැකි තරම් ය. අවසානයේ උදෑසන ඇරඹුණු බව කියන්නට දොළහේ කණිසම ඔරලෝසුවේ නින්නාද දුන්නේ ය. විමලේට නින්ද ගිය අතර යළි උදෑසනින්ම අවදි වූයේ ය. එසේ අවදි ව මුහුණ කට දෝවා, බුදුන් වැඳ පාන්දර හතරයි තිහට පමණ තොරණ හන්දියෙන් ගෙන්වා ගත් කුලී රථයකට ගොඩ වූයේ නමෝ විත්තියෙනි. එලෙස කුලී රථයෙන් විමලසේන සහ ඔහුගේ මස්සිනා කොළඹ, කොටුව දුම්රිය පොළට ගියේ 'යාල් දේවී' අල්ලා ගැනීමට ය.

විමලේ යාපා පටුන ජය ගනී ද ?

 

 

 

Comments