කරාතේ ශූරී අනාගත දොස්තර | සිළුමිණ

කරාතේ ශූරී අනාගත දොස්තර

 

මහනුවර උසස් බාලිකාවේ හිරුදිනී

උසස් පෙළ කඩ ඉමේ ඒ තුනයි

මහනුවරින් දොළොස් වැනියා

ක්‍රීඩාව අත්හරින්නේ නෑ ලු

 

'දොස්තර හොඳ හිත සත්ත්වයින් ගේ බස හැසිරවූයේ පහසුවෙනි. සතුන් ගේ සිතුම් පැතුම්, අවශ්‍යතා සැණින් හඳුනා ගන්නට සමත් වූ ඒ දොස්තර බොහෝ දොස්තරලාට සදාතනික මතකයකි. මේ අනාගතයේ දොස්තර කෙනෙකු වීමට හිපොක්‍රොටීස් අධ්‍යාපනය හදාරන්නට සැරසෙන්නියකි. එහෙත් ඇය අනාගතයේ දිනක හිත හොඳ දොස්තර කෙනෙකු පමණක් නොවෙනු ඇත. ඒ ඈ කරාතේ ශූරී දොස්තර හොඳ හිත කෙනෙකු වන්නට සූදානම් ව සිටින හෙයිනි.'

 

මෙරට අධ්‍යාපන පද්ධතියේ වැඩිම තරගයක් පවතින්නේ උසස් පෙළ විභාගය සඳහා බව රහසක් නොවේ. පළමු වර දීම විද්‍යා අංශයෙන් ඉහළ ප්‍රතිඵල ලබා වෛද්‍යවරියක හෝ ඉංජිනේරුවරියක වීමට ඇති තරගය ඊටත් වඩා ඉහළ ය.

වෛද්‍යවරු වන්නට උත්සුක නොවන බොහෝ දෙනෙකු ක්‍රීඩාවට දක්වන්නේ අඩු උනන්දුවකි. එහෙත් ක්‍රීඩාව මඟින් අධ්‍යාපනයට ලැබෙන්නේ ඉහළ සහයෝගයකි. ඒ යහපත්, මනා පෞරුෂයකින් හෙබි, අනාගත දරු පරපුරක් බිහි කිරීමට හැකියාව පවතින හෙයිනි.

එවන් ක්‍රීඩකයන් අතර ක්‍රීඩාව හා අධ්‍යාපනය සමබරව කරගන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීමට කදිම නිදර්ශනයක් වශයෙන් රාතේ ක්‍රීඩාවෙන් දස්කම් පාමින් සිටින මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ හිරුදිනි දසනායක යශෝධරා දැක්විය හැකි ය. ඈ මෙවර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට සම්මාන 3 ක් සමඟින් මහනුවර දිස්ත්‍රික්කයේ 12 වැනි ස්ථානය හිමි කර ගත්තාය. ඒ අනුව ඇය වෛද්‍ය විද්‍යාලයට ප්‍රවේශවීමට සුදුසුකම් ලැබ සිටී.

හිරුදිනි පාසල් සිසුවියකට ලැබිය හැකි උසස්ම නිලය වන ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර දරනු ලැබුණේය. තම පාසල් දිවියේ දී ඉංග්‍රිසි නාට්‍ය, විවාද සහ ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍රයන්ගෙන් ද ඉහළ දස්කම් දක්වන්නට ඇය සමත් වූ ශිෂ්‍යාවකි.

එසේම හිරුදිනී යනු විද්‍යාල ඉතිහාසයේ පළමු කරාතේ කළුපටිධාරිනිය ලෙස උසස් බාලිකා විදුහලේ මතක පොත් අතරට එක්වීමට සමත් වූවා ය. මේ වන විට ඇය කළුපටි 2 ශ්‍රේණියේ සටන්කාරියකි.

ඇගේ පියා නිශාන්ත කුමාර දසනායක වන අතර මධ්‍යම පරිසර අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ පරිසර නිලධාරියෙකි. ඇගේ මව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දරුවන්ගේ නැණස පාදන උපමාලිකා දසනායක ය. එම පුණ්‍යකර්මයේ ප්‍රතිඵල තම දරුවාට හිමි ව තිබීම මේ මාපියන් ලබා ගත් මහත් භාග්‍යයකි. 'ක්‍රීඩා' හා සංවාදයට එක් වෙමින් හිරුදිනීගේ මව වන උපමාලිකා දසනායක මහත්මිය මෙලෙස සඳහන් කළා ය.

“අපි පදිංචිය කුණ්ඩසාලේ බලගොල්ලේ. හිරුදිනී අපේ එකම දරුවා. ඇය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වුණේ 2007 වසරේ. 4 පංතියේ ඉගෙන ගන්න අතරේ ඒ කියන්නේ 2010 අවුරුද්දේ. දවසක් ගෙදර ඇවිත් කිව්වා කරාතේ සෙල්ලම් කරන්න ඕනෑ කියලා. ඒ රෝහිත සෙනෙවිරත්න සර් යටතේ යි. ශාරීරික ව්‍යායාම ලැබෙන නිසාත් කරාතේ ක්‍රීඩාවෙන් ආත්මාරක්ෂාව සහ විනයට වැඩි වටිනාකමක් ලැබෙන නිසාත් දුවගේ අප්පච්චිත් මමත් ඊට කැමැති වුණා.”

“දුවට සහභාගි වන්න ලැබුණු මුල්ම කරාතේ තරගාවලිය තිබුණෙ 2011 අවුරුද්දෙයි. එම දිස්ත්‍රික් කරාතේ තරගාවලිය යෙදුණු දවසෙම දිස්ත්‍රික් දහම් පාසල් තරගයත් යෙදිලා තිබුණා. උදේ දහම් පාසල් විභාගයට ලියලා තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබුණු කරාතේ තරගාවලියට දුව සහභාගි වන්න ගියේ. යනකොට එයාගේ තරග පටන් අරගෙන තිබුණෙ. ඇඳුම් මාරු කරගෙන කෙළින්ම ගියේ තරගයට. එතැන දි විනිසුරුවරයා දැකලා තමයි කරාබු දෙක ගලවන්න කියලා තිබුණේ. දුව පළමු වතාවට තමයි තමන්ගේ කරාබු එහෙම ගැලෙව්වේ. දුව කරාබු ගලවලා දෙන්නේ පුහුණුකරු රෝහිත සර්ට. ඒ තරගාවලියේ දී දුවට හොඳට ක්‍රීඩා කරන්න බැරි වුණා.”

“නමුත් දුවගෙ තරගය ඉවර වුණා කියලා එයා දවස ඉවර වෙනකල් ගෙදර යන්න ආවේ නෑ. දුවගෙ තාත්තයි මමයි දෙන්නමත් කරාතේ තරග දැකලා තිබුණෙත් නෑ. අපි ඇහුවා ඇයි අපි යන්නෙ නැත්තේ කියලා. ඇය කිව්වේ තරග බලන්න අවශ්‍යයි කියලයි. ඒ වගේම ඒ තරග බලලා ඉවර වෙලා දුව කිව්වා මමත් ඊළඟ අවුරුද්දෙ මේ විදියට තරග දිනනවා කියලා.”

“දුව කිව්වා වගේම කරාතේ ක්‍රීඩාවේ දී ලබා ගත් ජයග්‍රහණ රාශියක් තියෙනවා. දිස්ත්‍රික් සහ පළාත් තරගවලදී ඈ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් රාශියක් දිනා ගත්තා. 2015 වසරේ තමයි දුව මුල්ම විදෙස් තරග සංචාරයට එක්වුණේ. තරගාවලිය තිබුණේ ‌මැලේසියාවේ. ඒ මේයර්ස් කප් තරගාවලිය වශයෙනුයි පැවැත්වුණේ. එතැන දී අවුරුදු 15 න් පහළ ලෝකඩ පදක්කම දිනා ගත්තා. 2016 දී ඉන්දියාවේ පැවැති 3 වැනි දකුණු ආසියානු කරාතේ තරගාවලියේ දී අවුරුදු 15 න් පහළ රන් පදක්කම දිනා ගත්තා. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ දී පදක්කම් රාශියක් දිනා ගනිමින් විද්‍යාලයට කරාතේ ක්‍රීඩාවෙන් කීර්තියක් අත් කර දෙන්න දුවට හැකියාව ලැබෙනවා. 2018 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ දක්ෂතම කරාතේ ක්‍රීඩිකාව ලෙස ඇයට සම්මාන දිනා ගන්න හැකි වුණා. 2018 අවුරුද්දේ දකුණු අප්‍රිකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩල කරාතේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරනවා 18 න් පහළ වයස් සීමාව යටතේ. 2015 දී පළමු ශ්‍රේණියේ කළුපටිධාරිනියක් වන දුව 2021 වසරේ දී 2 වැනි ශ්‍රේණියට උසස් වීම් ලබනවා. ” ඈ අප හා පවසන්නේ අභිමානයෙනි. එය මවක් වශයෙන් තම දරුවකුගේ විජයග්‍රහණය සම්බන්ධයෙන් ගොඩනැඟුණු සුවිශාල ආදරයකි.

“5 ශ්‍රේණියේ දී දුව පාසලේ ප්‍රාථමික ශිෂ්‍ය නායිකාවක් ලෙස තේරුණා. එයා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179 ක් ලබාගත්තා. 6 ශ්‍රේ ණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙනගත්තේ. 2014 අවුරුද්දේ 8 ශ්‍රේණියේදී කනිෂ්ඨ අංශයේ උපප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසින් තේරුණා. 2017 අවුරුද්දේ 11 ශ්‍රේණියේ දී අන්තර් මාධ්‍ය අංශයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට පත්වෙන්න ඇයට හැකියාව ලැබුණා. නායකත්වයේ වගකීම් ඉටු කිරීම නොපිරිහෙළා කරන අතරම, පංතියේ දී ඉගෙනීම් කටයුතුත් හොඳින් කරගෙන යන්න දුවට හැකියාව තිබුණා. 2017 අවුරුද්දෙ දි විශිෂ්ට සම්මාන 9 ක් සමඟින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණා. ඒ වගේම දුව ඉංග්‍රිසි නාට්‍ය තරග, ඉංග්‍රිසි භාෂා තරග සහ විවාද තරගවල දී ත් ජයග්‍රහණ රාශියක් අත්කර ගෙන පාසලට කීර්තියක් ගෙනැවිත් දුන්නා. ”

“2018-2019 කාල සීමාවේ දී දුව පාසලේ ‘ඊට්න්’ නිවාසයේ නිවාස නායිකාව බවට පත්‌වුණා. ඒ වගේම පාසලේ කරාතේ නායිකාවත් වුණා. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගය කියලා කරාතේ ක්‍රීඩාව නැවැත්තුවේ නෑ. දිගටම පුහුණුවීම් කළා. කරාතේ ක්‍රීඩාවට හරිම පුදුම කැමැත්තක් තිබුණා. අපට ඈ හැම වෙලාවේම කියන්නේ කරාතේ ක්‍රීඩාව නම් නවත්වන්නේ නෑ කියලා. නිවාස නායිකාව වුණේ 12 පංතියේ දී. එහි වැඩ ඉවරයක් නෑ. ලොකු අත්දැකීමක් වුණා දුවගේ ජීවිතයට. නමුත් කිසිවිට පංතියේ වැඩ අතපසු කළේ නෑ. 12 ශ්‍රේණියේ පළමු වාරයේ දී ශ්‍රේණියේ වැඩිම ලකුණු ලැබුණෙ දුවට.”

“මේ දක්වා දුව පාසලේ දී යෙදුණු ක්‍රියාකරකම් නිසා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සඳහා නම යෝජනා වූ බව දැන ගන්නට ලැබුණා. ප්‍රධාන ශිෂ්‍ය නායිකාවට අදාළ කටයුතු කරන්නට යෑමේ දී වැඩ අතපසු වෙලා උසස් පෙළ විභාගයට බාධාවක් වෙයි කියලා දුවගෙ අප්පච්චියි මමයි දෙන්නාම බය වුණා. දුව ඒත් 2019-20 කාලසීමාවේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට පත්වුණා. වැඩ අතපසු කර ගන්නේ නැතිව දුව උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වුණා. ”

“දුවට තිබුණා හොඳ පුරුදු කිහිපයක් ම තිබුණා. එකක් තමයි වැඩක් යොදා ගත්තාම වෙලාව නම් වරද්දන්නේ නෑ. අපි නිසා යම් ප්‍රමාදයක් වුණොත් හරියට කනස්සලු වෙනවා. අනෙක් එක තමයි වැඩ කිහිපයක් වුණත් එකට කරනවා. තවත් එකක් තමයි කිසිම වැඩක් බාගෙට කරලා නවත්වන්නේ නෑ. ගෙදර දොර වැඩ කටයුතුවලටත් උදවු කරනවා. දුව එයාගේ අප්පච්චිගෙයි අම්මාගෙයි සිතුම් පැතුම් අඳුනාගෙන හිටියේ. විදේශ සංචාරවලදී සහ කොළඹ පැවැත්වෙන තරගවලදී පවා පංතිවල වැඩ ටික අතපසු වෙන්න තිබ්බේ නෑ.”

“දුව පළමු ශ්‍රේණියේ සිට බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ධර්මරතන දහම් පාසලේ ඉගෙනුම ලැබුවා. සෑම ශ්‍රේණියකම වගේ දිස්ත්‍රික් තරගවලදී ජයග්‍රහණ ලැබුවා. 4 ශ්‍රේණියේ දී සහ 7 ශ්‍රේණියේ දී සමස්ත ලංකා දහම් පාසල් තරගවලදී දෙවැනි ස්ථානය දිනා ගත්තා. ඒ වගේම දහම් පාසල් අවසාන විභාගය සමත් වුණා විශිෂ්ට සම්මාන සහිතව.”

“දුවගේ මෙම ජයග්‍රහණයන් වෙනුවෙන් දායකත්වය දැක්වූ විදුහල්පතිතුමිය මල්කාන්ති අබේගුණසේකර මහත්මිය, හිටපු සහ වත්මන් නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිනියන්, හිටපු ක්‍රීඩා පරිපාලිකා තනුජා ගුණසිංහ මහත්මිය, වත්මන් ක්‍රීඩා පරිපාලිකා ප්‍රියානි දිසානායක මහත්මිය, විද්‍යාලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන් සහ කරාතේ පුහුණකරු සෙන්සේ රෝහිත සෙනෙවිත්න (කළුපටි 6) මහතා ඇතුළු සියලු දෙනාටම ස්තුතිය පිරිනමනවා.”

“දුවගේ මෙම ප්‍රතිඵලය ගැන ඉතාමත් සතුටුයි. අපේ දුව සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයන්ට හිර කරලා තිබ්බේ නෑ. අපි තුන් දෙනා නිරන්තරයෙන්ම සතුටෙන් සුහදව කටයුතු කළා. ඒ වගේම අපි දෙන්නා ඇයට කිසිවිටෙක පීඩනයක් එල්ල කළේ නෑ. ”

“දුවට අපි නිදහස දුන්නා. දුවට ඉලක්කයක් තිබුණා. අද වන විට අපේ දුව විශාල අභියෝගයක් ජය ගත් කෙනෙක්. ඈ සිතා සිටින්නේ කරාතේ ක්‍රීඩාවෙන් හැකිතරම් ඉහළට යන්නයි. අපි ඒ සියල්ල සඳහා ඉදිරියටත් උදවු කරනවා.” සන්තුෂ්ඨියෙන් පිරුණු මවක ලෙස ඈ කීවා ය.

Comments