ඔස්ට්‍රේලියාවේ කොරෝනා මැද ක්‍රිකට්වලින් වින් කළ ලක්වින් අබේසිංහ | Page 2 | සිළුමිණ

ඔස්ට්‍රේලියාවේ කොරෝනා මැද ක්‍රිකට්වලින් වින් කළ ලක්වින් අබේසිංහ

 

 

කොවිඩ් 19 වසංගතයහේතුවෙන් සංචරණය ඇණ හිට අකරතැබ්බයකට මුහුණ පෑමට ඔස්ට්‍රේලියාවේ සංචාරය කළ ශ්‍රීලාංකික පවුලකට‌ සිදුවූයේ ය. ඒ් එම පවුල ඔස්ට්‍රේලියාවට ගොඩබට දිනය ට පසු දින සිට එම රට තුළ සංචරණ සීමා නීති පැනවීම සමඟය.

එම ශ්‍රී ලාංකික පවුල ඔස්ට්‍රේලියාවට පිටත්ව ගොස් තිබුණේ මහනුවර සිට ය. ඒ අබේසිංහ පවුලේ අඹු සැමි යුවළ සහ බාල පුතු ලක්වින් අබේසිංහ ය. ඒ් ඔවුන් ඔස්ට්‍රේලියා ගොස්තිබුණේ එහි ඉගෙනුම ලබමින් සිටි තම වැඩිමල් පුත්‍රයා දැක බලා ගැනීමට ය.

එම අත්දැකීම දිනක්, සතියක් නොව මාස 6 ක් එක ලෙසින් සංචරණය නවතා ලූවක් විය. .

කාලය ගෙවී යද්දී ශ්‍රී ලංකාවට ඒමට තිබුණු අවස්ථාව දිනෙන් දින ප්‍රමාද වූඅතර කනස්සල්ලෙන් පසු වූ තම බාල පුත්‍රයාගේ මානසික තත්ත්වය යහපත් කිරීමේ අභියෝගයකට ද අබේසිංහ යුවළ මුහුණ පා තිබිණි. ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ඇළුම් කළ තම පුතුට ඔස්ට්‍රේලියාවේ දී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දීමට මේ අනුව සැලසුමක් ගොඩනැංවිණි.

ඒ සඳහා අවස්ථාවක් ලැබෙනුයේ මහනුවර නගරයේ ක්‍රිකට් පුහුණුකරුවකු වූ සම්පත් ද සිල්වා විසින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රිකට් පුහුණුකරුවකු වන සමිත ධනුෂ්ක මහතා සමඟ කළසාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව ලක්වින්ට මෙල්බර්න්, සන්ෂයින්හි ග්‍රෑන්ඩ් යුනයිටඩ් ක්‍රිකට් සමාජයේ වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් පිලට එක්වීමට අවස්ථාව ලැබිණි.

වෙස්ටන් රීජන් ජූනියර් ක්‍රිකට් ඇසෝසියේෂන් විසින් සංවිධානය කළ එම තරගාවලියේ දී රොබී රෝච්ගේ පුහුණුකාරීත්වය යටතේ ලක්වින් ක්‍රීඩා කරන්නට ඒ අනුව අවසර හිමි කර ගත්තේ ය. එහි දී පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් දක්වන්නට ලක්වින්ට අවස්ථාව උදාවිණි.

එය ලද අවස්ථාවෙන් නිසි ඵල ලබා ගැනීමකැයි කිව හැකි ය. ඔහු එම තරගාවලියේ සම්මාන ද්විත්වයක් හිමි කර ගැනීමට සමත් විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයත්, දක්ෂතම පන්දු යවන්නා සම්මානයත් ලක්වින් අබේසිංහට හිමි වූයේ මේ අනුව ය. එම දක්ෂතා අනුව ඇලන් හේල් ගේ පුහුණුකාරීත්වය යටතේ ග්‍රෑන්ඩ් යුනයිටඩ් ක්‍රිකට් සමාජයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් තරගාවලියට ද එක්වීමේ විරල අවස්ථාව ඔහුට හිමි විය.

ලක්වින් අබේසිංහ 7 හැවිරිදි වියේ දී ක්‍රිකට් ක්‍රීඩාව අරබනුයේ මහනුවර නගරයේ ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුවකු වූ හැරල්ඩ් රණසිංහයන්ගෙනි. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන ලක්වින් විද්‍යාලයේ ක්‍රිකට් ඇකඩමියට එක්වූ අතර, චලිත රත්නායක සහ හසිත තිලකසිරි යටතේ පුහුණුව ලැබී ය. එම පුහුණුකරුවන් දෙදෙනා යටතේ 2016 වසරේ දී 10 හැවිරිදි ලක්වින් ට විද්‍යාලයේ 13 න් පහළ 'සී' කණ්ඩායම නියෝජනයට අවස්ථාව උදා විය.

ඔහු 2017 සහ 2018 වසර ද්විත්වයේ විද්‍යාලයේ 13 න් පහළ 'ඒ' කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් උදා කර ගත්තේ ආනන්ද විජේසේකර සහ ගාමිණි දෙබෑහැපුව යන පුහුණුකරුවන් යටතේ ය. එම තරගාවලීන්හි දී දැක්වූ දස්කම් අනුව ඔහුට 2019 වසරේ දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එක්වීම ට අවස්ථාව උදාවිණි.

ලක්වින් අබේසිංහ මේ වන විටත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙකු සේ දැක්විය හැකි ය. ඒ බව වඩාත් තහවුරු කරන සිදුවීමක් වනුයේ 2020 වසරේ මුල් භාගයේ දී අවසන් වූ වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ සම ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාල පිලේ වැඩිම ලකුණුලාභියා වීම නිසාවෙනි. ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කළ පළමු තරගාවලියේ දී ලක්වින් එක් ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමඟින් ලකුණු 530 ක් රැස් කිරීමට සමත් වූයේ ය.

එම තරගාවලියේ දී කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ශතකයක් (123) රැස් කළ ඔහු, ගාල්ල මහින්ද (86), මහනුවර ධර්මරාජ (81) සහ පොලොන්නරුව රාජකීය (62) යන කණ්ඩායම්වලට එරෙහිව අර්ධ ශතක රැස් කළේ ය. පන්දුවෙන් ද දස්කම් දැක්වූ ලක්වින් කඩුලු 20 ක ට වැඩි සංඛ්‍යාවක් දවාලීය.

ලක්වින් අබේසිංහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දී රුෂාන් ජලීල් සහ තිළිණ ද සිල්වා යටතේ පුහුණුව ලබන අතර, වසර කිහිපයක්ම මහනුවර ෆියුචර් ස්ටාර්ස් ක්‍රිකට් ඇකඩමියේ දී සේනක දිසානායක සහ සම්පත් ද සිල්වා යටතේ පුහුණුව ලැබී ය. දිස්ත්‍රික් පුහුණුකරු සුරේෂ් පීරිස් මහතා ද ලක්වින්ගේ ක්‍රීඩා දිවිය සාර්ථක කර ගැනීමට දායකත්වයක් දක්වා ඇති බව පැවසිය යුතුව ඇත.

Comments