තායිලන්ත කෝටිපතියාගේ තුරුළට ගිය එංගලන්ත එෆ්. ඒ. කිරුළ | සිළුමිණ

තායිලන්ත කෝටිපතියාගේ තුරුළට ගිය එංගලන්ත එෆ්. ඒ. කිරුළ

 

පාපන්දු ක්‍රීඩාව ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ එංගලන්තයට යි. එමෙන්ම මේ වන විට ලොව පැවැත්වෙන පැරැණිතම ජාතික පාපන්දු තරගාවලියේ හිමිකරුවා වන්නේ ද ඔවුන්ම ය. ඒ ස්‍රප්‍රකට එෆ්.ඒ. කුසලාන තරගාවලිය පවත්වමිනි. මෙය පුරා වසර 150 ක් පැරැණිය. නොබෝදා 2020-21 තරගාවලිය නිමාවට පත් වූයේ ය.

මෙවර ශූරයෝ වූයේ ලෙස්ටර් සිටි පාපන්දු සමාජ කණ්ඩායම ය. ලන්ඩන් නුවර සුප්‍රකට වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ දී මෙවර අවසන් මහා තරගය පවත්වනු ලැබී ය. එහිදී ගෝල 1 -0 ක් ලෙස ලෙස්ටර් සිටි කණ්ඩායායම තරගය ජය ගත්තේ චෙල්සි කණ්ඩායම පරාජය කරමිනි.

මෙම තරගය විසි දහසකට ආසන්න සීමිත නරඹන්නන් පිරිසක් ඉදිරියේ පැවැත්වූයේ කොවිඩ් වසංගතය නිසාවෙනි.

අවසන් මහා තරගයේ වීරයා වෙමින් ඉතා තීරණාත්මක ගෝලය රැස් කළේ බෙල්ජියමේ යූරි ටිසිල්මන්ස් ය. ඒ හැට වැනි මිනිත්තුවේ දී ය. එය අතිවිශිෂ්ට දස්කමකි. එම ගෝලය යූරි යාර විසිපහක දුරක සිට එල්ල කරන ලද පහරකින් උපයා ගනු ලැබුවේ ය. ලෙස්ටර් සිටි කණ්ඩායමේ අනෙක් වීරයා වූයේ නායක මෙන්ම දැල් රකින්නා වූ කැස්පර් ශෙමෙයිකාල්ය. ඔහු තරගය පුරාම විශිෂ්ට ලෙස දැල ආවරණය කළේ ය. කැස්පර් වත්මන් ඩෙන්මාර්ක් ජාතික පිලට ක්‍රීඩා කරයි. මේ අතර ඔහුගේ පියා වූ විශිෂ්ටතම දැල් රකින ශූරයකු ලෙසින් සැලකෙන පීටර් ද මීට පෙර එංගලන්ත එෆ්.ඒ. කුසලාන ශූරතාව හිමි කර ගෙන සිටියේ ය. ඒ ලෝ ප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කරමින් ය.

එෆ්. ඒ. හෙවත් එංගලන්ත පාපන්දු සංගම් අභියෝග කුසලාන තරගාවලිය වාර්ෂිකව පැවැත්වෙයි. ප්‍රථම තරගාවලිය වාර්ෂිකව පැවැත්වූයේ 1871-72 වසරේ දී ය. එතැන් සිට පළමු හා දෙවැනි ලෝක සංග්‍රාම කාලය අතර හැර සෑම අවස්ථාවකම මෙම තරගාවලිය පවත්වා ඇත.

ඊට එංගලන්තයේ හා වේල්සයේ කණ්ඩායම් තරග වදී. එයින් ජය ගන්නා කණ්ඩායමට යුරෝපා පාපන්දු ශූරතාවට සහභාගි වීමට අවස්ථාව හිමි වේ.

මෙවර එංගලන්ත එෆ්.ඒ. කුසලාන තරගාවලියට සහභාගි වූ මුළු කණ්ඩායම් ගණන 73 කි. ඒහි දී පැවැති මුළු තරග ගණන 123 කි. වාර්තා වූ මුළු ගෝල් ගණන 366 කි. මෙවර අවසන් පූර්ව තරගය නිමාවට පත් වූයේ ජයග්‍රාහී කණ්ඩායම ගෝල 1-0 වශයෙන් ජය ලබමිනි. ඒහිදී චෙල්සි පිල ජය ගත්තේ මෙවර ලීග් ශූරයෝ වන මැන්චෙස්ටර් පිල පරාජය කරමිනි. ලෙස්ටර් පිල ජය ගත්තේ සදම්ප්ටන් හමුවේ ය.

මෙවර තරගාවලියේ සම වැඩිම ගෝල්ලාභීහු තිදෙනෙක් සිටියහ. ටැමී එබ්‍රාහීම් (චෙල්සි), කෙලෙච් තියායානන්ඩෝ (වෙල්ටෙන් හැම් ටවුන්), සහ ටොම් නිලොල්ස් (ක්‍රෝට්ල්) යන ක්‍රීඩකයෝ ය. මින් කෙලෙචි නයිජීරියානුවෙකි. සෙසු පිරිස එංගලන්තයෙනි.

ශූරතාව හිමි කර ගත් ලෙස්චර් සිටි කණ්ඩායමට හිමිවූ ත්‍යාග මුදල ස්ටර්ලිං පවුම් දහ අට ලක්ෂයකි. අනුශූර චෙල්සි පිලට ස්ටර්ලිං පවුම් අනූ දහසක මුදලක් පිරිනැමුණේ ය.

2015-16 සිට එහි ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ එමිරේට්ස් ගුවන් සේවයයි. එහෙයින් වත්මනේ මෙම තරගාවලිය හඳුන්වන්නේ එමිරේට්ස් එෆ්. ඒ. කුසලාන තරගාවලිය ලෙස ය .

එංගලන්තයේ ඒ.ඒ. කුසලාන ශූරතාව වැඩිම අවස්ථා ගණනකදී හිමි කර ගෙන තිබෙන්නේ ආර්සලන් කණ්ඩායම යි. ඔවුන්ට ශූරතා 14 කි. ඊට ගිය වසරේ ශූරතාවත් අයත් ය. එවරත් අනුශූරයෝ වූයේ චෙල්සි ය. මැන්චෙස්ටර් යුනයිටඩ්, චෙල්සි සහ වොටන් හෑම් හොට්ස්පර් අතර ශූරතා 28 බැගින් බෙදී ගොස් ඇත. ලිවර්පූල් සහ ඇස්ටන් විලාට සම ශූරතා හතකි.

එෆ්. ඒ. කුසලාන ශූරතාව හිමි කර ගත් 44 වැනි කණ්ඩායම ලෙස්ටර් සිටි වේ. ලෙස්ටර් සිටි පාපන්දු සමාජය පිහිටු වූයේ 1884 වසරේ දී ය. බොහෝ කණ්ඩායම්වලට මෙන්ම ලෙස්ටර් සිටි කණ්ඩායමටත් අපූරු නමක් පටබැඳ තිබේ. ඒ ෆොක්සස් හෙවත් නරියන්' කියා ය.

ලෙස්ටර් සිටි කණ්ඩායම මීට පෙර එංගලන්ත පාපන්දු ක්‍රීඩාව තුළ හිමි කර ගත් ඉහළතම ජයග්‍රහණයක් වේ. එනම් 2015-16 එංගලන්ත ප්‍රිමියර් ලීග් ශූරතාව ප්‍රථම වරට හිමි කර ගැනීමයි. මීට පෙර එෆ්. ඒ. කුසලාන අනුශූරතා හතරක් ඔවුනට හිමි ව ඇත. අවසන් වරට 1969 වසරේදී ඔවුන් එලෙස අනුශූරතාව දිනා ඇත. ඒ අනුව ගත් විට මෙවර ඔවුන් ලැබූවේ වාර්තාගත ජයකි.

ලෙස්ටර් සිටි කණ්ඩායමේ වත්මන් හිමිකරු වන්නේ කෝටිපති තායිලන්ත තරුණ ව්‍යාපාරිකයකු වන අයිසාවට් ශ්‍රිවාජිහාප්‍රභා ය. හෙතෙම 35 හැවිරිදි ය. සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් 2012 වසරේ නම් කළ ධනවතුන් අතරට ඔහුත් අයත් වූයේ ආසියාවේ ළාබාලතමයකු වශයෙනි. 2015 වසරේදී ඔහු පුරා වසරක කාලයක් පැවිදිව සිටියේ ය.

මීට පෙර මෙම ලෙස්ටර් කණ්ඩායමේ හිමිකරුවා වූයේ අයියාවට්ගේ පියා වූ විචායිට ය. එහෙත් 2018 වසරේ දී ලෙස්ටර් සිටි ප්‍රධාන ක්‍රීඩාංගණය පිටත දී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එහි ගමන් කරමින් සිටි විචායි මරණයට පත්විණි.

මෙවර ලෙස්ටර් සිටි විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවකු වූයේ හතළිස් අට හැවිරිදි බ්‍රෙන්ඩන් රොජර්ස් ය. හෙතෙම වත්මන් ප්‍රධාන පුහුණුකරුවා ය. ඔහු උතුරු අයර්ලන්තයේ හිටපු ක්‍රීඩකයෙකි. එසේම මීට පෙර එංගලන්තයේ ලිවර්පූල් සහ ස්කොට්ලන්තයේ සෙල්ටික් වැනි කණ්ඩායම්වලත් පුහුණුකාරිත්වය දරනු ලැබී ය.

 

 

 

Comments