අයි.සී.සී. ටෙස්ට් කීර්තිධරයන් 10 ට ශ්‍රී ලාංකිකයකුත් | Page 2 | සිළුමිණ

අයි.සී.සී. ටෙස්ට් කීර්තිධරයන් 10 ට ශ්‍රී ලාංකිකයකුත්

 

ප්‍රථම වරට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයට පෙර, අයි.සී.සීය විසින් ක්‍රීඩකයන් 10 දෙනකුගන් යුතු විශේෂ නාම ලේඛනයක් ඉදිරිපත් කර තිබේ. 1898 ජනවාරියේ දී සිය මංගල තරගයට පිවිසි ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මොන්ටි නොබෙල්ගේ සිට 2015 අගෝස්තු මාසයේ දී විශ්‍රාම ගත් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර දක්වා මෙම ගෞරවනීය ක්‍රීඩකයන් දස දෙනාට ඇතුළත් ය.

මොන්ටි නොබෙල්, ඕබ්‍රි ෆෝක්නර්, ලියරි කොන්ස්ටන්ටයින්, ස්ටැන් මැකේබ්, විනෝ මන්කාඩ්, ටෙඩ් ඩෙක්ස්ටර්, බොබ් විලිස්, ඇන්ඩි ෆ්ලවර් සහ ඩෙස්මන්ඩ් හේන්ස් අනික් ක්‍රීඩකයන් වේ.

මෙම විශිෂ්ටයන් නම් කිරීමේ දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පුළුල් යුග පහකට වර්ග කර ඇත. ඒ පළමු ලෝක යුද්ධයට පෙර (මුල් යුගයේ) නොබෙල් සහ ඕබ්‍රි ෆෝක්නර්, ලෝක යුද්ධ දෙක (අන්තර් - යුද යුගය) විනෝ මන්කාඩ් හා ලියරි කොන්ස්ටන්ටයින් සහ ස්ටැන් මැකේබ් ඇතුළත් වෙයි. ටෙඩ් ඩෙක්ස්ටර් 1946 සිට 1970 දක්වා (පශ්චාත් යුද සමය) බොබ් විලිස් සහ ඩෙස්මන්ඩ් හේන්ස් 1971 සිට 1995 දක්වා (එක්දින යුගය) සහ ඇන්ඩි ෆ්ලවර් සහ කුමාර සංගක්කාර 1996 සිට 2015 දක්වා (නූතන යුගය) වශයෙනි.

 

මොන්ටි නොබෙල්

(ඔස්ට්‍රේලියාව - තුන් ඉරියව් ක්‍රීඩකයෙකි - 1898-1909)

ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 42 න් 15 ක දී ඕස්ට්‍රේලියාවේ නායකත්වය දැරූ නොබෙල් ලකුණු 30.25 ක සාමාන්‍යයකින් ලකුණු රැස් කළ අතර, කඩුලු 121 ක් බිඳ හෙළා තිබේ.

ඕබ්රි ෆෝක්නර්

(දකුණු අප්‍රිකාව - තුන් ඉරියව් ක්‍රීඩකයෙකි - 1906-1924)

ෆෝක්නර් යනු ගූග්ලි පන්දු යවන්නන් ගේ ජනප්‍රියම ක්‍රීඩකයෙකි. ටෙස්ට් තරග 25 ක ට ක්‍රීඩා කළ ෆෝක්නර් ලකුණු 1754 ක් රැස් කළේ ය. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 40.79 ක් සහ කඩුලු 82 ක් දවා ගැනීමට සමත් ව ඇත. එහි සාමාන්‍යය 26.58 කි. අවම වශයෙන් ටෙස්ට් ලකුණු 1000 ක් සහ කඩුලු 50 ක් ලබා ඇති සියලුම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින්, ෆෝක්නර් සෑම කාලයක ම පස් වැනි හොඳම සාමාන්‍යයේ හිමිකරුවා වෙයි.

ලියරි කොන්ස්ටන්ටයින්

(බටහිර ඉන්දීය කොදෙව් - තුන් ඉරියව් ක්‍රීඩකයෙකි -1928-1939)

කොන්ස්ටන්ටයින් බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කළ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් අයෙකි. අනෙක් තැනැත්තා ජෝර්ජ් හෙඩ්ලි ය. ඔහු 2009 දී කීර්තිධරයන්ගේ නාමාවලියට ඇතුළත් විය. 1928 දී ඔවුන්ගේ ආරම්භක ටෙස්ට් තරගය සහ 2 වැනි ලෝක යුද්ධය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග නවතා දැමිණි.

පිතිකරණය, දක්ෂ වේග පන්දු යැවීම සහ විදුලි වේගයෙන් පන්දු රැකීමට දක්ෂ ක්‍රීඩකයෙකි. කොන්ස්ටන්ටයින් ටෙස්ට් ලකුණු 635 ක් ලබා ගත් අතර, එහි සාමාන්‍යය 19.24 කි. ඊට අර්ධ ශතක 4 ක් ඇතුළත් ය. ඔහු එහි දී කඩුලු 58 ක් ලබා ගත්තේ සාමාන්‍යය 30.10 ක් රඳවා ගනිමින් ය. 1961 සිට 1964 දක්වා එක්සත් රාජධානියේ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි මහ කොමසාරිස් ලෙස සේවය කළ ඔහු 1962 දී නයිට් පදවියකින්ද පිදුම් ලැබුවේ ය.

ස්ටැන් මැකේබ්

(ඕස්ට්‍රේලියාව - පිතිකරුවෙකි - 1930-1938)

මැකේබ් සමහර විට ඔස්ට්‍රේලියාවේ දොන් බ්‍රැඩ්මන්ට පසු හොඳම පිතිකරුවා යැයි පැවසිය හැකි ය. ඔහු සිය ටෙස්ට් දිවිය තුළ ලකුණු 2748 ක් රැස් කරමින් සාමාන්‍යය 48.21 ක් රඳවා ගැනීමට සමත් ව තිබේ.

එහි දී 1932 දෙසැම්බරයේ සිඩ්නි හි දී එංගලන්තයේ බොඩි ලයින් ගේ පන්දු යැවීමට එරෙහිව එඩිතරව ලකුණු 187 ක්, 1935 දී ජොහැන්නස්බර්ග් හි දී නොදැවී ලකුණු 189 ක්, 1938 අළු බඳුන අතරතුර ට්‍රෙන්ට් බ්‍රිජ් හි දී ලකුණු 232 ක් රැස් කිරීම මැකේබ්ගේ විශිෂ්ට ඉනිම් කිහිපය අතරින් දැක්විය හැකි ය.

විනෝ මන්කාඩ්

(ඉන්දියාව - තුන් ඉරියව් ක්‍රීඩකයෙකි - 1946-1959)

වමත් දඟ පන්දු යවන්නකු සහ දකුණත් පිතිකරුවකු වූ මන්කාඩ් කපිල් දේව් ට පෙර ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා වූයේ ය. ඔහු ටෙස්ට් තරග 44 ක් තුළ ලකුණු 2109 ක් ලබා ගෙන ඇත. එහි සාමාන්‍යය 31.47 ක් වන අතර කඩුලු 162 ක් බිඳ දමා ඇත්තේ එහි සාමාන්‍යය 32.32 ක් ලෙස පවත්වා ගනිමිනි.

1952 දී ලෝඩ්ස් හි දී ඔහුගේ විශිෂ්ටතම දස්කම “මන්කාඩ්ගේ ටෙස්ට්” ඉනිම විය. 1956 දී නවසීලන්තයට එරෙහිව පන්කාජ් රෝයි සමඟ මන්කාඩ් ලකුණු 413 ක සම්බන්ධතාවක් ගොඩනැඟුවේ ආරම්භක කඩුල්ල වෙනිවෙනි. එම වාර්තාව බිඳ දැමුණේ 2008 වසරේදී ය.

ටෙඩ් ඩෙක්ස්ටර්

(එංගලන්තය - පිතිකරුවෙකි - 1958-1968)

ඩෙක්ස්ටර් යනු එංගලන්තයේ වඩාත්ම ආකර්ෂණීය පිතිකරුවෙකැයි පැවසිය හැකි ය. වසර 1958 සිට 1968 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 62 ක දී ලකුණු 4502 ක් රැස් කිරීමට ඔහුට හැකිවිණි.

ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 47.89 ක් ලෙස පවත්වා ගෙන ගොස් තිබේ. ඔහු 1964 දී කාඩිෆ් ප්‍රදේශයේ ගිනිකොන දෙසින් එරට පාර්ලිමේන්තුවට තරග වැදුණු කොන්සර්වේටිව් පක්ෂයේ (පරාජිත) අපේක්ෂකයා විය. ඩෙක්ස්ටර්ගේ පශ්චාත් ක්‍රීඩා දිවිය ඔහුව 1989 දී පුවත්පත් කලාවට හා විකාශනයට යොමු කළේය.

බොබ් විලිස්

(එංගලන්තය - වේග පන්දු යවන්නෙකි - 1971-1984)

විලිස් උස, වේගවත් හා ඔහුගේ යුගයේ හොඳම පිතිකරුවන් ගේ සිත් සසල කරවන අමුතු පන්දු යවන්නකු විය.

එංගලන්තය වෙනුවෙන් සිව් වැනියට වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා වන්නේ ද විලීස් ය. ඔහු කඩුලු 325 ක් දවා ගෙන ඇත්තේ එක් කඩුල්ලක් වෙනුවෙන් ලකුණු 25.20 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. වයස අවුරුදු 26 දී දණහිස් දෙකේම සැත්කම්වලට භාජනය වූ ඔහු ටෙස්ට් තරග 90 කට ක්‍රීඩා කර ඇත. ඔහු තරග කනපිට පෙරළීමේ දක්ෂයකු ද විය. 1981 අළු බඳුන සමයේදී එංගලන්තයේ හෙඩින්ග්ලි හි දී ඔහුගේ හතර වැනි ඉනිමේ දී ලකුණු 43 කට කඩුලු 4 ක් බිඳ දැමී ය.

විලීස් ගේ ක්‍රීඩා දිවිය බිඳ වැටීමෙන් පසුව, ඔහු ස්කයි විචාරක කුටියේ දිගු වෘත්තිය සමයක් භුක්ති වින්දේ ය. පසුගිය 2019 වසරේ දී ඔහු 70 වැනි වියට පා තැබී ය.

ඩෙස්මන්ඩ් හේන්ස්

(බටහිර ඉන්දීය කොදෙව් - පිතිකරුවෙකි - 1978-1994)

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක ආරම්භක හවුල්කාරිත්ව යේ ප්‍රධානතම ක්‍රීඩකයකු සේ සැලකිය හැක්කේ ඩෙස්මන්ඩ් හෙන්ස් ය. ඔහු පළමු කඩුල්ල සඳහා ලකුණු 6482 ක් සහ ශතක 16 ක් එක් කරමින් ගෝර්ඩන් ග්‍රීනීජ් සමඟ ටෙස්ට් කණ්ඩායමක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩාවේ ප්‍රමුඛතම යුගය සඳහා වේදිකාව සකසා දීමේ මූලිකයකු විය.

1970 දශකයේ අග භාගයේ සිට 90 දශකයේ මුල් භාගය දක්වා කාලයේ ඔහු ක්‍රීඩා කළේ ය. ප්‍රබල ආරම්භක පිතිකරුවකු වූ හේන්ස් ටෙස්ට් ලකුණු 7487 ක් රැස් කළේ සාමාන්‍යය 42.29 ක් රඳවා ගනිමිනි. විශිෂ්ට එක්දින දිවියක් ද භුක්ති විඳි හේන්ස්, 1998 දී සචින් තෙන්ඩුල්කාර් විසින් පසු කර යන තෙක් ම ඔහුගේ ශතක 17 වාර්තාවට ද හිමිකම් කී ය.

ඇන්ඩි ෆ්ලවර්

(සිම්බාබ්වේ - කඩුලු රැකි පිතිකරුවෙකි - 1992-2003)

ෆ්ලවර් සිම්බාබ්වේ ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨත ම ක්‍රීඩකයා ලෙස සැලකිය හැකි ය. ඔහු ටෙස්ට් ලකුණු 4794 ක් රැස් කර ඇත්තේ ලකුණු සාමාන්‍යය 51.54 ක් ලෙස රඳවා ගෙන ය. 2000 වසරේ දී නාග්පූර් හි දී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 232 ක් රැස් කර ගැනීමට ඔහු සමත් විණි. ඔහුගේ ටෙස්ට් ජීවිතය තුළ ටෙස්ට් ද්විත්ව ශතක දෙකක් අහිමි වී ගොස් ඇතැයි කිව හැකි ය.

2003 ලෝක කුසලාන තරගාවලියේ දී ෆ්ලවර්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය අවසන් වූයේ, ඔහු සහ වේග පන්දු යවන ක්‍රීඩක හෙන්රි ඔලොන්ගා සිය රටේ “ප්‍රජාතන්ත්‍රවාදයේ

 මරණය” ළඟාව ඇතැයි පවසමින් කළු පටි පැලඳ විරෝධය දක්වමින් ක්‍රීඩා කළ හෙයිනි. ඔහු එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීම අඛණ්ඩව සිදු කළ අතර, පසුව පුහුණුකරණයට යොමු වූයේ ය. ඉන් අනතුරුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් රාජ්‍යය බවට පත්කිරීමට ඔහුට හැකි වූයේ 2011 වසරේ දී ය.

කුමාර සංගක්කාර

(ශ්‍රී ලංකාව - කඩුලු රැකි පිතිකරුවෙකි - 2000-2015)

කුමාර සංගක්කාර යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටෙස්ට් ලකුණු ලාභියා වන අතර, එහි දී ඔහු ලකුණු 12,400 ක් රැස් කර තිබේ. එහි සාමාන්‍යය දැක්වෙන්නේ ලකුණු 57.40 ක් වශයෙනි.

එය ටෙස්ට් ලකුණු 9000 කට වඩා ලබා ඇති සියලුම ක්‍රීඩකයන් අතර ඉහළම සාමාන්‍යය ලෙස ද දැක්විය හැකි ය. ක්‍රමානුකූල අලංකාරයකින් පන්දුවට පහර දුන් විශිෂ්ඨ ක්‍රීඩකයෙකි.

එක්දින තරගවල දී ඔහු ලකුණු 9283 ක් රැස් කර ඇත්තේ එහි සාමාන්‍ය ලකුණු 66.78 ක් වශයෙන් පවත්වා ගනිමිනි. 2009 සහ 2012 ලෝක විස්සයි විස්ස මෙන්ම 2007 සහ 2011 ලෝක කුසලාන තරගාවලියන් හි දී ශ්‍රී ලංකා කණ්ඩායම්වල ප්‍රමුඛ ආලෝකයක් වූයේ කුමාර සංගක්කාර ය. ඔහු 2019 වසරේ දී එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ සභාපති ධුරයට පත් වූයේ එවැනි පත්වීමක් ලැබූ පළමු බ්‍රිතාන්‍ය නොවන පුද්ගලයා බවට පත්වෙමිනි.

 

 

 

Comments