පවුල් ලක්ෂ 60 කට සිවුවැනි වරටත් 5,000ක් | Page 2 | සිළුමිණ

පවුල් ලක්ෂ 60 කට සිවුවැනි වරටත් 5,000ක්

අනු­රා­ධ­පු­රයේ රුපියල් 5,000 බෙදීම සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේම­සිංහ අධී­ක්ෂ­ණය කරන අයුරු.

- දැනටම පවුල් ලක්ෂ 18 කට ගෙවලා ඉතිරි අයට ලබන සතියේ මුල ලැබේවි
- කෝවිඩ් 19 - ගංවතුර - නායයෑම් මහ වැස්ස සංචරණ සීමා මැද රාජ්‍ය නිලධාරීන් 50,000 ක් කළ වික්‍රමයක්

මෙරට හතරවැනි වරටත් රුපියල් 5,000 ක සහනාධාරයක් මෙරට පවුල් ලක්ෂ 60 කට ලබාදීම වත්මන් රජය යටතේ දැන් සිදු කෙරෙමින් පවතී.

ඒ කෝවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීමට ගත් පියවර නිසා අපහසුතාවලට ලක්වූ අය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන රුපියල් 5,000 බෙදාදීමේ වැඩපිළිවෙළ යටතේ ය.

අද අපේ රටට තිබෙන ප්‍රධාන අභියෝගය කෝවිඩ් 19 වසංගතයයි. එයට මුහුණදීමට රජය එන්නත් කිරීම් හා සංචරණ සීමා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට ජනතාව යොමුකර තිබේ. 

මේ තත්ත්වය යටතේ අඩු ආදායම්ලාභී ජනතාවට, නිරෝධායන ඇදිරි නීතිය හා සංචරණ සීමා නිසා ජීවනෝපාය අහිමිවූ අයට රුපියල් 5,000 ක සුබසාධන දීමනාවක් ලබාදීම උචිත බව වත්මන් රජය තීරණය කළේ පසුගිය 2020 අප්‍රේල් මාසයේදීය. ඒ වැඩසටහන දැන් හතර වැනි වරට මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක වෙයි.

පසුගිය දිනවල විශේෂයෙන් කෝවිඩ් 19 රෝගය වැළැක්වීම සඳහා සති 3 ක් පමණ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම නිසා පීඩාවට පත්වූ අඩු ආදායම් ලාභීන්ට, සමෘද්ධි ලාභීන්ට, ජ්‍යෙෂ්ඨ පුරවැසියනට, වකුගඩු රෝගීන්ට, සංචරණය අහිමිවීම නිසා ආදායම් අහිමිවූ සැමට මේ යටතේ රුපියල් 5,000 ලබාදෙන බව සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය, රාජ්‍ය සම්පත් සංවර්ධන පිළිබඳ රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ‘සිළුමිණ’ ට පැවසීය.

“අපි මේ 5,000 රටටම ගෙවන්නේ හතර වැනි වරට බස්නාහිරට 5,000 ගෙවන්නේ පස් වැනි වරට. මේක ඓතිහාසික සහනාධාර ගෙවිමක්.”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ හා ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂයන්ගේ අධීක්ෂණය ඇතිව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. මෙවර විශේෂයෙන් සංචරණ සීමා නිසා තම වෘත්තීය අහිමිවූ හා අඩු ආදායම් ලාභීන්ටත් ආබාධිත අයට වකුගඩු රෝගීන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියනට සමෘද්ධි ලාභීන්ට මේ රුපියල් 5000 ලබාදීමට කටයුතු කරනවා. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුව ඉතා පරෙස්සමෙන් මේ කටයුතුවල යෙදීමට අපේ නිලධාරීන්ට සිදුවී තිබෙනවා.

කෙසේ වුවත් මේ වැඩපිළිවෙළ සඳහා ග්‍රාම නිලධාරීන් විශේෂ සේවා නිලධාරීන් ග්‍රාමීය කමිටු සමඟ අපේ සමෘද්ධි නිලධාරීන් 27000 ක් පමණ මේ සඳහා ඇප කැපවී ක්‍රියාශීලීව එක්වෙනවා.” රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි පවසන්නේ මෙවර කෝවිඩ් ‍රෝගය හා සංචරණ සීමා තිබුණත් සමෘද්ධි නිලධාරීන් 27000 ක් පමණ රුපියල් 5000 ගෙවීමේ කටයුත්තට නොපැකිළව දායක වෙන බවයි.

“හුඟක් පවුල්වලට අපි 5000 නිවසටම ගිහින් දෙනවා. සමහර අයට අපි කාර්යාලයට එන්න කියනවා වේලාවක් දීලා” ඔහු කීය.

මේ රුපියල් 5,000 ගෙවීම වැඩපිළිවෙළ මෙරට සුවිශේෂී වැඩපිළිවෙළක්. පසුගිය වසරේ අප්‍රේල්වල මේක මුලින් ම ක්‍රියාත්මක වුණා‍. ඊට පසු 2020 මැයි, ජූනිවලත් අපි රටටම 5,000 ගෙව්වා, සමෘද්ධි නිලධාරීන්ගේ, ග්‍රාම නිලධාරීන්ගේ හා සංවර්ධන නිලධාරීන්ගේ කැපවීම් මත. ඒ අනුව 2020 දී රජය පවුල් ‍ලක්ෂ 70 කට දෙවරක් 5,000 දුන්නා. ඒ වියදම් රුපියල් කෝටි 7,000 ක් විතර වුණා. ඊට පසු රජයේ භාණ්ඩාගාරය හරහා මුදල් ලබාදී බස්නාහිර පළාතේ ලක්ෂ 20කට පමණ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 5,000 දුන්නා. ඒ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරු හරහා ක්‍රියාත්මක වුණා.

ඊට පසු මේ වසරේ අප්‍රේල්වල සමෘද්ධිලාභීන් අඩු ආදායම්ලාභීන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආබාධිත අය හා වකුගඩු රෝගීන් ඇතුළු පවුල් ලක්ෂ 40 කට පමණ රුපියල් කෝටි 2,000 පමණ වැය කර 5,000 දුන්නා. ඒ කටයුතුවලට අපේ සමෘද්ධි නිලධාරීන් සිංහල අවුරුදු කාලයත් වැය කළා.

ඊට පසු දැන් අපි ජූනි මස 2 සිට යළිත් හතර වැනි වරට 5,000 ගෙවීම ආරම්භ කළා. ඒ යටතේ දැනටමත් අපි පවුල් ලක්ෂ 18 කට 5,000 ගෙවා අවසන්. සමෘද්ධි ලාභීන් සියයට 99 කට ගෙවා තිබෙනවා. ඉතිරි සියලුම සුදුසු අයට ලබන සතියේ මුල් දිනවලදී රුපියල් 5,000 ලැබේවි.

ගංවතුර මැද ඔරුවේ ගිහිල්ලත් අපේ සමහර රාජ්‍ය නිලධාරීන් මේ කටයුතු කළා” නීතිඥ බන්දුල තිලකසිරි කීය.

රටේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු ද මෙම 5,000 ලබාදීමේ වැඩපිළිවෙළට පූර්ණ සහාය දක්වති. 2020 අප්‍රේල් හා මැයි ජූනිවල පවුල් ලක්ෂ 70 කට මෙම 5,000 දෙවරක් ලබාදී තිබේ. ඒ අනුව වැය වූ මුදල කෝටි 7000 කට ආසන්නය. ඒ දිනවල පැවැති නිරෝධායන ඇදිරි නීති සමයේ ග්‍රාම නිලධාරීහු සමෘද්ධි නිලධාරීහු ගෙවල්වලට ම ගොස් 5,000 ලබාදීම සිදු කළහ. මේ වසරේ අප්‍රේල් මාසයේදී 5,000 ගෙවීමේදී කෝවිඩ් නිසා සිය ජීවනෝපාය අහිමිවූ අයට ගෙවීම් කළේ නැත. නමුත් මෙවර ජූනි මස ගෙවන 5,000 සඳහා කෝවිඩ් නිසා සංචරණ සීමා නිසා ජීවනෝපාය අහිමිවූ අයට ද 5,000 හිමිකම තිබේ. ඒ අනුව මෙවර ජූනි මාසයේදී දුප්පත් පවුල්වලට, ආබාධිත අයට, ජ්‍යෙෂ්ඨ පුරවැසියනට මෙන්ම අඩු ආදායම් ලාභීන්ට පවුල් ලක්ෂ 60 කට පමණ 5,000 ලබාදීම සිදු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි පවසයි. එමෙන් ම මෙවරත් ඉහළම රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් ඇතිව ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් නිවාසවලටම ගොස් 5,000 ගෙවීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පවසයි.

සමස්ත ලෙස 2021 ජූනි මාසයේ දී පවුල් ලක්ෂ 60 – 65 ත් අතර ගණනකට රුපියල් 5,000 ගෙවීමට යෝජිත බව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි. මේ සැරේ කෝවිඩ් 19 නිසා ද සංචරණ සීමා නිසා ආදායම් අහිමිවූ අයටත් රුපියල් 5,000 ලබාදීම පිණිස 2020 වසරේ අප්‍රේල්වල ලබාගත් තොරතුරු පාවිච්චි කරනවා. කෙසේ වුවත් සෑම ගමකම පිහිටුවා ඇති ග්‍රාමීය කමිටුවට පුළුවන් එලෙස ආදායම් අහිමිවූ අය පිළිබඳව යෝජනා කර ඒ අයට 5,000 ලබාදීමට.

විවිධ දීමනා සඳහා ඉල්ලුම්කර තිබෙන කණ්ඩායම් වෙනුවෙන් රුපියල් 5,000 දීමනාව ලබාදීමටත් කටයුතු කරනවා.

“රුපියල් 5,000 ලබාදීම පිළිබඳව ගැටලු තිබේ නම් මුලදීම ග්‍රාමීය කමිටුවටත් පසුව ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් අවශ්‍ය නම් 1965 දුරකථන අංකයටත් මේ පිළිබඳව දන්වා ඒ ගැටලු විසඳා ගන්න පුළුවන්” රාජ්‍ය ඇමැතිවරයා කීය.

මේ රුපියල් 5,000 වැඩපිළිවෙළ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී 2020 අප්‍රේල්, 2020 මැයි - ජූනි, 2020 ඔක්තෝබර් (බස්නාහිර පළාතට පමණි), 2021 අප්‍රේල්, 2021 ජූනි මාසවලදී මෙම සහනාධාර වැඩපිළිවෙළට රජය රුපියල් කෝටි 12000 කට ආසන්න මුදලක් වැයකර තිබෙන බව සංඛ්‍යා ලේඛන මඟින් පෙන්නුම් කරයි. ජනාධිපති ලේකම් කාර්යාලය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්, සහ දිසාපතිවරු මෙම වැඩසටහනේ නායකත්වය දරති.

මේ පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායකගෙන් විමසූ විට ඔහු පැවසුවේ සමෘද්ධිලාභීන්ගෙන් සියයට 95 කටම දැනට 5,000 ගෙවීම් සිදුකර අවසන් බවයි.” ඒ අනුව අපි පසුගිය බදාදා වනවිට පවුල් 65,000 කට විතර 5,000 ගෙවීම් කර තිබෙනවා‍. ඉදිරි ඉල්ලීම් හා තෝරා ගැනීම් අනුව අනෙක් අයටත් අද හෙටම ගෙවීම් සිදු ‍කරනවා.” මාතර දිසාපති ප්‍රදීප් රත්නායක පවසයි.

කළුතර දිසාපති ප්‍රසන්න ජනක කුමාරත් පවසන්නේ කළුතර දිස්ත්‍රික්කය පවුල් 61,000 කට පමණ පසුගිය බදාදා වනවිට ගෙවීම් සිදු කළ බවයි.” දැනට සමෘද්ධි ලාභීන්ගෙන් 95% කට විතර ගෙවා තිබෙනවා. ඉතිරි අයටත් අපි ඉක්මනින් ම ගෙවනවා. ග්‍රාමීය කමිටුවල යෝජනා අනුව අපි සියලු කටයුතු කරනවා‍. ගංවතුර ගැටලු අවම වූ විට ඒ ප්‍රදේශවලටත් ගෙවීම් කරන්න වැඩපිළිවෙළ යොදා අවසන් දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක පවසයි‍.

ඡන්ද හිමි නාම ලේඛනයේ එක් ගෘහමූලික අංකයක් යටතේ ලියාපදිංචි වී සිටිද එම ගෘහමූලික පවුල් ඒකකයේ ප්‍රධාන පවුලට අමතරව තවත් අනු පවුල් සිටී නම් ඒ පවුල්වල ජීවනෝපාය ද හිමිවී ඇත්නම් ඒ අයට ද මෙවර රුපියල් 5000 ගෙවනු ලැබේ. මේ යටතේ සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 18 කට, සමෘද්ධි පොරොත්තු ලේඛනයේ පවුල් 785,000 කට, අභියාචනා කර ඇති පවුල් 726,000 කට, වැඩිහිටි දීමනා ලබන පවුල් 626,000 කට, වකුගඩු රෝගීන් 44,400 කට, ආබාධිත පුද්ගලයන් දහස් ගණනාවකට හා මෙවර සංචරණ තහනම් නිසා හෝ කෝවිඩ් වසංගත නිසා ජීවනෝපාය අහිමිවූ වෙළෙඳසල් හිමියන්ට, ත්‍රිරෝද රථ රියදුරන්ට හා වෙනත් ව්‍යාපාරික කටයුතු කළ අයට, වඩුවන්, මේසන්වරුන්, අත්වැඩ දෙන අයට, එදිනෙදා කුලී වැඩ කළ අය නියෝජනය කරන පවුල් ලක්ෂ 20 කට ද මෙවර 5,000 දීමට අපේක්ෂිතයි. මේ අනුව මෙවර ද පවුල් ලක්ෂ 60 කට 5000 ලැබේවි. මෙය දුප්පත් ජනතාවට මේ ආදායම් අහිමි වෙලාවේ ලැබෙන ලොකු ශක්තියකි.

මේ යටතේ වකුගඩු රෝගී අයට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේත්, ආබාධිත අයට ආබාධිතයන් පිළිබඳව මහලේකම් කාර්යාලය මඟිනුත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳ මහලේකම් කාර්යාලය මඟිනුත් ගෙවීම් ලබාදී ඒවා පසුව ග්‍රාම නිලධාරිවරු මඟින් ගෙවීම් සිදුකරනු ලැබේ. කෝවිඩ් 19 රෝගය වැලඳීමේ ඉඩකඩ ගංවතුර, වැස්ස, නායයෑම්, සංචරණ සීමා, මහවැස්ස වැනි ප්‍රශ්න ගණනාවක් තිබියදී හා කෝවිඩ් රෝගීන්ගේ සුබසාධන කටයුතු ද කරමින් රටේ ග්‍රාම නිලධාරිවරු 14,000 ක් පමණ මේ කටයුත්තට උපරිම කැපවීමකින් දායක වන බව කහතුඩුව දකුණු ග්‍රාම නිලධාරි ජානක මදුරප්පෙරුම ‘සිළුමිණ’ට පැවසුවේ රුපියල් 5,000 ගෙවීම සිදු කරන අතරතුරේදී ය.

මේ පිළිබඳව විශේෂයෙන් සිළුමිණට කරුණු දැක්වූ ‍සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරි අවධාරණය කළේ මෙවර රුපියල් 5000 බෙදාදීමේ අභියෝගාත්මක කටයුත්ත ඉතාමත් හොඳින් සිදුවූ බවයි. 

“අපිට ‍මීට පෙර තුන් වතාවක් මේ 5,000 දීලා පලපුරුද්දක් තිබෙනවා. ඒ නිසා මේ සැරේ වැඩේ ලේසි වුණා. අපිට ලොකුම අභියෝගය වූයේ කෝවිඩ් 19 වසංගතයයි. ඒකෙන් අපේ නිලධාරීන් තිදෙනෙක් මිය ගියා. 250 කට විතර රෝගය වැලඳුණා. එහෙම අභියෝගයක් තිබෙන තත්ත්වයකදී වුවත් අපේ 27,000 පමණ වූ සමෘද්ධි නිලධාරීන් සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි බැංකු කළමනාකරුවන් ලොකු කැපවීමකින් යුතුව කටයුතු කළා. සංචරණ නීති, ගංවතුර, වැස්ස, නායයෑම් යන බාධක තිබුණත් අපේ නිලධාරීන් සමඟ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මේ කටයුත්ත සඳහා ඇප කැපවී කටයුතු කළා. ඒ 50,000 අධික රජයේ නිලධාරීන් සියලු දෙනාටම රජය වෙනුවෙන් අප ස්තුති වන්ත වෙනවා” යැයි සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

ඊට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි දිස්ත්‍රික් කළමනාකරුවන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම කටයුත්තේදී අපට පූර්ණ සහාය දැක්වූවා.

ඒ අනුව අපේ රටේ රාජ්‍ය සේවක 50,000 කට වඩා එකමුතුවෙන් මෙවර 5,000 බෙදීම් අභියෝගාත්මක කටයුත්ත අපි ජය අරන් තිබෙනවා. එය මේ රටේ අඩු ආදායම්ලාභී ජනතාවගේ සතුටට හේතුවක් මෙන් ම පවුල් ලක්ෂ 60 කට යම් පිළිසරණක් ලැබෙන්නක් බවට නීතිඥ බන්දුල තිලකසිරි පවසයි. ඒ අනුව මේ ඔවුන් කළ කාර්ය භාරය රාජ්‍ය සේවයේ කැපවීම පිළිබඳව මුළු රටටම කියා දෙන පණිවුඩයක් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

. සේයාරූ- සමන්ත වීරසිරි, අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අනුරාධ ප්‍රියදර්ශන කරන්දෙනිය

Comments