ලොව දකින්න ඇස් පාදන යාපනේ දොස්තර | සිළුමිණ

ලොව දකින්න ඇස් පාදන යාපනේ දොස්තර

වෛද්‍ය එම්. මලරවන් සිය කණ්ඩායම සමඟ

මෙලොව දකින්නට ඇස් පෑදීම තරම් පින්කමක් තිබේ නම් ඒ ජීවිත දානය පමණක් ම විය යුතුය. ජීවිතය ලද ඕනෑම අයෙක් සිය විඳීමේ හා වින්දනයේ පරාසය පුළුල් කර ගන්නේ දැක්මෙනි. දැක්ම දෙආකාරය. ඒ මනසින් දැක්ම හා ඇස්වලින් දැක්මයි. ඒ ප්‍රධාන විඳීමක් අහිමි වීමක් යනු ජීවිතයේ භාගයක් අහිමි වීමකි. දන්දීමේදී එහි ප්‍රධානම දන්දීම් අතරට ඇස් දන්දීම වැටෙන්නේ එපරිද්දෙනි. ඇස්, ඉස්, මස්, ලේ දන්දීම ගැන බෞද්ධ ඉතිහාසයේ එතරම් වටිනාකමකින් යුතු ව කතා කරන්නේ ඒ නිසාය.

මෙවර වෙසක් සමය ආරම්භයත් සමඟ යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය එම්.මලරවන් මෙකී දන්දීමේත් උපරිම ආනිශංස ලැබෙන දානමය පින්කමකට අතගැසුවේය. 

විවිධ අක්ෂි රෝග වලින් පෙළෙන ඉතාම දුප්පත් රෝගීන් 2000 කට අක්ෂි ශල්‍යකර්ම සිදුකිරීමේ පුණ්‍යමය කටයුත්ත පසුගිය වෙසක් පෝදා ආරම්භ වූයේ එපරිද්දෙනි. බොහෝවිට ග්‍රාමීය පළාත්වල ජනතාව මුලින් ම සුළු සැත්කමකින් ඉවත් කරගත හැකි බොහෝ අක්ෂි රෝග නොතකා හැරීම නිසා සදහටම අන්ධ භාවයට පත්වෙති.

ජනතාව අතර සුලබ අක්ෂි රෝගයක් වන්නේ ඇසේ සුද මතු වීමයි. මෙය 90%කට වඩා නිවැරදිව ප්‍රතිකාර කිරීමෙන් මග හරවා ගත හැකි තත්ත්වයකි. එහෙත් නොසැලකිල්ල හා නොදැනුම්වත්භාවය නිසා බොහෝ දෙනෙක් සිය ඇස් ගැන වැඩි සැලකිල්ලක් නොදක්වති. මෙය පොදු තත්ත්වයකි.

”දකුණේ සිංහල වැසියන්ට හිතවත් යාපනයේ දෙමළ ඇස් දොස්තර ” වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින මලරවන් වෛද්‍යවරයා යාපනය ශීක්ෂණ රෝහල තුළ සෑම වසරකම විවිධ රෝගාබාධවලින් පෙළෙන අය වෙනුවෙන් බොහෝ දෑ කළ වෛද්‍යවරයෙකි. මලරවන් වෛද්‍යවරයා සිය උතුම් පුණ්‍යකර්මය කිරීමට පටන් ගත්තේ සිය දෑතේ වීරියෙන් අප ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙර දරන ගොවීන්, ධීවරයන් ඇතුළු සක්‍රිය නිෂ්පාදකයන්ගේ දෑස් පෙනීම ලබා දෙනු පිණිසය. ගොවීන්, ධීවරයන් වැනි ආර්ථිකයට පණ පොවන; නමුදු සිය සෞඛ්‍ය ගැන ඒතරම් සැලකිලිමත් නැති ජනතාව ළඟට ගොස් ඔවුන්ට පෙනීම ලබා දීමට අක්ෂි සැත්කම් කිරීම වනාහී ජාති ජාතිත් පින් පිරෙන කාර්යයකි.

මේ අනුව මෙහිදී දිස්ත්‍රික්ක 6 ක් ආවරණය වන පරිදි එනම් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, අනුරාධපුරය හා වවුනියාව දින 10 ක් ඇතුළත සාර්ථක ලෙස රෝගීන් 1213 කගේ ඇසේ සුද ඉවත් කොට කාච දැමීම සිදු කරන ලදී. මෙහි තිබූ විශේෂත්වය වන්නේ අක්ෂි වෛද්‍ය අංශය මඟින් ප්‍රදේශයේ රෝගීන්ට ලබා දෙන දෛනික සේවා වෙනසක් නොවී පවත්වා ගනිමින් අවම ලෙස සම්පත් භාවිත කරමින් මෙම සාර්ථක වැඩසටහන නිම කිරීමයි. මේ සඳහා වෛද්‍ය මලවරන්ට වවුනියාව මහ රෝහලේ වැඩ බලන අක්ෂි ශල්‍ය වෛද්‍ය P. කිරිදරන් සහ තෙලිප්පලේ දිස්ත්‍රික් රෝහලේ අක්ෂි අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ටී. තිලීපන් යන වෛද්‍යවරු තිදෙනා දායකත්වය සපයන ලදී.

මෙහිදී දක්නට ලැබුණ අනෙක් විශේෂත්වය වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද කොවිඩ් 19 මාර්ග උපදේශ නිසි ලෙස අනුගමනය කරමින් මේ වැඩසටහන පැවැත්වීමයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍ය එම්. මලරවන් පැවසුවේ මෙවැන්නකි.

“ශල්‍යකර්ම සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදි පදවිය මූලික රෝහල, කයිට්ස් මූලික රෝහල, තෙලිප්පලේ මූලික රෝහල, පේදුරු තුඩුව මූලික රෝහල , වවුනියාව මහ රෝහල, කිලිනොච්චි මහ රෝහල, මුලතිව් මහ රෝගල, මන්නාරම මහ රෝහල සහ යාපනය ශික්ෂණ රෝහල යන රොහල් වල රෝගීන්ට මූලිකත්වය ලබා දුන්නා.

ශල්‍යකර්ම අවසන් වූ රෝගීන් නැවත පරීක්ෂා කිරීම හා අවශ්‍ය කටයුතු කිරීම අදාළ රෝහල් මඟින් සිදු කිරීමටද අප සැලසුම් කළා.

අදාළ රෝගීන් එක් එක් රෝහලේ සිට යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ඒම සහ නැවත ප්‍රවාහනය නිසි සැලසුමකට අනුව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ මැදිහත්වීමෙන් අනුමත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සිදු කිරීමට අප වග බලා ගත්තා.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ 573ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ 240ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ 208ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ 83ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 66ක් හා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 43කගේ අක්ෂි සැත්කම් සිදු කළා. මේ වැඩසටහන සාර්ථක කරගන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධශාසන අමාත්‍යාංශය, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යාපනය රෝහලේ කාර්ය මණ්ඩලය දැක්වූ සහයෝග විශේෂයෙන් මතක් කරනවා“

මේ සත්කාර්යයේ තවත් විශේෂත්වයක් වෙයි. එනම් ලංකාවේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම දහසකට වැඩියෙන් සිදුකළ පළමු තනි අක්ෂි කඳවුර මෙය වෙයි. වෙසක් උළෙලකට සමගාමීව කළ පළමු එවැනි වැඩසටහනත් මෙයයි.

දමිළ වෛද්‍යවරයකුගේ මූලිකත්වයෙන් ජාති, ආගම් කුල භේද පසෙක ලා කළ මේ සත්කාර්ය ජාති ජාතිත් පින් වැඩෙන කාර්යයක් බැව් ප්‍රදේශවාසීන් බැති පූර්වකව පවසන්නේ ඒ නිසා ය. වෛද්‍ය එම්. මලරවන් පොදු සමගිය ඇති කිරීමේ ලා හදන මේ සංස්කෘතික පාලමේ අගය අදට වඩා හෙට වටිනාකමක් එක් කරනු නිසැක ය.

Comments