අම්මාගේ වාර්තාව හඹායන නොට්ටිගෙ නොවන දුව | සිළුමිණ

අම්මාගේ වාර්තාව හඹායන නොට්ටිගෙ නොවන දුව

 

EILISH eilish mccolgan

 

ඒ කාලේ සිටම මට තිබුණු ලොකුම හීනය තමයි ඔලිම්පික් තරගාවලි තුනක් නියෝජනය කිරීම

‘තාත්තා කරපු දේ නොකරන පුතාට සිංහල ජනවහරේ කියන්නේ, ‘නොට්ටිගෙ පුතා’ කියලයි. නොට්ටිගෙ පුතා කියන උපහැරණය සිංහල භාෂාවට එන්න ඇත්තේ මොන ආකාරයෙන් ද යන්න සම්බන්ධයෙන් සොයා බලන්න නෙවෙයි අපි මේ උත්සාහ ගන්නේ. තාත්තා කරපු දේ නොකරනවා නම් නොට්ටිගේ පුතෙක් නම් අම්මා කරපු දේ නොකරන්නේ නොට්ටිගේ දුවක් කියන්න පුළුවන්. එතකොට අයිලිෂ් මැක්කොල්ගන් ‘නොට්ටිගේ දුවක්’ නොවෙයි. ඔබ හිතාවි මේ අයිලිෂ් මැක්කොල්ගන් කියන්නේ කවුද කියලා. ඇය අන් කවුරුවත් නොවෙයි ස්කොට්ලන්ත ජාතික මලල ක්‍රීඩිකාවක්. මැක්කොල්ගන් තමයි ස්කොට්ලන්තයේ මීටර් 10000 ඉසව්වේ දක්ෂතම ක්‍රීඩිකාව. පසුගිය දා යුරෝපානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇය මීටර් 5000 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. මේ කතාව ඈ තම මව සමඟ කරන සටනක් ගැනයි.’

අයිලිෂ් මැකොල්ගාන් මේ දිනවල ලොකු අරගලයක යෙදී ඉන්නවා. ඒ අරගලය තමයි තමන්ගේ අම්මාවම පරාජය කරන එක. ඒක මොන විදිහේ අරගලයක් ද කියලා එක වරම ඔබට සිතෙන්න පිළිවන්. ඒත් ඇය අම්මාව පරාජය කරන්න යන්නේ මීටර් 10000 ඉසව්වෙ තරග නිමි කාල දක්ෂතාවයට අනුවයි. තාත්තා කළ දේ නොකළොත් ඔහු නොට්ටිගේ පුතා කියලා කතාවක් තියෙනවානේ. (නොට්ටිගෙ පුතා කිව්වේ ‘නෝටි පුතා’ කියන අර්ථයෙනුයි.) එකොට අයිලිෂ් නොට්ටිගෙ දුවක් නොවී ඉන්න ගන්න උත්සාහයක තමයි මේ නිරත වන්නේ.

ඇගේ මව ලීෂ් මැක්කොල්ගන් වසර තිහකට පෙර ටෝකියෝවේ පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර් 10000 ඉසව්ව ජය ගෙන තිබුණා. ඇය එහිදී මි.30.57 කින් එම ඉසව්ව නිම කරමින් වාර්තාවක් පිහිටුවලා තියෙනවා. මේ වෙද්දී අයිලිෂ්ගේ උපරිම පුද්ගල දක්ෂතාවය ලෙස දැක්වෙන්නේ මිනිත්තු 30.58 ක කාලයක්. ‘මම උපරිමෙයන් උත්සාහ කරන්නේ මගේ අම්මාගේ නමට තිබෙන වාර්තාව බිඳ දමලා එය මගේ නම ඉදිරියේ සනිටුහන් කර ගන්න.’ තිස් හැවිරිදි ඈ තමන්ගේ යුරෝපානු මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 5000 රන් පදක්කම හිමි කර ගැනීමෙන් අනතුරුව පවසා තිබුණා.

‘කොහොම වුණත් මට ඒ වාර්තාව මගේ පවුල් අයිතියෙන් ගිලිහෙන්න දෙන්න උවමනා නෑ. ඒ නමින්ම මේ වාර්තාව තවත් දිගු කාලයක් පවත්වාගෙන යන්න උවමනායි.’ අයිලිෂ් පවසන්නේ ක්‍රීඩාවේ පරම්පරා අයිතිය සම්බන්ධව යි. ඒ වෙනුවෙන් තමන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය වාර්තා කරන්න ඇය දැඩි අපේක්ෂාවකින් පසුවෙනවා. ‘මම හදන්නේ කොහොම හරි මගේ උපරිම පෞද්ගලික දස්කම වාර්තා කරන්න. එතකොට අම්මාගේ වාර්තාව මගේ නම ඉදිරියේ ලියාගන්න හැකියි.’ ඈ කියන්නේ එහෙමයි.

අයිලිෂ් මැක්කොල්ගන් කියන්නේ මලල ක්‍රීඩාවෙන් සාර්ථකත්වයට පත්වුණු තෙවැනි ස්කොට්ලන්ත ජාතික ක්‍රීඩිකාව. ඇයට පෙර ඇගේ මව ලීසා වගේම ලී මැක්කොනෙල් මේ ආකාරයෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වලා තිබුණා.

‘මට අවංකව මීට වඩා දෙයක් අහන්න විදිහක් නෑ. මම ක්‍රීඩාව පටන් ගත්තේ පුංචි දරුවකු වශයෙනුයි. ඒ කාලේ සිටම මට තිබුණු ලොකුම හීනය තමයි ඔලිම්පික් උලෙළ තුනක් නියෝජනය කිරීම. ඒක මගේ යටි සිතේ ස්ථිරව ධාරණය වී තිබෙන අදහසක්. ඒ වගේම මම හිතන්නේ නැහැ ඉතිහාසයේ කොහේවත් අම්මලා හා දුවලා සම්බන්ධයෙන් මෙවැනි වාර්තා හඹා යෑමේ සටනක් තිබුණා කියලා. ඒක ඇත්තටම පිස්සුවක් වගේ. ඒ වගේම සෑම අතින්ම උමතුවක්. ඇත්තටම අනෙක් අම්මලා, දූවරු අතර එවැනි දෙයක් වාර්තා වෙලා නැතිව ඇති කියායි මම හිතන්නේ.’ ඇය පවසා තිබෙනවා.

‘මගේ අම්මා ලෝක ශූරියක්. අනෙක ඒ වසරේ මීටර් 10000 ඉසව්වේ ලොව හිටපු වේගවත්ම ගැහැනියත් ඇයයි. ඈ එය පිහිටෙව්වේ මම ඉපදිලා වසරකටත් අඩු කාලයකින්. ඒ නිසා තමයි මම මේ වාර්තාව ගැන තවදුරටත් උමතුවෙන් වගේ සිතන්නේ.’ ඈ කියනවා.

 

Comments